ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය

  • Home
  • /
  • History
  • /
  • ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය

පසූගිය මාස හයක  කාලය තුළ ලංකාවේ මහා පරිමාණ ඇඟළුම් කර්මාන්තශාලා දහයක් වැසී ගොසිනි.මේ හේතුවෙන් ඝෘජු රැකියා 6000 ක් පමණ අහිමිව ගොස් ඇති අතර මෙතෙක් ඔවුන් රටට උපයා දුන් විදේශ විනිමයද

තවදුරටත් ලැබෙන්නේ නැත.. මෙම ආයතනවලට දේශීය අමුද්‍රව්‍ය වන ලේබල්,බොත්තම්,ඉලාස්ටික්, පොලිබෑග්,කාඩ්බෝර්ඩ් ඇසුරුම් පෙට්ටි,ආහාරපාන  ආදිය සැපයූ දේශීය සැපයුම්කරුවන්ද ප්‍රවාහණ පහසුකම්, නවාතැන් පහසුකම් ආදී සේවා සපයන්නන්ද,මහා පරිමාණ කර්මාන්තශාලා වලින් උපකොන්ත්‍රාත් ලබාගත් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ද බරපතළ අර්බුධයකට මුහුණපා ඇත.මෙසේ ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තශාලාවන් වැසී යද්දී බංග්ලාදේශය වියට්නාමය තුළ ඇඟළුම් කර්මාන්තය තවදුරටත් ශක්තිමත් වෙමින් පවතී. ලංකාවේ මෙවන් තත්වයක් නිර්මාණය වූයේ ඇයි

කොවිඩ් 19 වසංගතයේ බලපෑම 

පසුගිය දිනවල ලෝකය පුරා පැතිර ගිය කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝකයේ  සෑම රටකම පාහේ ආර්ථිකය කඩා වැටිණ.සියළුම රටවල භාණ්ඩ මිළ ගණන් නොසිතු පරිදි ඉහල ගියේය.ලෝකය පුරා රැකියාවන් අහිමිව ගිය පිරිස බොහෝය.මේ හේතු නිසා සෑම රටකම පාහේ ජනයාගේ මිළදී ගැනීමේ හැකියාව අඩුවිය.බොහොමයක් දෙනාට තමතමන්ගේ පෞද්ගලික අයවැය සකසුරුවම් ලෙස කළමනාකරණය කරගැනීමට සිදුවිය.

පෞද්ගලික ආදායම් මට්ටම පහල ගියවිට එය කළමනාකරණය කර ගැනීමට අත්‍යවශ්‍ය නොවන වියදම් අඩුකිරීම සාමාන්‍ය ක්‍රමවේදය වේ. පුද්ගලයින්ගේ අත්‍යවශ්‍ය නොවූ මෝස්තරකරණය මෙසේ වියදම් කපාහැරිය හැකි එක අංශයකි. ලෝකය පුරාම ඇඟළුම් වලට ඇති ඉල්ලුම පහත වැටී ඇත්තේ එලෙසිනි.

සැපයුම එලෙසම පවතිද්දී ඉල්ලුම පහත වැටෙන විට මිළ ගණනද පහත වැටීම ආර්ථික විද්‍යාවේ එක් න්‍යායකි.ලෝකයේ ඇඟළුම් සඳහා ඉල්ලුම සහ මිළගණන් පහත වැටී ඇත්තේ එලෙසය. මේ හේතුවෙන් ලෝකයේ ඇඟළුම් නිෂ්පාදකයින් අතර දැඩි තරඟකාරී ස්වභාවයක් හටගෙන ඇත.මේ තරඟයට මුහුණදීමට ශ්‍රී ලංකාව සුදානම්ද?

