ගුණපාල යළිත් වතාවක් ලාච්චුව ඇර විමලාවතී එවූ ලිපිය ගෙන කියවන්නට විය. විමලාවතීගේ ගෙදරට එනවා නම් දවල් වරුවේ ම එහි එන ලෙසත් දවසක් ගෙදර නතර වී යන ලෙසටත් සඳහන් කොට තිබිණ. රෑබෝවී නොඑන ලෙසට ලිපියේ අවසානයේ යළිත් ලියා තිබිණ. මිනිරන් පතලේ ප්‍රධාන කාර්යාලයේ ලිපිකරුවකු වශයෙන් සේවය කරන ගුණපාලට විමලාවතී හමුවන්නේ කොළඹ පිහිටි සිය නවාතැනේදීය. එම නවාතැනේ හිමිකාරියගේ ඥතී සහෝදරියක වන විමලාවතී කොළඹ යම් කටයුත්තකට පැමිණ එම ගෙදර රාත්‍රියේ නතර විය. එදා හඳුනාගත් ඇය සමඟ මේ වන විට ලිපි හත අටක් හුවමාරු වී තිබේ. ගුණපාලට ඇය දැකීමටත් ඇයට ගුණපාල දැකීමටත් දැන් ලොකු ඕනෑකමක් ඇතිව ඇත. මේ නිසා එදා සෙනසුරාදා වරුවෙන් වැඩ නිම කර රත්නපුර ලන්දෙස්‌ස පිහිටි ඇගේ නිවසට යැමට ගුණපාල කොළඹින් බසයට නඟින විට සවස හතර විය.
රත්නපුරයට පැමිණ එතැනින් ලන්දෙස්‌සට තවත් බසයකින් ගොස් බසින විට රාත්‍රි අට පමණ වී තිබිණ. විමලාවතී ලියා එවා ඇති පරිදි මෙතැන් සිට සැතපුම් දෙකක් පමණ තේ වතු හා නොයෙක් වතු මැදින් පයින් යා යුතුය. මේ සම්පූර්ණ දුරට ම කිසිම ගෙයක් ඇත්තේ ද නැත. ගුණපාල බසයෙන් බැස්‌ස තැන ඇති කුඩා සිල්ලර කඩයට ගොඩවී කඩයේ මුදලාලිගෙන් ගමන ගැන විස්‌තර ඇසුවේය. අපෝ මහත්තය මේ වෙලාවට නම් ඔය පාරේ ගමේ කෙනෙක්‌වත් යන්නෙ නැහැ. මුදලාලි දැස් ලොකු කරමින් කීය. ඇයි මුදලාලි සතා සරුපය ඉන්නවද, එහෙම නැත්නං පාර වරදිනව ද? ගුණපාල පෙරළා ඇසීය. උන්ගෙන්නං බේරෙන්න බැරියැ මහත්තයෝ. ඔය පාරෙ හරියට හොල්මං, රෑ ගියපු කට්‌ටිය ඔක්‌කොම නතර වුණේ සේදිරිස් කට්‌ටඩි මාමගෙ දිහාවෙ තමා. මහත්තයට ඕන්නං අපේ දිහාවෙ නතර වෙලා හෙට උදේ යන්න. ගුණපාල කල්පනාවට වැටිණ. විමලාවතී දැක ගැනීමේ ආශාව තදට දැනිණ. මං ඔය හොල්මංවලට බය නැහැ මුදලාලි. මං යනව පාර වරදින්නෙ නැහැ නේද? පාර නං ඔය කෙළින්ම යන එකයි ඇත්තෙ, වෙන හැරෙන්න පාරවල් තියෙනවයෑ, එහෙනම් අර සේදිරිස් මාමාට කියල ආරක්‍ෂා නූලක්‌වත් දමා ගෙන යන්න. යං ඔය එහා පැත්තෙ සේදිරිස් මාමගේ ගෙදර තියෙන්නෙ, මාත් එන්නං. මුදලිලා කියා ගෙන ගියේය. ඉක්‌මනින් කඩය වැසූ මුදලාලි ගුණපාලත් සමඟ සේදිරිස් කට්‌ටඩි උන්නැහෙලාගේ ගෙදරට ගියේය.
