“කිවිසුම් යාම” (SNEEZING) ගැන විවිධ මත සහ එහි විද්‍යාත්මක පසුබිම

  • Home
  • /
  • Blog
  • /
  • “කිවිසුම් යාම” (SNEEZING) ගැන විවිධ මත සහ එහි විද්‍යාත්මක පසුබිම

යම්කිසි කෙනෙකු කුමන ආකාරයක හෝ කාර්යයක් ආරම්භ කිරීමට සැරසෙන විටම නැතහොත්  ගමනක් යාමට සූදානම් වන අවස්ථාවක දී, අසල සිටින කෙනෙකුගේ   කිවිසුම් හඬක් ඇසීම බාධාවක් ලෙස සමාජයේ බොහෝ දෙනා පිළිගත් මතයකි. මෙවැනි අවස්ථාවකදී  ආරම්භ කිරීමට සූදානම් කළ කාර්යය  හෝ යාමට සූදානම් වූ ගමන ​තරමක්  ප්‍රමාදවී නැවත සිදු කරන  බව අප අසා ඇත. මෙසේ කිවිසුමක් යාම අසන්නට ලැබීම බාධාවක්  ලෙස සලකන්නේ ඇයි ?

කිවිසුම් යාමලෝකයේ විවිධ සමාජ වල, බාධාවක් හෝ අවාසනාව ගෙන දෙන සංඥාවක් ලෙස පිළිගැනීමක් පවතී.  අත දරුවකුට කිවිසුමක් ගිය විට පැරණි වැඩිහිටියෝ   ‘‘ආයු බෝවේවා’’ යි දිගාසිරි පතනු අප අසා ඇත. එසේ කරනුයේ දරුවාට සෙම්ප්‍රතිශ්‍යාවක් වැනි අසනීපයක් ඇති වෙතැයි වැඩිහිටියන් අතර බියක් හටගන්නා  නිසා බව සිතිය හැකිය. 

      කිවිසුම් යාම ගැන විවිධ අදහස් 

කෙනෙකුට කිවිසුමක්  යාමේදී නාසයෙන් පිටවන ශබ්දය නොයෙකුත් ආකාර වලට විග්‍රහ කර දක්වන බව මේ පිළිබඳ තොරතුරු සෙවීමේදී අනාවරණය වේ. සිංහල භාෂාව කථාකරන බොහෝ අය මෙම ශබ්දය හච්..ඡී… න්..ග්   (HUCH..CHING) ලෙස  උච්චාරණය කරති.  සමහර යුරෝපීය රටවල එම ශබ්දය  “අච්….ඡුහ්ස්‌(‘ACHO…O..S’)  ලෙස වෙනත් ආකාරයකට හුවා දක්වති. ‘ACHO…OS ’ ලෙස දැක්වෙන යුරෝපිය භාවිතයට  සමගාමිව බොහෝ ක්‍රිස්තු භක්තිකයෝ, යම්කිසි කෙනෙකු කිවිසුමක් කළ විගසම දෙවි පිහිටයි යන අර්ථය ඇති   “God Bless” යන ආශීර්වාදය කරති. මෙම ආශීර්වාද පාඨය භාවිතයට පැමිණීම ගැන පැහැදිලි යුරෝපීය පුරාවෘත්තයක් තිබේ. මේ අනුව ක්‍රිස්තු වර්ෂ 1347 සිට 1351 කාළය තුළදී, ඉතාලියේ රෝම නගරයේ ආරම්භවූ අති භයානක මහාමාරිය වසංගතය නිසා, ජනතාව විශාල වශයෙන් මරණයට පත්විය. මීයන් මගින් බෝවෙන මහාමාරිය, Yersinia pestis  නමින් හැඳින්වෙන බැක්ටීරියා විශේෂයක් මගින් වැළඳෙන මාරාන්තික රෝගයකි.  මහාමාරිය රෝගය, bubonic plague ලෙසද  නම් කර තිබේ.  මහාමාරිය වැළදී මියගිය රෝගීන්ගේ මළ සිරුරු, තද කළු පැහැයක් ගත්  නිසා එම මරණ ‘Black death’ ලෙසද දැක්වේ. කිවිසුම් යාම ප්‍රධාන ලක්ෂණයක් වන මහාමාරිය වැළඳුනු අයට දිවි ගලවා ගැනීම පිණිස “God bless you” යන   ආශීර්වාද පාඨයෙන් සෙත් පතන  ලෙස එවකට සිටි පළමුවන ග්‍රෙගරි පාප් වහන්සේ විසින් ජනතාවගෙන් ඉල්ලීමක්  කර තිබේ. සාමාන්‍ය තත්ත්වයකදී වුවද, කිවිසුමක් ගිය විට God bless you යනුවෙන් පැවසීම ආරම්භ වී ඇත්තේ මේ ආකාරයටය.  

