දුරදිග ගිය උදව්ව

  • Home
  • /
  • Blog
  • /
  • දුරදිග ගිය උදව්ව

ගීතානන්දත් මාත් මාතර රාහුල විද්‍යාලයේ සිසුවන් වීමු.අප දෙදෙනාම ජීවත්වූයේ එකම ප්‍රදේශයක බැවින් පාසල් ඇරී එකට ගෙදර එන මිතුරු කණ්ඩායමේ ඔහු සාමාජිකයෙකි. උසස්පෙළ හැදෑරීමෙන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් විය. අවසන් විභාගය නිමකොට කොළඹට ඒමේ අදහසින් ඔහු පේරාදෙණියෙන් කොළඹ බසයට ගොඩවුනේය.බසයේ එතරම් සෙනඟක් සිටියේ නැත.අසුනක් හිස්ව තිබෙනු දුටු ඔහු එතැනට ගොස් ඉඳ ගත්තේය.ඒ අසුනේ සිටි අනෙක් පුද්ගලයා අමරසිරි කලන්සුරිය බව දුටු ඔහු සුළු තැති ගැන්මකට ලක්විය.ඒ ගීතානන්ද ඉතාමත්ම ආදරය කරන ගරු කරන නළුවා ඔහුවූ බැවිනි. ගීතානන්ද කලං දෙස බලා මට ඔබතුමාත් එක්ක කතා කරන්න පුළුවන්දැයි ඇසීය.

මල්ලි මේ කොහේද යන්නෙ”? කලං ඇසීය.

මම මාතර ගෙදර යනව අයියේගීතා කීවේය.

එතකොට පේරාදෙණියෙ ආවේ” 

මම අයියෙ කැම්පස් එකේ ඉගෙන ගත්තෙ, අන්තිම විභාගයටත් ලිව්ව.තාම රිසල්ට් ආවේ නැහැ. කැම්පස් යාළුවෙක් හම්බුවෙන්න නුවර ගියා.දැන් ඉතින් ගෙදර යනව

ඉතිං රස්සාවක් නේද හොයාගන්න ඕන

ඔව් අයියෙ, මේ දවස්වල රස්සාවල් හොයනව

මල්ලි මොනවද කැම්පස් එකේ ඉගෙනගත්තෙ” ?

අයියේ මම ඉංජිනියරින් කලේ

මගේ යාළුවෙක් ඉන්නව මල්ලි එයා කෑගල්ලේ දිසාපති.අපි දැන් කෑගල්ලෙන් බැහැල ගිහිල්ල එයාව හම්බුවෙමු.මම හිතනව එයාට මල්ලිට උදව් කරන්න පුළුවන් වෙයි කියල”.

ඒ අනුව දෙදෙනාම කෑගල්ල කච්චේරියට ගිය අතර එහිදී දිසාපතිතුමා ගීතාට ඉඳිකිරීමේ ආයතනයක රැකියාවක් ලබාදීමට අවශ්‍ය කටයුතු කරදුනි.ඉන් පසු කලං හා ගීතානන්ද බසයකින් කොළඹ බලා පැමිණියහ. ගීතානන්ද ලංකාවේ කළ එකම රැකියාව කලංගේ උදව්වෙන් ලබාගත් එම රැකියාවයි.

මේ සිදුවීම නිසා දෙදෙනා අතර දැඩි මිත්‍රත්වයක් ඇතිවිය.ඉඩ ඇති අවස්ථාවල ගීතා කලංගේ නිවසට ගියේය. ගීතා කලංගේ පවුලේ මිතුරෙකු බවට පත්වන්නට වැඩිකල් ගියේ නැත. මේ යුගය වන විට ගීතාගේ මල්ලී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දෙවන වසර සිසුවෙකි.ගීතාගේ මල්ලීද කලංගේ පවුලේ මිතුරෙකු බවට පත්විය.ගීතාගේ මල්ලී වෛද්‍ය පිඨයේ කටයුතු නිමා කොට වෛද්‍ය වෘත්තියට පිවිසුණ අතර ගීතා හා කලං අතර එදා ඇතිවූ මිතුරුදම ගීතාගේ මල්ලී කලංගේ බෑණා වීම දක්වා දුරදිග ගියේය.

අමරසිරි කලංසුරිය යනු මනා ප්‍රතිභාවකින් යුක්ත නළුවෙකු බව අමුතුවෙන් කිවයුතු නැත.රඟපෑම සඳහා ඔහුට රූපලාවන්‍ය ශිල්පීන් අවශ්‍ය නොවීය.

මිනිසෙකු දුටු පමණින් ඒ පුද්ගලයා කුමන චරිතයකින් යුතු පුද්ගලයෙකුදැයි කිවහැකි අපුරු හැකියාවක් කලංට තිබුණි.කලං එසේ කිවූ අනුමාන සියයට සියයක්ම නිවැරදි බව දිනක් ගීතා මා සමඟ කීවේය.

තවත් මිනිසෙකුට ඕනෑම ආකාරයක උපකාරයක් කිරීමට ඉදිරිපත්වූ මොහු කිසි විටෙක පෙරළා උපකාරයක් බලාපොරොත්තු නොවීය.

කලං අයියේ, ඔබ වැනි මිතුරෙකුගේ වියෝව අපට මහත්වූ  පාළුවකි. පාඩුවකි. තනිකමකි.

චිත්‍රාන් මොරකන්​ද

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024