සේදිරිස් මාමා හාන්සි පුටුවක දිගාවී ශ්ලෝක ගායනා කරමින් සිටියේය. “ආ මොකද අමරදාස” සේදිරිස් මාමා පුටුවෙන් නැඟිටින ගමන් ඇසීය. මෙන්න මේ මහත්තය කොළඹ ඉඳන් ඇවිල්ල තියෙන්නෙ විමල නංගිලගෙ ගෙදර යන්න. මුදලාලි කීය. “එහෙමද ඉතිං මොකද කරන්න ඕන” සේදිරිස් මාමා ඇසීය. මේ මහත්තයට රෑම යන්නත් ඕනලු, ඉතිං මේ ආරස්‌සා නූලක්‌වත් දාල දෙන්න කියන්න ආවෙ මුදලාලි කීය. ඔව් පුළුවන් හැබැයි රුපියල් සීයක් ගන්නව සේදිරිස් ගුරුන්නාන්සේ ඇඟටපතට නොදැනී කීය. මොනවා රුපියල් සීයක් මගේ මාසෙ පඩියත් රුපියල් දෙසීයයි. ගුණපාල සැරෙන් කීය. ඔව් මහත්තය මේව නැතිව වැරදුනොත් මුළු ජීවිත කාලෙම විඳවන්න වෙයි ගුරුන්නාන්සේ කීය. ඕන් නැහැ. මං ඔය හොල්මන්වලට බය නැහැ, මාව බය කරන්නත් බැහැ කියමින් විදුලි පන්දමද අතට ගෙන ගුණපාල පාරට බැස්‌සේය. හරි මහත්තය ඔහොම කියපු ගොඩක් අය ආයෙ මගේ ළඟට ම තමා ආවේ යෑයි සේදිරිස් කෑගසා කීවේය.
කඩේ මුදලාලි කිවූ ආකාරයට හා විමලාවතීගේ ලිපිවල දක්‌වා ඇති පරිදි කඩේ ඉදිරිපිට දැවැන්ත කොස්‌ගස ගාවින් හැරී ගුණපාල දිගට ම ගමන් කරන්නට විය. ගුණපාලගේ හිතේ යම් චකිතයක් නොතිබුණා නොවේ. ඉදිරියට හා පසුපසට විදුලි පන්දම ගසමින් ඉතා ඉක්‌මනින් ගුණපාල ගමන් කරන්නට විය. සමහර අවස්‌ථාවලදී තමාගේ ම සපත්තු හඬට ගුණපාල ගැස්‌සී ගියේය. දැන් සැතපුමක් පමණ පසු කරන්නට ඇතැයි ගුණපාලට සිතිණි. තව ටිකයිනෙ යන්න තියෙන්නෙ යෑයි සිතමින් සිතට ධෛර්ය ගන්නට සිතුවත් ගුණපාලගේ පපුව තරමක් ගැහෙන්නට විය.
අඩි හතකටත් වඩා උසැති පුද්ගලයෙක් හදිසියේ පාර අයිනෙන් මතුවිය. ගුණපාල වහා විදුලි පන්දම ඒ දෙසට යොමු කළේය. ඒ මිනිසාට හිසක් තිබුණේ නැත. එක් අතකින් ලේ වැගිරෙන හිස, කෙස් වැටියෙන් අල්ලා ගෙන එල්ලෙමින් තිබිණ. අනෙක් අතේ බාල්දියක් වැනි යමක් තිබිණ. සුදු පැහැති රෙද්දක් ඇඟ වටා ඔතාගෙන සිටි අතර එයද ලෙයින් තෙත්ව ඇති බවක් පෙණින. ගුණපාල හිටි තැනම ගල් ගැසී බලා සිටියේය. ඔහු මහසෝනා නමැති හොල්මනක් ගැන අසා ඇති අතර මේ දකින්නේ එම රූපයට සමාන එකක් යෑයි ඔහුට සිතිණි. ඕන දෙයක් වෙච්චදෙන් මං මූට ගහනවා යෑයි හිත දැඩි කරගත් ගුණපාල හොල්මන තවත් ළඟට එත්ම විදුලි පන්දම බිම දමා දැත් මිට මොලවා පහර පිට පහර එල්ල කළේය. බුදු අම්මෝ යෑයි කෑගැසූ හොල්මන දෙකට කැඩී උඩ කොටස විසිවී තේ පඳුරු අස්‌සට වැටිණ. යට කොටස පැන දිව්වේය. වහා විදුලි පන්දම අතට ගත් ගුණපාල පිම්මේ දිවගොස් නැවතුනේ විමලාවතීගේ ගෙදරය.
