දඬුවමට පැළයක් සිටුවීම සහ ඇසට කඳුළක්

  • Home
  • /
  • Lifestyle
  • /
  • දඬුවමට පැළයක් සිටුවීම සහ ඇසට කඳුළක්

මා සේවය කළ විදුහලක, ඇදුරු මිතුරුසංගමයක් තිබුණි. එහිදී ගුරු මණ්ඩලයේ එකට සිටි අයත් අලුතින් එකතු වන අයත් හමුවන නිසා මෙම සංගමය බොහෝ ජනප්‍රිය එකක් විය.

අවුරුදු පතා සංගමයෙන් චාරිකාවක්ද සංවිධානය කිරීම සිරිතකි. බොහෝ විට, පිට පළාත්වල චාරිකා වලදී, ඒ තැන්වල සිටින ආදි ශිෂ්‍යයෝ නොයෙකුත් ආකාරයෙන් උදව් කිරීමට අප සමග එක් විය. 

එක් වසරකට්‍රිප් එකගියේ යාපනයට ය. ඒ කාලයේ එහි රාජකාරි කළ උසස් නිලධාරියෙක් විදුහලේ ආදි ශිෂ්‍යයෙක් විය. ඒ ගමනේදී අපට එක රැයක් නවාතැන් සැපයීමට එම ආදි ශිෂ්‍යයා තම කැමැත්ත දන්වා එවා තිබිණ. යුද්ධය අවසන්වී තිබුණු නිසා ඒ දිනවල රටෙහි යහපත් සාමකාමී වාතාවරණයක් පැවතිණ. එම

නිලධාරියාගේ ආයතනයේ සිය ගණනකට වූවත් නතර වීමට, අවශ්‍ය සියලුම පහසුකම් ඇති බවද දැන ගතිමු. උදෙන්ම ගමන් ආරම්භ කළ අපි, එදින පස්වරු දෙකට පමණ එම ස්ථානයට ළඟා වූවෙමු. අප සියලු දෙනාටම නවාතැන් ගැනීම සඳහා සියලු පහසුකම් සපයා තිබුණි. ටික වේලාවක් විවේක ගැනීමෙන් පසුව, අවට ස්ථාන නැරඹීම සඳහා යාමට, අපට ඔහුගේ සේවකයෙකුගේද සහාය ලැබිණ.

කලකට ඉහතදී, වරක් එම ආදී සිසුවාගේ පන්ති භාරව සිටි ගුරු මහත්මියක් ද, අපගේ පිරිසේ සිටියාය. අප පිටත් වීමට කලින් ඇය ඇමතු ඔහු, ” මිස් අපි අදඩිනර්එක ටිකක් කලින් අරගෙන සුහද හමුවක් දැමීමටත් ලැහැස්ති කර තිබෙනවා. සින්දු කියන්නත් පරණ සිද්ධි කියන්නත් පුළුවන් යයි කීවේය.

අප ආපසු එන විට, ප්‍රණීත රාත්‍රී ආහාරයක් සකස්කර තිබුණි. 

ආහාරයෙන් පසු සුහද හමුව ආරම්භ විය. ඒ සඳහා සංගීත භාණ්ඩ ගෙනවිත් තිබුණු අතර, පිටස්තර ගායකයින් සහ වාදකයින් කිහිප දෙනෙකුද සහභාගි වූහ.අප සියලු දෙනාම පුදුමයට පත් කරමින්, එම ගායක කණ්ඩායම සංගීතය ආරම්භ කළේ විදුහල් ගීතය ගායනා කිරීමෙනි.

අපි සියලු දෙනාම සීරුවෙන් සිට විදුහල් ගීතය ගැයීමට එකතු වූවෙමු.

එදා, ගැයූ ගී සින්දු වලටත් වඩා, කාගේත් සිත් ඇදී ගියේ, ගෝලයින් නිසා ගුරුවරු අසීරුතාවන්ට පත්වූ සිද්ධි සහ ගුරුවරු විසින් ගෝලයින්ට දෙන ලද දඬුවම් ගැන, හෙළිවූ රසබර සිද්ධි වලටය. ගුරු මණ්ඩලයේ අය අතර සිදු වූ, බොහෝ දෙනෙක්

නොදත් රසවත් සිද්ධිද රාශියක් එහිදී අසන්නට ලැබුණි. සමහර සිද්ධි වසර ගණනාවක් පැරණි වූවත්, කවුරුත් නවතාවයකින් යුතුව ඒවායින් හොඳ ආස්වාදයක් ලබන බව දකින්නට ලැබිණ.

