ලෙනින් කෙනෙක් පහළ වනතුරු බලා සිටින මිනිසෙක්

  • Home
  • /
  • History
  • /
  • ලෙනින් කෙනෙක් පහළ වනතුරු බලා සිටින මිනිසෙක්

ශ්‍රී ලංකාව මන්දපෝෂණයෙන් මුදවා ගැනීමට ඔහු පර්යේෂණ රාශියක් කළේය. විදේශ විනිමය රැකගෙන දේශීය ධාන්‍ය වර්ගවලින් ම සියලු පෝෂ්‍ය පදාර්ථ සහිත ශක්තිමත් ආහාර වේලක් අඩු මිලට ජනතාවට ලබා දිය හැකි මගක් ඔහු ඉදිරිපත් කළේය.

දස වසරක සිට ඔහු කළ මේ පර්යේෂණ පිළිබඳව පසුගිය රජයේ ජනාධිපතිට ආහාර ඇමැතිට සහ අනෙක් බලවතුන්ට අපි කීවෙමු. අදාළ ඉහළ නිලධාරිනට ඔහු මුණගස්වා දුනිමු. ඔහු ගැන පුවත් පත්වල පිටු ගණන් ලීවෙමු. එහෙත් ඔහු කිසිවෙකුගේ නිසි අවධානයට හසු වූයේ නැත.

ධාන්‍ය වර්ග ග්‍රෑම් 100 කින් කැලරි 6000 ක් පෝෂ්‍ය පදාර්ථ අඩංගු විස්කෝතු, පෙති, නිපද වූ ඔහුගේ පර්යේෂණ අති සාර්ථක ප්‍රතිඵල පෙන් වූ බව ඒ ආහාර පරික්ෂණයට ලක් කළ ලංකා විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ ආයතනය වාර්තා කළේය. පර්යේෂණ සඳහා ඒ ආයතනයට ඔහු රුපියල් දහස් ගණන් වියදම් කළේය. 

සෝයා පිටිවලින් මුලින් ම පාන් සාදා පෙන්වූයේ ඔහුය.

රජයෙන් හෝ අනෙක් කිසිදු ආයතනයකින් හෝ පිහිටක් නොලබා සිය වියදමින් ම ඔහු දස වසරක් පුරා පර්යේෂණ කළේය. 

මේ පිළිබඳ ඇසූ හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ඔහු රජ ගෙදරට කැඳවා ඔහුට ශ්‍රී ලංකා තිලකසම්මානය පිදුවේය. ඒ සම්මානයත්, අර නිෂ්පාදනයත්, දොරට නොවැඩ ඔහුගේ නිවසෙහි සුරක්ෂිතව තිබේ.

ලංකාවේ පාලකයන් ඔහුගේ නිෂ්පාදනයෙන් වැඩක් නොගැනීම නිසා ඇති වූ සිත් තැවුලෙන් යුතුව ඔහු තවත් පර්යේෂණ නොකරමින් සිතුවේය. මම ඔහුට රුසියාවේ කතා පුවතක් කීවෙමි

 

විප්ලවයට පෙර සාර් රජ සමයේ රුසියාවේ සිටි එක් සාමාන්‍ය මිනිහෙක් පැළෑටි පිළිබඳව පර්යේෂණ පැවැත්තුවා. ඔහු ශාකවල පලදාව වැඩි කළා. ඇපල් වැනි පලතුරුවල රසය වෙනස් කළා ගීත ඍතුවේ මිය යන ශාකවලට නොනැසී සිටීමට ශක්තිය ලබා දුන්නා. ඔහු මේ පර්යේෂණ ගැන සාර් රජතුමාගේ කාෂිකර්ම දෙපාර්තමේන්තුවට දැන්නුවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධානීහු ඔහුට චෝදනා කළා.

නුඹට මේවා කරන්න අයිතියක් නැහැ. දෙවියන් මැවූ ඇපල්වල රසය වෙනස් කිරීමට නුඹ කවුද?” ඔවුන් ඇසුවා.

රුසියාවේ ම ශාකවල පලදාව වැඩි කරන්න මට පුළුවනිඔහු අහිංසක ලෙස කීවා.

තමුසෙ කළ වැඩ අපි දන්නවා. වෙඩි තබා මරා දමන්න තරමි අපරාධයක් තමුසෙ මේ කරලා තියෙන්නෙ.