 සමෘද්ධි සහනාධාරයේ අයහපත් පැති  

 ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ලක්‍ෂ 16ක් සමෘද්ධිලාභියෝය. මේ පවුල්වල කිසිවෙක් රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවකට යන්නේ නම් මෙම සහනාධාරය අහිමිවේ. එබැවින් මෙම පවුල්වල අය ත්‍රිරෝධ රථයක් එලවීම කුළී වැඩක් කිරීම වැනි දෙයකට යොමුවනවා මිස ඇඟළුම් කර්මාන්තයේ රැකියාවක් කිසිසේත්ම තෝරා ගන්නේ නැත..ඇඟළුම් කර්මානතශාලා වල සේවක සේවිකාවන්ගේ හිඟයට මෙය එක හේතුවකි.සේවක සේවිකාවන්ගේ හිඟය හේතුවෙන් කර්මාන්තශාලා හිමියෝ දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටී.දේශපාලකයින්ට  තම ඡන්ද ව්‍යාපාරය සාර්ථක කරගැනීමට සමෘද්ධිලාභින් අත්‍යවශ්‍යම සාධකයක් වී ඇත. සමුර්ධිය බෙදා දීමේ හැන්ද දේශපාලකයින් සතුව තිබීමෙන්  සමුර්ධිලාභින් තමන්ගේ ඡන්ද පදනමට ගොනුකරගැනීමේ හැකියාව දේශපාලකයින්ට ලැබී ඇත. මේ තත්වය වෙනස් වීම කිසිවිටෙක අපේක්ෂා කල නොහැකි අතර ඇඟළුම් ක්ෂේත්‍රයේ රැකියා හිඟයට  ද පිළිතුරක් නොලැබෙනු ඇත.

රජයට ගන්නා බදු සංවර්ධනය උදෙසාද?

ඇඟළුම් කර්මාන්තය ශ්‍රමය මුලික කර්මාන්තයක් හෙයින් මේවා පැවතිය හැක්කේ ශ්‍රමයට අඩු මිළක් ගෙවියහැකි දුප්පත් රටවල පමණි. ලංකාවේ ශ්‍රමයට එසේ අඩුමිලක් ගෙවීමට හැකියාවක් නැත්තේ එම ගෙවන මිළෙන් ශ්‍රමිකයාට ජීවත්වීමට නොහැකි හෙයිනි. ශ්‍රමිකයා ලබාගන්නා වැටුප වියදම් කිරීමේදී ඉන් විශාල ප්‍රමාණයක් වක්‍ර බදු ලෙසින් රජයට ලබාගනී. ලෝකයේ දියුණු රටවල්ද එසේ බදු ලබාගන්නා අතර එම මුදල් නැවතත් ජනතාවගේ පහසුකම් හා සේවා  වැඩිදියුණු කිරීමට යොදාගනී. උදාහරණ ලෙස එමරටවල් සපයන ඉතා දියුණු සෞඛ්‍ය පහසුකම් හේතුවෙන් තමාට  ලැබෙන  වැටුපෙන්  කිසිදු මුදලක් සෞඛ්‍ය වෙනුවෙන් වියදම් කලයුතු නැත.තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්ද මෙසේය. එම රටවල් වල දරුවන් පාසැල් යැවීමට ප්‍රවාහන ගාස්තු අමතර පන්ති සඳහා මුදල් පාසැල් පොත්පත් නිල ඇඳුම් සඳහා මුදල් අවශ්‍ය නොවන හෙයින් දෙමාපියන් ලබන වැටුප ජීවත්වීම සඳහා තම සිතැඟි පරිදි වියදම් කලහැකිය. එම රටවල ලබන වැටුපෙන් ඝෘජු බද්දක් ලෙස විශාල මුදලක් මෙම සේවාවන් සැපයීමට රජය ලබාගන්නා අතර අප රටෙහි පාරිභෝගික භාණ්ඩ වලින් වක්‍ර බදු ලෙස සහ වැඩි ආදායම් ලාභීන්ගෙන් රජය ලබාගන්නා බදු මුදල්වල එකතුව එමරටවල ලබාගන්නා බදුමුදල් වලට වඩා වැඩිය. එහෙත් සෑම රාජ්‍ය ක්‍ෂේත්‍රයකම පවතින්නාවූ නාස්තිය හොරකම දූෂණය වංචාව හේතුවෙන් මහජනයාට මෙම පහසුකම් ලබාදීමට ඇති හැකියාව විනාශ කර දමා ඇත. එබැවින් ලංකාවේ ඇඟළුම් රැකියා කරන්නන්ට ජීවත්වීම උදෙසා  වැඩි වැටුපක් ගෙවීමට කර්මාන්ත හිමියන්ට සිදුවී ඇත. ඇඟළුම් ඇණවුම් ලබා ගැනීමට තරඟ කිරීමේදී කර්මාන්තහිමියා දැඩි අපහසුතාවයකට මේ නිසා පත්වේ.

