රජුන් දියකෙළි බට පොකුණ හෙවත් බලපොකුණ

  • Home
  • /
  • History
  • /
  • රජුන් දියකෙළි බට පොකුණ හෙවත් බලපොකුණ

අද අපි සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ කොළඹ නගරයේ අතිශයින්ම ජනාකීර්ණ වූ ප්‍රදේශයක පිහිටා තිබෙන පැරණි විහාරයක් පිළිබඳවයි. ඒ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාමංකඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ පාමංකඩ බලපොකුණ විහාරය පිළිබඳව. 2008 වර්ෂයේ ජූනි 06 දින ප්‍රකාශයට පත්කරන ලද රජයේ ගැසට් නිවේදන අංක 1553 මගින් මේ විහාරස්ථානය සහ ආශ්‍රිත භූමිය පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් බවට පත් කරනු ලැබේ. එක් පැත්තකින් කිරුළපන ග්‍රාමයේ දකුණු පසටත්, අනෙක් පස පාමංකඩ, කළුබෝවිල සහ කොහුවල යන ග්‍රාමයන්ට මායිම්ව පිහිටා ඇති බලපොකුණ අතීතයේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර ගිය ගල්තලාවකින් සමන්විත වූ බවට තොරතුරු වාර්තා වෙයි.

මෙම විහාරස්ථානයේ ඉතිහාසය කෝට්ටේ රාජධානි සමය (ක්‍රි.ව. 1412 – 1597) දක්වා දිව යන බව මේ වන විට සිදුකර ඇති පුරාවිද්‍යාත්මක හා ශාස්ත්‍රීය පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ. තුන්වන වික්‍රමබාහු රජු ගම්පොළ රාජ්‍ය කරන කාලයේදී රයිගම සෙනවිරාජ පදවිය දැරූ තෙවැනි අලගක්කෝනාර නොහොත් නිශ්ශංක අලකේශ්වර විසින් යාපනයේ ආර්ය චක්‍රවර්තීන්ගේ බලය නැති කිරීම සඳහාත්, සතුරු ආක්‍රමණ වලින් බේරීම සඳහාත් ගොඩනංවන ලද බලකොටුව කෝට්ටේ රාජධානියේ ආරම්භක අවස්ථාව වශයෙන් සැලකේ. තුන්වන වික්‍රමබාහු රජ දවස අලගක්කෝනාර විසින් මතු ආරක්ෂාව පිණිස ඉදිකරන ලද බලකොටුව දියුණු රාජධානියක් දක්වා විකාශයට පත්වනුයේ අවසන්වරට ශ්‍රී ලංකාව එක්සේසත් කළ හයවන පරාක්‍රමබාහු රජු දවසය. මෙලෙස කෝට්ටේ රාජධානි සමයේ රාජතාන්ත්‍රිකයන්ගේ අවධානයට ලක් වූ ස්ථාන අතුරින් බලපොකුණට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි.

නමුත් ඉහතින් සඳහන් කළ පරිද්දෙන් විශාල ගල්තලය අද වන විට ශේෂව නොමැති අතර අද ඉන් ඉතිරිව ඇත්තේ ස්වභාවික ගල් පොකුණ සහ පර්වතයේ කුඩා කොටසක් පමණය. මෙම ස්ථානයේ නාමය නිර්මාණය වීම සම්බන්ධයෙන් ද ජනප්‍රවාදමය අදහස් කිහිපයක් පවතී. විශේෂයෙන්ම වර්තමානයේ පවා මෙම විහාරය පිහිටා ඇති භූමිය අවට ප්‍රදේශ සමඟ සසදා බලන විට ඉතා උස් භූමි භාගයක පිහිටා ඇති නිසා අතීතයේදී කෝට්ටේ රාජධානියේ ඉදිරි ආරක්ෂක බලකොටුවක් හෝ ආරක්ෂක වලල්ලක් වශයෙන් මෙම ස්ථානය භාවිත කරන්නට ඇති බව ඇතැමුන් උපකල්පනය කරයි. මෙම ස්ථානය කොළඹ පිහිටි ස්වභාවිකව නිර්මිත උස් ස්ථාන අතරින් එකක් ලෙස සලකන අතර කෝට්ටේ ප්‍රදේශය මෙහි සිට පැහැදිලිව දැකගත හැකිය. රජුගේ හේවායන් හෙවත් බටයන් මෙහි ස්ථානගත කොට පැවති නිසා නමේ මූලාරම්භයට ‘බල’ එකතු කරමින් මෙම උස්බිම් දෙක අතර ප්‍රදේශය අද පවා හඳුන්වනු ලබන්නේ ‘බලහේන්මුල්ල ‘ යනුවෙනි. එම නාමය වියුත්පන්න වී ඇතතේ ආරක්ෂක බලකොටුවට සමාන සිංහල භාෂාවේ වචනයකිනි. ඒ අනුව ඉහතින් සඳහන් කරන ලද කෝට්ටේ රාජධානියේ ඉදිරි ආරක්ෂක පවුරක් වශයෙන් මෙම ස්ථානය භාවිත වූ බවට වන උපකල්පනය නිවැරදි යැයි සිතිය හැක. මෙය රජුගේ හමුදාව අගනුවර ආරක්ෂා කරන උස් බිමක් වශයෙන් භාවිත කළා යැයි මේ අනුව හඳුනාගත හැකිය.