අපට ආගන්තුක සත්කාර කළ ආදී සිසුවා මෙහිදී ඉදිරිපත් කළ රසවත් සිද්ධියක් නිසා බොහෝ දෙනෙකුගේ ඇස්වලට කඳුළක්ද එකතු විය. එම සිද්ධිය ඔහු විස්තර කළේ මෙසේයි. 

මම ඒ කාලයේ ඉගෙන ගත්තේ 8 ඒ පන්තියේ. අපට විද්‍යාව ඉගැන්වූයේ රංජනී මිස්. එදින විද්‍යාව පාඩම පටන්ගත් වෙලාවේ සිටම අපගේ ගුරු මහත්මිය හේතු කිසිවක් නොමැතිව අපට දොස් කියන්නට පටන් ගත්තා.

එසේ වන විට පන්තියේ සිසුන් නොසන්සුන් වන බව ස්වාභාවිකයි.

මම මා ළඟ සිටි රුපසිරිට හෙමිහිට කිව්වා – අද මිස් මහත්තයා එක්ක ගෝරියක් දා ගෙන වගෙයි. අපට බණින්නේ කියා.

මා කී දේ මිස්ට ඇහුණේ නැති වුණත් විහිළුවක් කළ බව ඇයට දැනී, මට පන්තියේ සිටගෙන සිටීමට නියම කළා. එසේ ටික වෙලාවක් සිටගෙන සිටි මා ඇය කළුලෑල්ල පැත්ත බලන සෑම විටම හිඳ ගත්තා. මෙය කිහිප විටක්ම කරන විට පන්තියම සිනහ වුණා.

මෙය දුටු මිස් මහත් සැරෙන් කතාකර, මට පන්තියෙන් පිටවන ලෙස අණ කළා.

හිටගෙන සිටිනවාට වඩා, පන්තියෙන් පිටතට යාම හොඳ නිසා, මම වහාම පන්තියෙන් පිට වුණා

මම කොරිඩෝරය දිගේ යනවිට, පෙරේරා සර් මුණ ගැසුණා. විදුහලේ විනය කටයුතු ද භාරව සිටියේ පෙරේරා සර් නිසා, ඔහු දුටු විට මට තරමක බියක්ද ඇති වුණා. ඔහු මාගෙන් ප්‍රශ්න කළ විට මා ඔහුට සිදු වූ දෙය කිව්වා.

එහෙනම් දඬුවමටත් එක්ක පොඩි වැඩක් කරමුකී පෙරේරා සර්, මා ප්‍රධාන ශාලාව අසලට කැඳවා ගෙන ගොස්, ශාලාව ඉදිරිපිට බිමෙහි තැනක් ලකුණු කරමෙතන

අඩිය බැගින් දිග පළල ඇති අඩියක් ගැඹුරු වළක්කපන්නටය කියා උදැල්ලක් සහ අලවංගුවක් දුන්නා.

කොරේ පිටට මරේකියන්නාක් මෙන් මට පන්තියේ හිට ගෙන සිටියානම් මීට වඩා හොඳය යි සිතුණා. මා වළ කපනු බලා සිටි සර් පොලිතීන් පෝච්චියක වවා තිබුණු පැළයක් සහ පොහොර බෑගයක්ද ගෙනැවිත් දී, වළට පොහොර දමා පැළය සිටුවන ආකාරය ගැනද උපදෙස් දුන්නා. මෙය මට අලුත් අත්දැකීමක් වූ නිසා, මම එය කැමැත්තෙන්ම කළා. මීට පෙර කිසි දිනක මා පැළයක් සිටුවා තිබුණේ නැහැ. එම ශාකයේ නම කුමක්ද කියා අසන්නටවත් මට අවශ්‍ය වුයේ නැහැ. විදුහල් භූමියෙහි පැළයක් සිටුවීම ගැන, මට ආඩම්බරයක් ද ඇති වුණා. එයට පසුබිම් වූ

ඉහත කී සිද්ධිය දන්නේ කිහිප දෙනෙක් පමණයි.

කාලය ක්‍රමයෙන් ගෙවී ගියා…………

ඊට වසර හතරකට පමණ පසු මා විශ්ව විද්‍යාලයට ඇතුල්වූවා. රැකියාවට ගියාට පසු දිනක් අවශ්‍යතාවකට විදුහලට ගිය අවස්ථාවක, නිකමට ප්‍රධාන ශාලාව අසලට ගොස් මා සිටවූ පැළය ගැන සොයා බැලුවා.