අමුද්‍රව්‍යයත් ශ්‍රමයත් නැති රට 

ඇඟළුම්  නිෂ්පාදනයට අවශ්‍යකරන අමුද්‍රව්‍ය වලින් වැඩි කොටසක් පිටරටින් ගෙන්වීමට සිදුවේ. මේ සියළුම අමුද්‍රව්‍ය සඳහා ගැණුම්කරුවන්ගේ ලිඛිත අනුමැතිය ලබාගතයුතුය. බොහෝවිට රෙදි සඳහා අනුමැතිය ලබා ගැනීමට එහි වර්ණය මතුපිට ස්වභාවය ආදියට එකවර ගැනුම් කරුවන්ගේ අනුමැතිය නොලැබේ. මෙවන් අවස්ථාවලදී කිහිප විටක් අනුමැතිය සඳහා සාම්පල විදේශීය රෙදි නිෂ්පාදකයන්ගෙන් ගෙන්වාගැනීමට සිදුවේ. මේ සඳහා විශාල කාලයක් ගතවීමෙන්  ඇණවුම නිෂ්පාදනය  නිසිවේලාවට ආරම්භ කිරීමට නොහැකිවේ. එතැන් පටන් අතිකාල වැඩ කර හෝ ඇණවුම නිසි වේලාවට නැව්ගත කිරීමට කර්මාන්තකරුවාට සිදුවේ. මෙය අමතර වියදමක් හා අමතර වෙහෙසක් දැරීමකි. ලංකාවේ මහා පරිමාණයෙන් රෙදි නිෂ්පාදනය කල කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් 1977 න්  පසු වසා දැමුවේ කොමිස් කෑදර අපේම මිනිසුන් විසිනි. ගැණුම්කරුවන් ඉඳිකටුවේ සිට මහන මැෂිම දක්වා ද කපු වගාවේ සිට නිමකළ කපු රෙදි දක්වා ද ඛනිජතෙල් අපද්‍රවයෙන් නිපදවන නයිලෝන් කෙන්දේ සිට නයිලෝන් රෙද්ද දක්වා ද නිපදවන බංගලාදේශය චීනය වියට්නාමය වැනි රටවලට යාමට වැඩි කැමැත්තක් දක්වන්නේ එහෙයිනි.

වෘත්තීය සමිති ආයතන රකිනවාද? නසනවාද?

ඇතැම් කර්මාන්තශාලාවල නොයෙකුත් දේශපාලන පක්ෂ අනුබද්ධිත වෘත්‍තිය සමිති ක්‍රියාත්මක වේ. කර්මාන්තකරුවාට නම් වෘත්‍තීය සමිති තරම් මහත්වූ හිසරදයක් තවත් නැත්තේය. අළුත්ගම දර්ගා නගරයේ පිහිටි 1700 ක් දෙනා සේවය කල සිංගප්පුරුවට අයත් කර්මාන්තශාලාව මෑතක වන්දි ගෙවා  වසාදමා එය වියට්නාමයට ගෙනගියේද පලාපත්වල මාතලේ පිහිටි 550 ක් දෙනා සේවය කල කර්මාන්තශාලාව වසා දමා එය ගබඩා සංකීර්ණයක් බවට පත්කළේද ඝෘජුවම වෘත්තීය සමිති ක්‍රියාකාරකම් හේතුවෙනි. ඒකල ප්‍රදේශයේ කර්මාන්ත දෙකක්ද වසා දැමීමට වෘත්තිය සමිතිකරුවෝ සමත්වූහ. ඉහත කරුණු මා හොඳින් දන්නා කරුණුය. වෘතීය සමිති නිසා විනාශවූ ආයතන මිස දියුණුවූ කිසිදු ආයතනයක් ශ්‍රී ලංකාද්වීපයේ නැත්තේය.1980 අසාර්ථක වැඩවර්ජනය , දැක්මක් නැති වෘත්තීය සමිති නායකයින්ගේ අසාර්ථක ප්‍රයත්නයක් වූ අතර රැකියාව අහිමි කරගෙන ඉන් සියදිවි හානි කරගත් ප්‍රමාණය බොහෝය. මැති ඇමතීන් වන්දනා කර තවත් කොටසක් තම ආත්මය ඝාතනය කරගෙන රැකියාව ලබාගත්හ. එහෙත් එදා වෘත්තිය සමිති නායකයින් අද ඇමති පදවි ලබාගෙන බැබළෙන අයුරු එලොව ගිය  වර්ජකයෝ සාධුකාරදී බලා සිටිනවා ඇතිද

කර්මාන්තකරුවා රකින නීති නැද්ද?