රජුගේ සෙබළුන් හෙවත් බටයන් මෙම ස්ථානය මුර පොළක් ලෙස භාවිත කළ බවත් එසේම එම සෙබළුන් තමන්ගේ ජල අවශ්‍යතාවය සඳහා පොකුණ භාවිත කළ නිසා මුරකරුවන් යන අර්ථය ඇති ‘බට ‘ යන සිංහල වචනයෙන් වියුත්පන්නව බටපොකුණ නාමය මෙයට ව්‍යවහාර වී ඇති බව හඳුනා ගත හැකිය. මෙලෙස මුල් කාලීන ව බටපොකුණ වශයෙන් ව්‍යවහාර වූ ප්‍රදේශය කාලානුරූපීව බලපොකුණ වශයෙන් ව්‍යවහාරයට පත්ව ඇත. එසේම බලපොකුණ රාජ මහා විහාරයට මායිම්ව පිහිටා ඇති කිරුළපන නම් ග්‍රාමයේ ග්‍රාම නාමය නිර්මාණය වීම පිළිබඳව පවතින අදහස ද සුවිශේෂී වේ. එහිදී කිරුළපන ප්‍රදේශය තවත් උස් බිමකට මුහුණලා ඇති නිසා ඉතා මැනවින් කිරුළ හෙවත් රාජධානිය පෙනෙන නිසා ‘කිරුළ පෙනේ’ පසුකාලීනව කිරුළපනේ වශයෙන් ව්‍යවහාර වූ බවද දැක්විය හැකිය. කිරුළපනට එහි මුල් නම ‘කිරුළ පෙනේ’ ලැබුණේ මෙම දෙවන කඳු ගැටය නිසාය.

මෙරට සුප්‍රකට නවකතා කරුවකු වූ W.A. සිල්වා ශූරින් කෝට්ටේ රාජධානි සමයේ රාජමාලිගයේ ඇති වූ අභ්‍යන්තර බල අරගලයක් පදනම් කර ගනිමින් රචිත ‘විජයභා කොල්ලය ‘ නවකතාවේ සඳහන් වන අන්දමට රහස් උමගක් සහිත බල ලොකුණ ප්‍රභූන් සහ රාජකීය පවුලේ උදවියගේ ආරක්ෂාව සඳහා භාවිත කළ බව සඳහන් වේ. එසේම ‘ මහා හටන’ නම් සටන් කාව්‍යයේ ද මෙම විහාරය හා විහාර භූමියේ පිහිටි දැඩිමුණ්ඩ දේවාලය පිළිබඳව තොරතුරු හඳුනාගත හැකිය.