මහාමාරිය රෝගය වැළඳුනු අයට නිරතුරුවම කිවිසුම් යාම ප්‍රධාන ලක්ෂණයක් වන අතර, වෙනත් විවිධ හේතු නිසාද සාමාන්‍ය පුද්ගලයෙකුට කිවිසුම් යන අවස්ථා බොහෝ තිබේ. සාමාන්‍යයෙන් කිවිසුමක් යාමට හේතු සාධක වනුයේයම්කිසි බාහිර සියුම් අංශුමය ද්‍රව්‍ය  මගින්, නාස් කුහරයේ ශ්ලේෂ්මල පටලය උත්තේජනය වීමයි. සාමාන්‍යයෙන් සෙම්ප්‍රතිශ්‍යා වයිරසය වැනි එතරම් භයානක නොවන රෝග කාරක අංශු නිසා කිවිසුම් යාම බොහෝ විට මූලික ලක්ෂණයකි. මේවාට අමතරව  වායු ගෝලයේ ඇති විවිධ බැක්ටීරියා, දූවිලි අංශු, රසායනික ද්‍රව්‍ය අංශු, පුෂ්ප පරාග වැනි බොහෝ දේ කිවිසුම් ඇති කරන  උත්තේජක වේ. 

මේවාට අමතරවවිශේෂයෙන්ම සෙවන සහිත ස්ථානයක සිට එක්  වරම තද හිරු එලිය ඇති ස්ථානයකට ගිය විටද  මිනිස් සමාජයේ  30% කට පමණ, කිවිසුම් යන බවද  සොයාගෙන තිබේ. මේ නිසා හිරු එළියද එවැනි උත්තේජකයක් ලෙස සැලකිය හැකිය. හිරු එලිය කිවිසුම් උත්තේජකයක් වන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයකටය. 

ආලෝක කිවිසුම් ප්‍රතීකය’  “photic sneeze reflex  

කිවිසුම් යාම දැක්වීම පිණිස යුරෝපාකරයේ බහුලව භාවිත වන  අච්….ඡුහ්ස්(‘ACH..O..O..S’)  යන කෙටි හැඳින්වීමට ඉහත සඳහන් කළ පරිදි  හිරු එළිය හා සම්බන්ධ විද්‍යාත්මක සිද්ධාන්තයක් මුල්වී ඇත. මෙම සිද්ධාන්තය  Autosomal-dominant Compelling Helio-Ophthalmic Outburst Syndrome ලෙස හැඳින්වේ. මෙහි  acronym යෙදුම (වගන්තියේ වචනවල මුල් අකුරු යෙදී සෑදෙන  කෙටි යෙදුම)  ‘ACHOOS’ වන්නේය. අපට ඇසෙන පරිදි කිවිසුමක ශබ්දය අනුකරණය හච්..ඡී… න්..ග්(HACCHING) ලෙස භාවිත කරන්නා සේම යුරෝපාකරයේ බොහෝ රටවල එයඅච්….ඡුහ්ස්(ACHOOS)  යනුවෙන් භාවිත කරති.  මේ වචන හෝ යෙදුම් දෙකෙන්ම කෙරෙනුයේ කිවිසුමක් යැවීමේදී ඇසෙන ශබ්දය අනුකරණය කිරීමයි. 