විමලාවතීගේ ගෙදර අයට සිද්ධිය පැහැදිළි කළ ගුණපාල සිද්ධිය වූ තැනට යැමට ගමේ තවත් කිහිප දෙනෙක් එකතු කර දෙන මෙන් ඉල්ලීය. ගමේ තරුණ හා වැඩිහිටි පිරිස්‌වලින් සමන්විත තිස් දෙනෙකුගෙන් පමණ කණ්‌ඩායමක් හුළු අතු හා විදුලි පන්දම් රැගෙන සිද්ධිය වූ තැනට වහා ගියහ. දක්‌නට ලැබුණේ කප්පාදු කරන ලද තේ පඳුරක දණ්‌ඩක් ගෙළ පාසාරු කරගෙන ගොස් වේදනාවෙන් කෙඳිරිගාමින් සිටි තරුණයෙකි. ගම්මුන් ඔහු කවුරුන් දැයි හඳුනා ගත්හ. වහා තේ දණ්‌ඩ කැපූ ගැමියන් දණ්‌ඩත් සමඟම තුවාලකරුවා රෝහලට ඇතුළත් කරන ලදී. වහා ක්‍රියාත්මක වූ වෛද්‍යවරු දණ්‌ඩ ඉවත් කොට රෝගියා සැත්කමකට භාජනය කරන ලදී. සිද්ධිය වූ ස්‌ථානයේ තිබී වෙස් මුහුණක් ගැටගසනා ලද නැට්‌ටක් සහිත පොල් ගෙඩියක්‌ද පෙරළී තිබූ රතු පැහැති තීන්ත බාල්දියක්‌ද සොයා ගන්නා ලදී. මේවාද රැගෙන ගම්මුන් සමඟ පොලිසියට ගිය ගුණපාල සිද්ධිය ගැන පොලිසියේ පැමිණිල්ලක් දැමීය.
පසුදින ක්‍රියාත්මක වූ පොලිසිය රෝහලට ගොස් රෝගියාගෙන් කටඋත්තරයක් ගෙන ඒ අනුව පෙරදින පැන දිවූ හොල්මනේ යට කැබැල්ලද අත්අඩංගුවට ගන්නා ලදී. කරන ලද පරීක්‍ෂණවලින් අනතුරුව කඩේ මුදලාලි හා සේදිරිස් ගුරුන්නාන්සේද අත්අඩංගුවට ගැනිණ.
මෙම මහසෝනා හොල්මනෙහි නිර්මාතෘවරයා සේදිරිස් ගුරුන්නාන්සේය. පොල්ගෙඩියකට වෙස් මුහුණක් තබා බැඳ සකස් කරන ලද කෘත්‍රිම හිසත් එක් තරුණයකුගේ කර මත තවත් තරුණයෙක් නැග ඔහුගේ හිසෙහි සිට සුදු රෙද්දකින් වසා දමා හිස නැති උස පුද්ගලයාත් බෙල්ලෙන් ලේ ගලන බවට පෙන්වීමට විටින් විට හලා ගැනීම සඳහා එක් අතක තබාගත් රතු තීන්ත බාල්දියක් ගුරුන්නාන්සේගේ අදහස් විය. මෙම හොල්මන නිසා පාළු පාරෙන් එපිට ගම්මානයේ ජීවත් වූ තුන්සියයක් පමණ දෙනාට ආරක්‍ෂා නූල් හා සුර සකස් කොට දීමෙන් කෙටි කළකදී ඉතා විශාල මුදලක් සොයා ගැනීමට ගුරුන්නාන්සේ සමත් විය. රාත්‍රි කාලයේ කිසිවකු මෙම පාරේ ගමන් නොකළ හෙයින් මහසෝනා ලෙස රඟපෑ තරුණයන් දෙදෙනා තේවත්තේ තේ දලු හොරෙන් නෙළා ගත්හ. මේවා ඉතා අඩු මුදලට මිලයට ගත්තේ කඩේ මුදලිලා විසිනි. ඔහුද එයින් අනිසි ලාභයක් උපයා ගත්තේය. අධිකරණයේ නඩුවක් ඇසීමෙන් අනතුරුව මොවුන් හතර දෙනාට දඬුවම් විඳීමට සිදුවිය. විටින් විට නඩුවට සාක්‍ෂි දීමට ගුණපාලට එන්නට වූ හෙයින් ගැටලුවකින් තොරව ආයතනයෙන් නිවාඩු ලබාගෙන විමලාවතී මුණගැසීමේ අවස්‌ථාව ගුණපාලට උදා විය. සේදිරිස්‌ගේ ශ්ලෝක ගායනා එදායින් පසුව ඇසුණේ නැත. එක රැයකින් ගුණපාල විමලාවතීගේ ගමේ හා විමලාවතීගේ වීරයා බවට පත්විය.
චිත්‍රාන් මොරකන්දෙ ගමගේ