අඩි හත අටක් උසට හොඳින් වැඩී තිබුණු එම ගහ කාමරංගා ගසක් බවත්, එහි ගෙඩි බරවී තිබෙන බවත් දුටු මහත් ප්‍රීතියක් ඇති වුණා.

මගේ කතාව එයින් අවසාන වුණේ නැහැ……….

තවත් අවුරුදු කිහිපයකට පසු, මගේ බිරිඳ සහ පොඩි පුතාද සමඟ, සවස් වරුවක විදුහල අසලින් යන විටක, පාසල් වත්තට යන්නට සිතුණා. මෝටර් රථය පාර අයිනේ නතර කර ගේට්ටුවේ සිටි මුරකරුට කතා කළ විට, ඔහු මා හඳුනාගෙන දෝ අපට ඇතුළට යන්නට ඉඩ දුන්නා.

ඉබේම වාගේ අපි ප්‍රධාන ශාලාව අසලටම ගියා. විශාල වශයෙන් වෙනස් වී ඇතත්, පාසල් පරිසරයේ ඉතා සමීප බවක් මට දැනුණා. එදා ඒ වේලාවෙත් පෙරේරා සර්, තවත් සිසුන් පිරිසක් සමග පාසල් වත්තේ ඈත වැඩක් කරමින් සිටිනු අප දුටුවා. මා බිරිඳ සහ දරුවාද සමග මගේ කාමරංගා ගස අසලට ගියා. දැන් විශාල ගසක් වන එය අතුපතර විහිදා උසට වැඩී තිබුණා. එදින එහි ගෙඩි නොතිබුණත්, මල් වලින් පිරී තිබුණා.මගේ කාමරංගා ගස දැක, බිරිඳද පුදුමයට පත් වුණා. ගස මුල තණකොළ වැවී තිබුණු නිසා, මා එතන බිම ඇනතියාගෙන ගස වටේ වල් පැළ උදුරා දමන විට පෙරේරා සර් එතනට ආවා. ඔහු හඳුනා ගැනීමට බැරි තරමටම වයසට ගොස් සිටියා.

ඔය මහත්මයා කව්ද? මොකද මෙතන කරන්නේ?

මොනවද ඔය ගලවන්නේ“? කියා ඔහු මගෙන් ප්‍රශ්න රාශියක්ම

එකවර ඇසුවා.

සර්…. මේ ගස සිටවූයේ මමයි. අවුරුදු 10 කට විතර ඉස්සර, ඒක බලන්නට ආවා.

කියා මා කී විට, ඉතාමත් කරුණාවෙන් මා සහ බිරිඳ දෙස බලා,

මා හඳුනා නොගත්තත්, හඳුනාගත් බවක් පෙන්වා, මේ අපේ ඉස්තරම්ම ගෝලයෙක්නේ.කියා බිරිඳ ට කිව්වා.

කාලෙකින්නේ දැක්කේ දැන් කොහේ ද වැඩ කරන්නේ?” ආදී තොරතුරු රාශියක්ම ඇසුවා.පසුව සම්පූර්ණ සිද්ධිය ඔහුට කී පසුව ඔහුගේ ඇසට සතුටු කඳුලක් ආවා.

අපේ ආදි ශිෂ්‍යයා පදිංචි ස්ථානයට ආදි ගුරුවරු ගෙන්වා ගෙන සංග්‍රහ කිරිමෙන් පසු, මේ අතීත සිද්ධිය මතක් කරන විට ඔහුගේ ඇසටද කඳුළු ආ බව අප දුටුවා.

මෙම සිද්ධිය අසා ගෙන සිටි අප ගුරු මහත්මියන් කිහිප දෙනෙකුද කඳුළු පිස දමනු දකින්නට ලැබුණා. ඒ සිද්ධියට සම්බන්ධ පෙරේරා සර්ද එදින අප පිරිස අතර සිටියා. ඔහු එම සිද්ධිය සත්‍ය බව ප්‍රකාශ කර මහා හඬින් අත්පොළසන් දුන්නා. රංජනී මිස් නම් එදින අප සමග සිටියේ නැහැ. 

දයාරත්න වීරසේකරයන්ගේආ මඟ සටහන්කෘතියෙන් උපුටා ගන්නා ලදී.

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024