මෙම බලපොකුණ සම්බන්ධයෙන් පවත්නා ජනප්‍රවාද කිහිපයක් පවතී. එනම් මෙම පොකුණ මිනිසුන් බිලි ගන්නා බවට පවතින විශ්වාසයයි. එසේම කලින් කලට පොකුණ තුළින් රත්රන් මාළුවකු හෝ රත්තන් කෙණ්ඩියක් වැනි යමක් මතු වනවාය යන පිළිගැනීමක්ද මිනිසුන් තුළ පවතී. මේ විහාරය හා බැඳී ජනප්‍රවාදයන්ට අනුව කෝට්ටේ රාජමාලිගාවේ සිට බලපොකුණ රාජමහා විහාරය දක්වා උමං මාර්ගයක් පැවැති බවත් එම සේම එම උමං මාර්ගය ඇතුල්කෝට්ටේ පිහිටි පුරාණ ගල් අම්බලම දක්වාත් එතැන් පටන් වර්තමාන ආනන්ද ශාස්ත්‍රාලීය විද්‍යාලය භුමියේ තිබී අනාවරණය කරගත් උමංද්වාරය දක්වාත් වැටී ඇති බවට උගතුන් අදහස් දක්වයි. එකල රාජසභාවේ වූ රාජකීයයන්ගේ ආරක්ෂාවටත්, ඔවුන්ගේ ජල ක්‍රීඩා සඳහා බලපොකුණට පැමිණීම සඳහාත් භාවිත කරන ලද භූගත උමං මාර්ගයක් වශයෙන් මෙය භාවිත වන්නට ඇති බව ජනප්‍රවාදයේ තවදුරටත් සඳහන් වේ. ජනප්‍රවාදයට අනුව මෙකී උමග රජුට ආශ්ව රථයක නැගී ඉතා සුව පහසුව පැමිණිය හැකි ලෙස නිර්මාණය කරන ලද්දක් වශයෙන් ද සඳහන් වේ. දුරාතීතයේ දී මේ භූමිය පිහිටි ස්ථානයේ විහාරයක් සහිත පැරැණි දේවාලයක් පිහිටා තිබූ අතර එය ‘ගලේ දේවාලය, ගලේ බණ්ඩාර දෙවියන්ගේ දේවාලය’ වශයෙන් හඳුන්වා ඇත. වර්තමානයේ ද දැඩිමුන්ට දෙවියන්ට කැප වූ එම දෙවොල දැක ගත හැකි අතර තේවාවන් ආදී වතාවක් කටයුතු ද සාමාන්‍ය පරිදි එහි සිදු වේ. දේවාලයේ ආරම්භය කවදා සිදුවීද යන්න පිළිබඳව කිසිදු සඳහනක් හඳුනා ගැනීම අපහසුය. ඵෙතිහාසික හා ජනශ්‍රැති විද්‍යාත්මක අතින් බොහෝ බල සම්පන්න යැයි ද අදෘශමාන බලවේගයක් ඇතැයි බැතිමතුන් අතරේ විශ්වාස කරන විශාල ‘බකිනි’ ශාකයක්ද මෙම දෙවොල අසල දැක ගත හැකිය. මෙහි වූ පොකුණ කෙතරම් නියං සමයක් පැමිණියද සිඳී නොයන බව විහාරයේ වත්මන් නායක ස්වාමීන් වහන්සේ වන උඩගම සිද්ධත්ත හිමියන් ප්‍රකාශ කරයි. එසේම මේ විහාර භූමිය මෙතරම් ජනාකීර්ණ පරිසරයක වුවද සාමාන්‍ය භූමියෙන් උස් මට්ටමක පිහිටා ඇති නිසාම එහි ඉතාමත් නිස්කලංක වූ පරිසරයක් පවතින බව දැක ගත හැකය. භික්ෂූන් වහන්සේලාට සුවසේ වැඩ වාසය කිරීමට යෝග්‍ය පුණ්‍ය භූමියක් වශයෙන් වත්මනේ ගොඩනැගී ඇති මේ භූමිය පිළිබඳ මෑත කාලීන ඉතිහාසයේ ශතකයකට ආසන්න තොරතුරු පැහැදිලිව අපට හඳුනාගත හැකිය. එහිදී වර්ෂ 1910 දී L.G.A.වීරකෝන් හාමිනේ සහ උඩවත්තගේ දොන් දාවිත් අප්පුහාමි යන දායක පිරිස විසින් එවකට පාමංකඩ ශ්‍රී මහා විහාර වාසීව වැඩ සිටි බද්දේගම සරණංකර හිමියන්ට මෙම ඉපැරණි පොකුණ සහ දේවාලයට යාබදව ඇති භූමිය පූජා කොට ඇත. අනතුරුව එහි ඉදිකරන ලද ආවාසයකට කෝදාගොඩ සරණතිස්ස නම් හිමියන් වැඩම කොට ඇත. එතැන් පටන් බලපොකුණ, බලපොකුණ විහාරස්ථානය බවට පත්ව ඇත. මෙහි ආදී කර්තෘභූත ස්වාමීන් වහන්සේ වූ බද්දේගම සරණංකර හිමියන් දේශීය වෛද්‍ය විද්‍යාවේ පරතෙර පැමිණි ස්වාමීන් වහන්සේ නමක් වූ බැවින් උන්වහන්සේ සිද්ධ කළා වූ ජාතික සහ ආගමික ක්‍රියාකාරකම් සඳහා පැහැදී දායකකාරකාදීන් විසින් මෙම විහාරයට යාබද තවත් ඉඩම් කඩම් කිහිපයක්ම පුජා කර ඇත. මෙම විහාරයේ වත්මනෙහි ඇති විහාර මන්දිරය සහ වාහල් කඩ වසර 99 කට පමණ වඩා පැරැණි වේ. කෙසේ වෙතත් කෝට්ටේ රාජධානි සමය තුල හා ඉන් පසු කාලීන සමයේ ශ්‍රී ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශ වලට සිදු වූ පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි යුරෝපීය බලපෑම් හමුවේ මුහුදු බඩ ප්‍රදේශ වල පැවැති සෙසු බෞද්ධ ආගමික විහාරස්ථානයන් සඳහා අත් වූ ඉරණම මෙම විහාරස්ථානය සඳහාද අත් වූ අතර එවැනි ඓතිහාසිකමය ස්ථාන ගණනාවක්ම නෂ්ඨ වූ අවශේෂ බවට පත්විය.

මීළඟ ලිපිය තුළින් ද තවත් මෙවැනිම ඓතිහාසික, පුරා විද්‍යාත්මක සහ ජනශ්‍රැති විද්‍යාත්මක වටිනාකමකින් යුතු භූමියක තතු ඔබ හමුවේ ගෙනහැර පෑමේ අපේක්ෂාවෙන් අද සටහනට තිත තබන මම, චන්දු සදරුවන්.

රචනය – චන්දු සඳරුවන්

Don't forget to share this post!

Recent Posts

P5Vqym7
May 20, 2024