Autosomal-dominant Compelling Helio-Ophthalmic Outburst Syndrome (‘ACHOOS’)  යෙදුමෙන් දැක්වෙන අර්ථයට  අනුරූප සිංහල යෙදුම මෙසේ විග්‍රහ කළ හැකිය. මිනිසාගේ වර්ණදේහ යුගල 23කි. මෙයින් එක යුගලයක් කෙලින්ම ලිංගිකතාව පෙන්නුම් කරයි. මේවා   XX හෝ  XY වේ. මෙයින් XX මගින් ගැහැණු බව සහ XY මගින්   පිරිමි බව පෙන්වනු ලැබේ. ඉතිරි වර්ණදේහ යුගල 22 ප්‍රමාණය අනුව අංකනය කෙරේ. සාමාන්‍ය දේහ ලක්ෂණ ගෙන යන  ජාන සියල්ලම පිහිටා ඇති මෙම වර්ණදේහ Autosomes (ගති ලක්‍ෂණ ජාන සහිත වර්ණදේහ) ලෙස නම් කෙරේ. ඉහත සඳහන් කළ ආකාරයට ඇසට හිරු රැස්  වැටීම නිසා සිදුවන උත්තේජනයට ප්‍රතිචාරයක් ලෙස කිවිසුම් යාම සිදු කරනු ලබන්නේ ඉහත සඳහන් කළ, සාමාන්‍ය වර්ණදේහයක තිබිය හැකි, සුවිශේෂී ජානයක් මගින්ය. සාමාන්‍ය මිනිස් ගහණයක 30% කට පමණ මෙම ජානය තිබේ. ඔවුහු සෙවනක සිට තද හිරු රැස්  ඇති ස්ථානයකට ගිය විට නොදැනුවත්වම කිවිසුම් හරිති. මෙම සිදුවීම සූර්ය කිරණ බලපෑම නිසා අක්ෂි ස්නායුවේ  උත්තේජනයෙන් සිදුවන ක්‍ෂණික ගතිලක්ෂණය  ලෙස අර්ථ දැක්විය හැකිය. 

කිවිසුම් යාම බාධාවක් හෝ අවාසනාවන්ත සංඥාවක් බව තීරණය කර පූර්ව නිගමනයකට එළඹ කටයුතු කිරීම බොහෝ දෙනෙකුගේ සිරිතකි. නමුත් අප එහි සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම වැදගත් වෙයි. යම් වැඩක දී හෝ ගමනක් යාම ආරම්භයේදී හෝ කිවිසුම් හඬක් ඇසීම සෑම විටම බාධාවක් හෝ අසාර්ථක වීමකට හේතුවක් වේ  දැයි පිළිගත් ක්‍රමවේදයකට අනුව විමසා  බැලිය යුතුය.

සූර්යාලෝකය නිසා සිදුවන මෙම සංසිද්ධිය  ‘ආලෝක කිවිසුම් ප්‍රතීකය “photic sneeze reflex” ලෙස දක්වා තිබෙන අතර, එය කිසිසේත් රෝගාබාධයක් ලෙස සඳහන් කිරීමක්  නොමැත. ක්‍රිස්තු පූර්ව හතරවන සියවසේ ජීවත්වූ ග්‍රීක දාර්ශනිකයෙකු වූඇරිස්ටෝටල් පවා මේ ගැන විස්තර කර ඇතත්, මෙම සංසිද්ධිය විද්‍යාඥයින්ගේ විමසුමට පාත්‍ර වී, එය රෝගයක් නොවන බව ප්‍රකාශයට පත්වූයේ  1954 වර්ෂයේදීය. 

එසේනම් කලින් සඳහන් කර ඇති ආකාරයට සමාජයේ 30% පමණ වන අයට සෙවනක සිට හිරු එලිය ඇති ස්ථානයකට ගිය විට කිවිසුම් යන්නේ ඇයිද යන්න ස්වාභාවික හෝ අහඹු ක්‍රියාවලියක්ද යන්න ජීව විද්‍යාත්මකව සොයා බැලිය හැකිය.  

