මම නාටකාගාරය වෙත යාමට ඉටාගතිමි. සැමියාගේ මළගමෙන් පසු බිඳුණු බලාපොරොත්තු ඇතිව හුන් මට හොඳ නාට්‍යයක් බැලීමෙන් හිත මඳක් හදාගත හැකි වෙතැයි කියා සිතුණි. මම නිව්යෝර්ක් නුවර නැගෙනහිර පෙදෙසේ වෙසෙන්නෙමි. නාටකාගාරය පිහිටා තිබුණේ එහි තිස් දෙවැනි වීදියෙහි ය. මම ඒ කරා පාගමනින් ම යන්නට වීමි. සක්මන් කරන්නට පටන්ගෙන විනාඩි පහකට පමණ පසුව නම නොදත් එක් වර්ගයක බල්ලෙක් මා පසුපස එන්නට විය. හිමියෙකු සිටින ඕනෑ ම බල්ලෙකුගේ ගතිය උගෙන් පෙනී ගියේය. කුමක්දෝ සොයමින් හිටිහැටියේ ඉවත දුව යන ඌ මගෙ ඇසුර පතමින් යළි මවෙත හැරී එයි. බල්ලාගේ මේ හැසිරීමෙන් කැළඹුණු සිතැති මම ඌව මඳක් සුරතල් කරන අටියෙන් ඌ වෙත නැඹුරු වුණෙමි. නමුත් ඌ නැවත ඉවත පැනගති. ඌ කෙරෙහි බැඳුණු සිතැති වෙනත් මඟියෝ ඌට ලංවීමටත් ඌව පොළඹවාගැනීමටත් උත්සහ කළහ. නමුත් බල්ලා ඔවුන් කෙරේ උදාසීන ගති පෑවේ ය. මම හිමකිරම කේතුවක් මිලට ගෙන ඌට ඉන් සුඟක් දීමට තැත්කළෙමි. නමුත් ඌ මට සමීප නොවුණි. ඉතින් මේ බල්ලාට යන කලදවස කුමක්දැයි තැවුල් සිත් ඇතිව මා නාටකාගාරය තුළට පිවිසෙන විට දී ම ඌ මා කරා අවුත් හිස නඟා මදෙස බැලුවේ ය. මගෙ ඇස් උගෙ ඇස් සමඟ ගැටුණු ඒ තීරණාත්මක මොහොතෙහි දී මගේ මියගිය සැමියාගේ ඒ සුමිතුරු මැදහත් නිහතමාන ආචාරශීලී බැල්ම මම උගේ ඇස් තුළ දිටිමි.
ඇමරිකානු ලේඛිකා
ඊඩිත් එස්. මාක්ස් විසිනි
අනුවාදය : උදයංග අමරසේකර
ප්‍රංශය