 කම්කරුවා ආරක්ෂා කිරීමට යැයි කියමින් පනවා ඇති නොයෙක් නීතිරීති හේතුවෙන් කර්මාන්තකරුවාගේ  ආරක්ෂාව බිඳවැටීම කර්මාන්තකරුවන් තම කර්මාන්තය කර්මාන්තකරුවාට අනේකවිධ රැකවරණයක් දෙන වියට්නාමයට ගෙනයාමට තවත් හේතුවකි. වියට්නාමයේ සේවකයෙකු තම ආයතනයට නොගැලපෙන්නේ නම් ඕනෑම වෙලාවක ඔවුන් සේවයෙන් ඉවත් කල හැකි බවත් ඉන් කර්මාන්තකරුවාට කිසිදු නීතිමය ගැටළුවකට මුහුණ දීමට සිදු නොවන බවත් කර්මාන්ත ශාලා පැවතියහොත් රැකියාවල් පවතිනු ඇති බව වියට්නාමයේ විශ්වාසය බව විට්නාමයේ සහ ලංකාවේ ව්‍යාපාර හිමි මාගේ මිතුරෙක් ළඟදී මා සමඟ කීවේය. එහෙත් ලංකාවේ ඇත්තේ කර්මාන්ත ශාලා විනාශවී ගියත් තම ඡන්ද දායකයා සිටිය යුතුය යන ආකල්පයයි.

ඉහලගිය වියදම් 

අපරට තුළ එක්වරම ඉන්ධන මිළ තුන්ගුණයකින් පමණ ඉහළයාම හේතුවෙන් ඇතිවූ ප්‍රවාහනය සඳහා වූ වියදම් වැඩිවීම විදුලිබිල ආහාර සඳහා වැයකරන මුදල් ඉහල යාම ආදියද එකතුවන්නේ ඇඟළුමක නිෂ්පාදන වියදම ඉහල නැංවීම කෙරෙහිය.ඩොලරය ඉහළයාම හේතුවෙන් රුපියල් ලෙස වැඩි මුදලක් ලැබුණ ද එයද උච්චාවචනය වීමේ හේතුවෙන් කර්මාන්තකරුවාට නිසි කළමනාකරණයක් කරගත නොහැක.

ආනයන අපනයන ප්‍රමාද

මේ දිනවල ලංකාවේ ආනයන හා අපනයන බෙහෙවින් අඩුවී ඇත.මේ නිසා ලංකාවට එන නැව් ප්‍රමාණය සීමාවී ඇත. එන නැව් ප්‍රමාණය අඩුවීමේ හේතුවෙන් ශ්‍රී ලංකාවට අමුද්‍රව්‍ය ගෙන්වීමේදී යම් ප්‍රමාදයන් සිදුවේ.එමෙන්ම පැමිණෙන නැව් හිඟකම අපනයනය කිරීමේද ප්‍රමාදයන් ඇති කිරීමට හේතුවේ. එහෙත් ගැනුම්කරුවන්ගේ භාණ්ඩ නිසි වෙලාවට ඔවුන් වෙත ලඟා වියයුතු හෙයින් ඇතැම්විට භාණ්ඩ ගුවන් මගින් යැවීමට සිදුවූ අවස්ථාද දක්නට ඇත. මින් කර්මාන්ත හිමියා විශාල පාඩුවක් ලබයි.

ජී එස් පී අහිමි වේවිද ?