මිනිසාගේ ස්නායු පද්ධතියේ පස්වන කපාල ස්නායුව වන ත්‍රිමූල ස්නායුව (Trigeminal) මගින් හටගන්නා ස්නායු ශාකා තුනක් කෙනෙකුගේ මුහුණ ප්‍රදේශයේ විසිරී යයි. මේ සමග ඇති  රූප සටහනේ දැක්වෙන පරිදි, එම ස්නායුවේ  දෘෂ්ඨි ශාඛාව ඇසට සම්බන්ධ වන අතර, එහි දෙවන ශාකාව නාස් කුහරය හා සම්බන්ධ වේ.  මෙම ස්නායු යුගලයේ ක්‍රියාකාරිත්වය නිසා  ‘ආලෝක කිවිසුම් ප්‍රතීකය’  “photic sneeze reflex” ලෙස හැඳින්වෙන කිවිසුම් උත්තේජනය සිදුවන්නේය. මෙම ගති ලක්ෂණය සහිත කෙනෙකු, සෙවනක සිට තද හිරු එලිය සහිත ස්ථානයකට පැමිණි විට එම තැනැත්තාගේ ඇස්  වලට සූර්යාලෝකයෙන් ලැබෙන උත්තේජනය වහාම අක්ෂි ස්නායුව මගින් ත්‍රිමූල ස්නායුව වෙත සම්ප්‍රේෂණය කරයි. මෙසේ වූ විට හටගන්නා ප්‍රතීක ක්‍රියාවක් මගින්  ඇති කරවන සංඥාවක්,   නාසා ස්නායු ශාඛාව ඔස්සේ ගොස් නාස් කුහර අභ්‍යන්තරයේ ඇති සංවේදී පටලය උද්දීපනය කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස කිවිසුම් යාම සිදුවේ.

ආලෝක කිවිසුම් ප්‍රතීකය’  සිදුවන ආකාරය දැක්වෙන දළ සටහනක් 

කෙසේ වුවත් මෙම උත්තේජනය සිදුවනුයේ කලින් සඳහන් කළ  පරිදි එම ක්‍රියාවලියට අදාළ ජානය වර්ණදේහවල තිබෙන අයගේ  පමණකි. මෙම ජානයේ බලපෑම මගින් සිදුවන කිවිසුම් යාම පාරම්පරිකව ආවේනික  වන බවද සොයාගෙන තිබේ. නාස් කුහරය තුළට බැක්ටීරියා වැනි අසාදිත ද්‍රව්‍යයක් හෝ වෙනත් අහිතකර අංශු කිසිවක් ඇතුල් වුවහොත් කිවිසුම් යන්නේද ස්නායු  උත්තේජනය වන  නිසාය. එහෙත් මෙහිදී සුවිශේෂ ජාන වල අවශ්‍යතාවක් නොමැතිව සෑම කෙනෙකුටම  පොදුවේ සිදුවේ. 

කිවිසුම් යාමට අදාළ වෙනත් තොරතුරු 

කිවිසුම් යාමට අදාළ ජීව විද්‍යාත්මක තොරතුරු සොයාගැනීමටත්  පෙර සිට, බොහෝ රටවල මේ සම්බන්ධයෙන් විවිධ මති මතාන්තර  අනුගමනය කර ඇත. මෙයින් සමහර ඒවා අදටද සිරිත් ලෙස භාවිත කරන බව දැනගන්නට තිබේ. එයින්  කිහිපයක් මෙසේය.

