දිනයට අදාල දවස මනෝමයෙන් කියන හැටි

  • Home
  • /
  • Blog
  • /
  • දිනයට අදාල දවස මනෝමයෙන් කියන හැටි

එදින ගීතාන් ආනන්දගේ නිවසට පැමිණියේ වෙනදාටත් වඩා උද්යෝගයකිනි. පෙරදිනෙක ආනන්ද කියා දීමට පොරොන්දු වූ ගණිත උපක්‍රම දැනගැනීමේ ආශාවත්, කුතුහලයත් ඒ උද්යෝගයට හේතු විය.

ආනන්ද හා ප්‍රියානි සුපුරුදු ලෙන්ගතුකමින් ගීතාන්ව පිළිගෙන ඔහු හා ආ ගිය තොරතුරු කතා බස් කිරීමට පටන් ගත්හ. මඳ වෙලාවකින් මිතුරන් දෙදෙනාට රිසිසේ කතා බස් කිරීමට ඉඩ හැර ප්‍රියානි මුළුතැන්ගෙය දෙසට ගියාය. 

“ඉතින් ආනන්ද, එදා මට කියල දෙනවා කියපු ට්‍රික්ස් අද කියල දෙන්න පුලුවන්ද?” ගීතාන් නොඉවසිල්ලෙන් ඇසීය.

“පුළුවන්, පුළුවන්, එහෙමනම් මම අද එකක් කියල දෙන්නම්. එදා මම කියපු අංක දොළහ ඔයා පිළිවෙලට පාඩම් කරගත්තද?” ආනන්ද ඇසීය.

“ඔව්, ඔව්, බින්දුව, තුන, තුන, හය, එක, හතර, හය, දෙක, පහ, බින්දුව, තුන, පහ” ගීතාන් එක දිගට කියාගෙන ගියේය.

ෂා…නියමයිනේ, ඕක ඕන වෙන්නේ දිනයක් දුන්නම අදාල දවස කියන ට්‍රික් එකට. මේ ක්‍රමය ඔයාට 1900 ඉඳන් 2099 දක්වා අවුරුදු 199 ක කාලයකට පාවිච්චි කරන්න පුළුවන්” ආනන්ද විස්තර කළේය. 

පැන්සලක් සහ කඩදාසියක් අතට ගත් ආනන්ද කඩදාසියේ සටහන් තබමින් ‘පාඩම’ ආරම්භ කළේය.

“හොඳයි, එහෙනම් අපි ගියසැරේ ගත්ත දවසම ගමුකො, ඒ කියන්නේ 1978 ජුනි 12. මෙතෙන්දි ඔයා අවුරුද්දේ අවසාන ඉලක්කම් දෙක ගන්න, ඒ කියන්නේ හැත්තෑ අට. දැන් ඒක හතරෙන් බෙදල ලැබෙන මුළු සංඛ්‍යාව විතරක් ගන්න. හැත්තෑ අට හතරෙන් බෙදුවම දහ නවයයි, ඉතුරු දෙකයි. ඔයා ගන්න ඕන දහනවය විතරයි, ඉතිරිය ගණන් ගන්න එපා, පැහැදිලිද?” ආනන්ද ඇසීය.

“ඔව්” ගීතාන් හිස සැලීය.

“දැන් ඒ ගණන අවුරුද්දේ අග ඉලක්කම් දෙකට එකතු කරන්න, ඒ කියන්නේ 19, 78 ට එකතු කරන්න, එකතුව 97 යි, පැහැදිලියිනේ?” 

“ඔව්”

“ඊළඟට මාසෙට අදාල අංකය හොයාගන්න. මස දොළහට අදාල අංක දොළහ තමයි මම ඔයාට පාඩම් කරගන්න කිව්වේ. ජුනි කියන්නේ හයවෙනි මාසේ, එතකොට අර අංක දොළහේ හයවෙනි අංකය, ඒ කියන්නේ 4 තමයි ජුනි මාසයට අදාල අංකය. ඒකත් පැහැදිලියිනේ?” ආනන්ද ඇසීය.

“ඔව්, පැහැදිලියි” ගීතාන් කිවේය.

“දැන් ඒ අංකය කලින් එකතුවට එකතු කරන්න, 97 ට 4 එකතු කළාම 101 යි. අන්තිමට දිනය, ඒ කියන්නේ 12 ඒකට එකතු කරන්න. 101 යි 12 යි එකතු කළාම උත්තරය 113 යි, ඒකත් හරි නේ?” ආනන්ද ඇසීය.

