ආසි‍යානුවන්ගේ ආත්මය මුසු වුණු මෙල්බර්න් සැණකෙළි

  • Home
  • /
  • Blog
  • /
  • ආසි‍යානුවන්ගේ ආත්මය මුසු වුණු මෙල්බර්න් සැණකෙළි

South Asian Festival

අලුත් අවුරුද්ද සමරමින් අප්‍රේල් 28 දිනය පුරාවටම පැවැත්වෙන දකුණු ආසියානු උත්සවය නැවතත් මෙල්බර්න් නගරයට පැමිණෙමින් තිබේ. දකුණු ආසියාතික රටවලට ආවේණික විචිත්‍රවත් සංස්කෘතියේ වර්ණවත් සංදර්ශන ඇතුළත් මෙම උත්සවය සියලු දෙනා හට නොමිලේ සහභාගි වීමට අවස්ථාව සලසා දී ඇත. ගායක ගායිකාවන්, සාම්ප්‍රදායික නැටුම්, තූර්ය වාදක කණ්ඩායම් සහ DJ ඇතුළු සිත් ඇදගන්නා සුළු වේදිකා ප්‍රසංග වලින් යුත් මෙම උත්සවය තුළ දකුණු ආසියාතික රසයෙන් පිරුණු ආහාර වර්ග රැගත් ආහාර වෑන් රථ සහ ආපනශාලා රාශියක් ඇතුළත් වේ. ලේසර් ආලෝක සංදර්ශනයන් ඇතුළත් උත්සව පෙළපාලිය මෙහි විශේෂත්වයක් ගනු ලබන අතර සම්ප්‍රදායික ඇඳුම්, ස්වර්ණාභරණ සහ හස්ත කර්මාන්ත ප්‍රදර්ශන වලින්ද යුත් මෙම බහු සංස්කෘතික උත්සවය පවුලේ සියලු දෙනා සමඟම පැමිණ සතුටු විය හැකි අවස්ථාවකි.

Hawker 88 Night Market

මෙල්බ‍ර්න් හි ප්‍රියතම වෙළඳපළ ලෙස සැලකෙන Queen Victoria වෙත ආසියානුවන්ගේ ආත්මය රැගත් Hawker 88 රාත්‍රී වෙළඳපළ පැමිණ ඇත. සති පහක් පුරාවට සෑම බදාදා දිනකම විචිත්‍රවත් නියොන් විදුලි පහන් එළිවලින් හැඩ වන මෙම වීදි වෙළඳපොළ සිල්ලර වෙළඳ කුටි සහ සජීවී සංගීතයන්ගෙන් පිරී පවතී. Therry සහ Queen වීදි කෙළවරේ, Queen Victoria හි දිගු මේස, එල්ලෙන පහන් කූඩු වියන් සහ සාම්ප්‍රදායික lucky cat සැරසිලි වලින් වටවී Hawker පන්නයට සැකසුණු විස්මිත වීදි ආහාර පාන රස විඳීමට ඔබට අවස්ථාව ලැබේ. මව්රටින් වෙන්වී සිටින බොහෝ ආසියානුවන්ගේ මෙන්ම විවිධ සංස්කෘතීන් අත්විඳීමට ප්‍රිය කරන විදේශිකයන්ගේ ද ප්‍රියතම ස්ථානයක් බවට මෙය පත්ව ඇත. විනෝදාස්වාදය රැගත් තරඟවලින්ද සමන්විත මෙම වීදි වෙළඳපළට පැමිණ පවුලේ සැමට එක ලෙස විනෝද විය හැකිය.

Buddha’s Day and Multicultural Festival

බුදුරජාණන් වහන්සේ මෙන්ම විවිධ සංස්කෘතීන් තේමා කර ගනිමින් නිර්මාණය වූ කලාත්මක නිර්මාණ, සංගීත සංදර්ශන මෙන්ම විවිධ සංස්කෘතිමය ඉදිරිපත් කිරීම් රැගත් බුදුන්ගේ දිනය සහ බහුසංස්කෘතික උත්සවය මැයි 1 වන දා සිට 3 වන දා දක්වා දින තුනක් පුරාවට ෆෙඩ් චතුරශ්‍රයෙහි පැවත්වේ. “Light it up” යනුවෙන් හැඳින්වෙන මෙහි සමාරම්භක උත්සවය ෆෙඩ් චතුරශ්‍රය ආලෝකවත් කරමින් පැවැත්වෙන මල් වෙඩි සංදර්ශනයන් නිසා ප්‍රසිද්ධියක් උසුලයි. සති අන්තය පුරාවටම Mindfulness Forest, Lotus Flower Sanctuary සහ සුන්දර ලුම්බිණි උද්‍යානයෙහි හි පැවැත්වෙන විවිධ සංස්කෘතිමය අංග සහ භාවනාමය වැඩසටහන් සඳහා සහභාගි වීමට ඔබට අවස්ථාව ලැබේ. කුඩා ළමුන් සඳහාම වෙන් වූ අංගයන් ලෙස මකරන් නැටවීමේ කලාව ඉගෙන ගැනීමට අවස්ථාව සලසා දී ඇති අතර මුහුණ පින්තාරු කිරීම සහ යෝධ සබන් බුබුළු පිම්බීමට ද ළමුන් විශාල ලෙස සම්බන්ධ වනු ලබනවා. මෙම උත්සවය සඳහා ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ වීම ද විශේෂ‍යි.

Korean Festival

කොරියානු සංස්කෘතියට ආවේණික ආහාරපාන සහ සම්ප්‍රදායන් එකට කැටි වුණු පවුලේ සැමට එකට සහභාගී විය හැකි අංගයක් ලෙස මැයි 10 වන දා සිට 11 තෙක් දින දෙකක් පුරාවට පැවැත්වෙන මෙම කොරියානු උත්සවය හැඳින්විය හැකියි. මෙම උත්සවය බෙර වාදනය, ක්‍රීඩා ආදර්ශන මෙන්ම k-pop තරගාවලිද ඇතුළත් ඉතා පුළුල් පරාසයක විහිදුණු අංග රාශියකින් සමන්විත වේ. ඔබ කොරියානු ආහාර වලට ප්‍රිය කරන්නෙක් නම් මග දෙපස ඇති food stalls වලින් ප්‍රණීතව සැකසූ සම්ප්‍රදායික කොරියානු ආහාර රස විඳීමට ද හැකිය. ලොව පුරා ප්‍රචලිත කොරියානු කතාමාලා සහ චිත්‍රපට නිසා එම සංස්කෘතිය පිළිබඳව ඇල්මක් ඇති කරගත් අයෙකු නම්, කොරියානු සංස්කෘතිය තුළ සැඟවුණු විවිධාකාර අංගයන් උත්සවාකාරයෙන් රස විඳීමට කිසිදු අය කිරීමකින් තොරව ලබාදී ඇති මෙම අවස්ථාව මඟ හැර ගන්න නම් එපා.

සන්නස | කියවන්න, බලන්න, විඳින්න

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024