  1. 15 වැනි ශතවර්ෂයේදී යුරෝපීය රටවල කළා ශිල්ප පුනරුදයක් සිදුවූ කාලයේදී කිවිසුම් යන විටදී කෙනෙකුගේ හදවත තාවකාලික නතර වීමකට භාජන වන බවට මතයක් ගොඩ නැගුණි. මේ නිසා ක්‍රිස්තු භක්තිකයින්  අතර, කෙනෙකුට කිවිසුමක් ගියවිට කෙටි යාඥාවක් කර සෙත් පැතීමේ  පුරුද්දක් ඇතිවිය.
  2. කිවිසුමක් ඇතිවනුයේ කෙනෙකුගේ හිතවතෙකු තමන්  ගැන ශුභවාදීව සිතීම නිසා තමන්ට  කිවිසුම් යන බවටද අදහසක් පැවතිණ. සමහර  තරුණ තරුණියන් අතර මේ අදහස තවමත් තිබෙන බව පෙනේ. 
  3. ඕලන්දය, ආර්මේනියාව, ග්‍රීසිය, යුක්රේනය වැනි රටවල කිවිසුමක් ගිය පසු  ඒ තැනැත්තාටසුවපත් වේවායන අදහස ඇති ‘Good health’ යන වචන අදාළ භාෂා ව්‍යවහාර වචන වලින් පැවසේ. 
  4. ඉන්දියාවේ තෙලිඟු භාෂාව කථා  කරන්නෝ කිවිසුමකට ප්‍රතිචාර දක්වන්නේඔබට මරණයෙන් තොර ජීවිතයකට වාසනාව ලැබේවායන  අර්ථය ඇති වාක්‍ය ඛණ්ඩයකිනි.
  5. යම්කිසි ප්‍රකාශයක් කළ කෙනෙකුට ඒ සමගම කිවිසුමක් ගියහොත් ඔහු කී දේ සත්‍යයක් බව එයින්ම් ඔප්පු වන බව පෝලන්ත ජාතිකයෝ විශ්වාස කරති.
  6. චීනය, ජපානය වැනි සමහර ආසියාතික රටවල ජනතාව, කිවිසුමක් යාම සාමාන්‍ය ජීව විද්‍යාත්මක සිද්ධියක්  ලෙස සලකන අතර, ඒ ගැන වැඩි තැකීමක් නොදක්වති. 

මේ  ආකාරයට විවිධ රටවල ජනතාව  කිවිසුම් යාමට අදාලව විවිධ මති මතාන්තර වල එල්බ ගෙන සිටින අතර, පසුගිය දිනක පුවත් පතක පළවී තිබුණු වෙනත් ආකාරයක තොරතුරක කොටසක් පමණක්  එහි කතුවරයාගේ වචන වලින්ම මෙසේ උපුටා දක්වමි.

කිවිසුම් යාම පිළිබඳව පෙර ඉසිවරුන් පෙන්වා දී ඇති කරුණු පැරණි ග්‍රන්ථයක් අනුසාරයෙන් පාඨක ඔබගේ අවධානයට යොමු කරමි. සඳුදා-බදාදා-සිකුරාදා දිනවල උතුරු දෙසින් කිවිසුම් හඬක් ඇසීම සුබ නොවේ. ඥාතියකු කරදරයකට පත්වීමක් පෙන්නුම් කරයි. තවද තමන්ද එයට හවුල් වෙන බවක් ඉඟිකරයි. ඊසාන දෙසින් නම් තමා යන ගමනින් බලාපොරොත්තු වන තරම් ප්‍රයෝජනයක් නොවන බව පෙන්වා දෙයි. නැගෙනහිර දෙසින් නම් සෙම් රෝගයක පෙර නිමිත්තකි. ගිනිකොණ දෙසින් නම් බලාපොරොත්තු ඉටු වන බව කියාපායි.”  

මේ ආකාරයට සලකා බලන විට, ඉතාමත් ස්වාභාවික ජීව විද්‍යාත්මක සංසිද්ධියක් වන කිවිසුම් යාම, මිනිසාගේ විවිධ මති මතාන්තර   වලට අනුකුලව විවිධ ආකාරයට අර්ථකථනය කරන බව දකින්නට ලැබේ. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධිය ඇතිව ඇසිය  යුතු  බව පරම සත්‍යයකි. එමෙන්ම, පැරණි අදහස් උදහස් වලම ඇලී   ගැලී සිටිමින්  මිත්‍යා මත ඔස්සේ හඹා යාමද නතර  කරදැනුම සහ බුද්ධිය මෙන්ම ප්‍රඥාවද වැඩිදියුණු කර ගැනීමට කාලය එළඹ ඇති බව සිහි තබා  ගත යුතුවේ.

දයාරත්න වීරසේකර 

Don't forget to share this post!

Recent Posts

P5Vqym7
May 20, 2024