ඔහු නිහඬ වුණා.

එක් ශීත ඍතුවක දී යුරෝපයේ ශාක වර්ගයක් නැත්තට ම නැති වී ගියා. එහෙත් ශීත ඍතුවට ද ඔරොත්තු දෙන සේ සකස් කොට තිබුණු ඔහුගේ අක්කර කාලක් වූ කුඩා ගෙවත්තේ ඒ ශාකය නිරුපද්‍රිතව තිබුණා. යුරෝපයේ රටවල් රැසක් ඒ ශාකය වගා කර ගත්තේ ඔහුගේ ගෙවත්තේ උදව්වෙන්.

ඔහු දෑත පොරවාගෙන කල්පනා කළා. මහලු විය ද එළඹිලා ජීවිත කාලයක් තුළ කළ පර්යේෂණ වලින් රටට වැඩක් නැහැ. ඔහු කලකිරුණා.

මේ අතර 1917 රුසියානු විප්ලවය සිදු වුණා. සාර් යුගය හමාර වී ලෙනින් අගමැති වුණා. ලෙනින් අර පුද්ගලයා ගැන අසා තිබුණා. ඔහු මුණ ගැසුණා.

සහෝදරයා මුළු රුසියාව ඔබේ වත්තක් සේ සලකා ශාක වර්ග දියුණු වන සේ වැඩ කරන්න. අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඔබට අවශ්‍ය සියලු ම දේ ලබා දේවි.ලෙනින් ඔහුට කීවා.

මා දැන් මහලුයි. ඒත් මම මට පුළුවන් තරමට වැඩ කරන්නම්”. මහල්ලා වැඩ පටන් ගත්තා.

ඉතින් වීරසේකර මහත්මයා ඔබගේ නිෂ්පාදන ගැන උනන්දු වන පාලකයෙක් කවදා හරි රටේ පහළ වේවිමම ඔහුට කීවෙමි.

ඔහු මගේ කතාවට සවන් දී මඳ වේලාවක් නිහඬව සිට ඔබ කියන්නේ ලෙනින් කෙනෙක් පහළ වන තුරු ඉන්න කියල දැයි ඇසීය.

පසුගියදා ඔහු හමුවීමට මම නැවතත් ගියෙමි. ඔහු පසුබට වී නැත. තවත් දේ නිපදවා තිබිණ.

මේ පෝෂණ පෙත්තක්. දේශීය ධාන්‍ය වර්ගවලින් සෑදූ කැලරි වලින් පොහොසත් පෙත්තක්. සටන් බිමේ සිටින සෙබළුන්ට, මන්ද පෝෂණයෙන් පෙළෙන අම්මලාට හුඟක් හොඳයි.

ධෛර්යය දෙන අය නැතත් ඔහු ඔහුගේ පර්යේෂණ කටයුතු නොනවත්වා දිගට ම ගෙන යයි.

කවදා හරි, කවුරු හරි මේ නිෂ්පාදන ගැන සිත යොමු කොට මෙයින් රටට වැඩක් ගනීවී. දේශීය ධාන්‍ය වර්ගවලින් නිපදවන විදේශ විනිමය ඉතිරි කිරීමට මං සලසන මේ නිෂ්පාදන පිළිබඳව ගරු ජනාධිපතිනිය, ආහාර ඇමැතිතුමා, සමූපකාර ඇමැතිතුමා, උනන්දු වුණොත් මා හිතනවා රටේ ඇති බොහෝ ප්‍රශ්න වලට

මෙයින් පිළිතුරු ලැබේය කියලා.ඔහු කීය.

පසුගිය රජය නිෂ්පාදකයාට සම්මාන පිදුවේය. මේ රජය නිෂ්පාදනයට සම්මාන පුදනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

නිෂ්පාදනය රටට දීම තරම් හොඳ සම්මානයක් නිෂ්පාදකයාටත් නිෂ්පාදනයටත් තවත් නැත.

ලෙනින් ඔහුට කීවා.

1996 දිවයින පුවත්පතේ පළවූ ලිපියක් සියදෝරිස් ව්‍යාපාරය නමැති කෘතියෙන් උපුටා ගන්නා ලදී.

Don't forget to share this post!

Recent Posts

Copy-of-unnamed-300x183
March 28, 2024