“ඔව්, තේරුනා”

“දැන් කරන්න තියෙන්නේ මේ ප්‍රතිපලය හතෙන් බෙදුවම ඉතිරි වෙන්නේ කීයද කියල බලන එකයි. 113 හතෙන් බෙදුවම ඉතිරිය 1 යි. මේ ඉතිරි ගණනින් තමයි දවස කියන්නේ. ඉතිරිය බින්දුව නම් ඉරිදා, 1 නම් සඳුදා, 2 නම් අඟහරුවාදා ආදී වශයෙන්…” ආනන්ද පැහැදිලි කළේය.

“ඒ කියන්නේ මේකේ ඉතිරිය 1 නිසා දවස සඳුදා” ගීතාන් කීවේය.

“හරියට හරි, මේ ක්‍රමය හොඳින් හුරු වුනාම බොහොම සුළු මොහොතකින් උත්තරය කියන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන කරුණු කිහිපයක් තියනවා” ආනන්ද වැඩි දුරටත් කිවේය.

“ඒ මොනවද?” ගීතාන් විමසීය.

“දිනය අධික අවුරුද්දක ජනවාරි හෝ පෙබරවාරි වල නම් මේ විදියටම දවස හොයල ඊට කලින් දවස තමයි උත්තරය හැටියට කියන්න ඕන” ආනන්ද පැහැදිලි කළේය.”අධික අවුරුද්දක් හොයාගන්නේ කොහොමද කියල දන්නවනේ?”

“ඔව්, අවුරුද්ද හතරෙන් බෙදෙනවානම්, ඒ කියන්නේ අවුරුද්දේ අන්තිම ඉලක්කම් දෙක හතරෙන් බෙදෙනවා නම් ඒක අධික අවුරුද්දක්” ගීතාන් පිළිතුරු දුන්නේය.

“ඒක තමයි අපි සාමාන්‍යයෙන් දන්නා විදිය, හැබැයි අවුරුද්ද හතරෙන් බෙදුනත් ඒක සීයෙනුත් බෙදෙනවානම් ඒක අධික අවුරුද්දක් නෙවෙයි. නමුත් සීයෙන් බෙදිලා හාරසීයෙනුත් බෙදෙනවා නම් ඒක අධික අවුරුද්දක්. ඒ කියන්නේ 1900 හතරෙන් බෙදුනත් සීයෙනුත් බෙදෙන නිසා ඒක අධික අවුරුද්දක් නෙවෙයි. නමුත් 2000 සීයෙන් බෙදුනට හාරසීයෙනුත් බෙදෙන නිසා ඒක අධික අවුරුද්දක්, තේරුනානේ?” ආනන්ද විස්තර කළේය.

“ඒක නම් මම දැනගෙන හිටියේ නැහැ” ගීතාන් පැවසීය.

“හොඳයි, අපි තව උදාහරණයක් ගමු, 1992 පෙබරවාරි 14 දිනයට අදාල දවස හොයන්න බලන්න” ආනන්ද කීවේය.

පැන්සලය අතට ගත් ගීතාන් ගණනය කිරීමට පටන්ගතේය.

“අවුරුද්දේ අවසාන ඉලක්කම් දෙක 92, හතරෙන් බෙදුවම 23, පෙබරවාරි මාසෙට අදාල අංකය 3, දිනය 14, මේ ඔක්කොගෙම එකතුව 132, හතෙන් බෙදුවම ඉතිරිය 6, ඒ කියන්නේ සෙනසුරාදා, නමුත් මේක අධික අවුරුද්දක පෙබරවාරි නිසා ඊට කලින් දවසට ගියාම දවස සිකුරාදා” කියූ ගීතාන් ගණනය කිරීම නිමකොට ආනන්ද දෙස බැලීය.

“ෂා, මරුනේ, ඔය තියෙන්නේ නියමෙට” ආනන්ද පැසසුම් ස්වරයෙන් පැවසීය.

“ඒ ටික විතරද දැනගන්න ඕනේ?” උද්දාමයට පත්වූ ගීතාන් ඇසුවේය.

“තව එකම දෙයක් දැනගන්න තියනවා, දැන් ඔයා කරපු දේ හරියන්නේ එක්දාස් නමසිය ගණන් වලට විතරයි. දෙදහස් ගණන් වලට ඒ කියන්නේ 2000 ඉඳන් 2099 අවුරුදු වලට තව පුංචි වෙනසක් කරන්න තියනවා” ආනන්ද පැවසීය.

“ඒ මොකක්ද?” ගීතාන් විමසීය.

“බොහොම සුළු දෙයක්, ඒ අවුරුදු වලටත් කලින් විදියටම ගණනය කරලා එන දවසට කලින් දවස තමයි උත්තරය වෙන්නේ” ආනන්ද පැහැදිලි කළේය. “හොඳයි ඔයා හොයන්න 2023 මාර්තු 16 කවදද කියලා, මේ සැරේ මනෝමයෙන් කරන්න උත්සාහ ගන්න”

“අවුරුද්දේ අවසාන ඉලක්කම් දෙක 23, හතරෙන් බෙදුවම 5, මාර්තු මාසෙට අදාල අංකය 3, දිනය 16, මේ ඔක්කොගෙම එකතුව 47, හතෙන් බෙදුවම ඉතිරිය 5, ඒ කියන්නේ සිකුරාදා, නමුත් මේක දෙදහස් ගණන් වල අවුරුද්දක් නිසා ඊට කලින් දවසට ගියාම දවස බ්‍රහස්පතින්දා” ගීතාන් කියාගෙන ගියේය.

“ඔයා හොඳින්ම තේරුම් අරන් තියනවා” සතුටින් පැවසු ආනන්ද “එහෙනම් 2020 ජනවාරි 13 කවදද කියන්න” යි ඉල්ලීය.

“අවුරුද්දේ අවසාන ඉලක්කම් දෙක 20, හතරෙන් බෙදුවම 5, ජනවාරි මාසෙට අදාල අංකය 0, දිනය 13, මේ ඔක්කොගෙම එකතුව 38, හතෙන් බෙදුවම ඉතිරිය 3, ඒ කියන්නේ බදාදා, නමුත් මේක අධික අවුරුද්දක ජනවාරි නිසා ඊට කලින් දවසට ගියාම දවස අඟහරුවාදා, ඒ එක්කම මේක දෙදහස් ගණන් වල අවුරුද්දක් නිසා ඊටත් කලින් දවසට ගියාම දවස සඳුදා. හරි නේද?” ගීතාන් ඇසීය.

“හරියට හරි, ඒ කියන්නේ ඔයා මේක හරියටම අල්ලාගෙන තියනවා. දැන් තියෙන්නේ හොඳින් පුරුදුවෙලා ගණනය කිරීමේ කාලය අඩු කරගන්න උත්සාහ කරන එකයි. සමහර විට ඔයාට කෙටි ක්‍රම අහුවෙන්නත් පුළුවන්. උදාහරණයක් හැටියට ඉලක්කම් ඔක්කොම එකතු කරලා හතෙන් බෙදනවා වෙනුවට ඉලක්කම් වෙන වෙනම හතෙන් බෙදලා ඒවායින් ඉතිරිවන ඉලක්කම් ටික විතරක් එකතු කරලා උත්තරය හොයන ඒක ලේසි වෙන්න පුළුවන්. ඔයාම පුරුදු වෙලා ඔයාට ගැලපෙන පහසු විදියක් හොයාගන්න” ආනන්ද අවසන් වශයෙන් උපදෙස් දුන්නේය.

“ඇත්තෙන්ම ආනන්ද ඔයාට ගොඩක් ස්තුතියි මට මේක මේ තරම් පැහැදිලිව, සරලව කියා දුන් එක ගැන. ඔයා කියා දුන්න විදියෙන් මට මේක ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන් වුනා. දැන් තියෙන්නේ මනෝමයෙන් ඉක්මනින් ගණනය කරන්න පුරුදු වෙන එක තමයි” ගීතාන් ස්තුති පුර්වක ස්වරයකින් කිවේය.

“අපෝ ඕක සුළු දෙයක්, මමත් හරි කැමතියි මම දන්නා දේවල් අනුන්ට කියල දෙන්න, විශේෂයෙන් කාගේ හරි වැරදි අවබෝධයක් නැතිකරන්න පුළුවන් දෙයක් කරන්න” යි කී ආනන්ද “අනික මනෝමයෙන් ගණන් හදන එක මොලයට, මනසට හොඳ ව්‍යායාමයක්. අපි පුංචි කාලේ පොත් පත්තර කියවන එක, ප්‍රහේලිකා, ගැටළු විසඳන එක වගේ දේවල් කොච්චරක් නම් කළාද? නමුත් දැන් තාක්ෂණයත් එක්ක, විශේෂයෙන් ටීවී, කොම්පියුටර්, ස්මාර්ට් ෆෝන් නිසා ඒ වගේ දේවල් කෙරෙන්නෙම නැහැ. අනික ඒ කාලේ අපි ගොඩක් ගණන් හැදුවේ මනෝමයෙන්, තැනකට ගියේ මග සලකුණු මතක තියාගෙන මිසක් මැප්, ජී පී එස් බලාගෙන නෙවෙයි. නමුත් දැන් ඒ ඔක්කොම වෙනස් වෙලා, මනසට, මොලයට ව්‍යායාම ලැබෙන්නේ නැති තරම්. ඉතින් විනෝදයට හරි මේ වගේ දේවල් කරනකොට ඒ අඩුව තරමක් හරි පිරිමැහෙනවා” යි කියමින් තම කතාව අවසන් කළේ ප්‍රියානි පිළිගැන්වූ තේ කෝප්පය රස විඳීමටයි.

සටහන – විජය විද්‍යාරත්න

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024