2005 වසරට පෙර ඇඟළුම් කෝටා ක්‍රමයක් ඇමරිකාව කැනඩාව ඇතුළු  යුරෝපීය රටවල් හඳුන්වා දී තිබුණි.එම රටවල් වල ඇඟළුම් අවශ්‍යතාවය සපුරා ගැනීමට  තුන්වන ලෝකයේ සියලුම රටවල්ද සහභාගී කරගැනීමේ අරමුණෙන් එක් එක් රටවලින් අනිවාර්යයෙන් ලබාගතයුතු ඇඟළුම් ප්‍රමාණයක් හඳුන්වා දෙනු ලැබීය. මේ හේතුවෙන් ලංකාවෙන්ද අනිවාර්යයෙන් ලබා ගන්නා ඇඟළුම් ප්‍රමාණයක් තිබිණ.අප රටෙන් එම ප්‍රමාණය ලබාගන්නා බැවින් ඇඟළුම් නිෂ්පාදනය කරන අනෙක් රටවල් සමඟ තරගයක් අපට නොතිබිණ. 2005 වසරේ දෙසැම්බර් වලින් පසු ඇඟළුම් කෝටාව අවසන් කල අතර ඇඟළුම් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වූ චීනය වෙත ගැනුම් කරුවන් ඇදෙන්නට විය. එහෙත් දිළිඳු රටවල් වලට සහනයක් ලෙස ලංකාව වැනි රටවල් වලින් ඇඟළුම් ලබාගන්නා විට යුරෝපීය රටවල්  තුළට  ඇඟළුම් ආනයනයේදී ඔවුන් අයකරන ආනයන බද්ද යම් ප්‍රතිශතයකින් අඩු කිරීමට ඔවුන් එකඟවිය. මෙය ජී එස් පී  සහනය ලෙස හඳුන්වයි. මෙම සහනය ඇති රටවල් වලින් ඇඟළුම් ගෙන්වීමේදී එම සහනය නැති රටවල් වලින් ගෙවනවාට වඩා විශේෂ වාසියක් මිළදී ගන්නාට ලැබෙන හෙයින් එය ජී එස් පී සහනය ඇති අප රට වෙත ගැනුම් කරුවන් පැමිණීමට විශේෂ හේතුවක් වී ඇත. එහෙත් මෙම සහන ලබාදීමේ මුලික  කොන්දේසියක් වන රටතුළ මානව හිමිකම් සුරැකීම විටින් විට පළුදුව ගොස් ඇතිනිසා ඉදිරියේ ජී එස් පී සහනය අවලංගුව යාමට ඉඩකඩ ඇති බව එම රටවලින් අපට අනතුරු අඟවා ඇත. එසේ වුවහොත් ඇඟළුම් කර්මාන්තයේ ඉක්මන් කඩා වැටීමක් සිදුවිය හැකිය.

අප රටේ නිෂ්පාදනයන්ට ඇති විදේශීය කැමැත්ත      

මෙපමණකින් හෝ අප රටේ කර්මාන්තය බිඳ නොවැටී පවතින්නේ කෙසේද

ලංකාවේ ජනතාවගේ සාක්ෂරතාව ඉහලය.එබැවින් ඇඟළුම් නිෂ්පාදන ක්‍රියාවලියේදී අළුත් යමක් ඔවුනට පහසුවෙන් වටහා දිය හැක. මේ හේතුව නිසා නිෂ්පාදනයට අසීරු සංකීර්ණ ඇඟළුම් නිසි ප්‍රමිතියකින් නිමකිරීමට වියට්නාමය බංගලාදේශය වැනි රටවල අයට වඩා අපරට අයගේ හැකියාව වැඩිය. එබැවින් බොහොමයක් සංකීර්ණ ඇඟළුම් සම්බම්ධ ඇනවුම් අප රටට ලැබේ. එහෙත් වියට්නාමය ඉතා ඉක්මණින් මේ තත්වයට ලඟා වෙමින් සිටී. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන බොහොමයක් ලෝකයේ ඉස්තරම්ම ඒවා බවට පත්ව ඇත.සිලෝන් ටී , ශ්‍රී ලංකා පෙපර් ( ගම්මිරිස් ), ශ්‍රී ලංකා සිනමන් ( කුරුඳු ) ,ශ්‍රී ලංකා ජෙම්  (මැණික් ) මින් සමහරකි. එහෙත් සමහර කුඨ ජාවාරම්කාරයෝ මේවාට යම්යම් දේවල් කලව්ම්කොට තත්වය බාල කොට අපනයනය කර මේවයේ තත්වයත් ලංකාවේ ප්‍රතිමුර්තියත් විනාශකොට ඇත. නමුත් ඔවුන් කිසිදු දඬුවමක් ලබා නැත්තේ දේශපාලන අධිකාරියේ බලමහිමයෙනි. ලංකාවේ ඇඟළුම් සම්බන්ධවද ලෝකයේ රටවල මහත් පිළිගැනීමක් ඇත. එය ඒවාහි ඉහළ ප්‍රමිතිය හේතුවෙනි. 

ඉහත පෙන්වාදී ඇති කරුණු අනාගතයේ වෙනස්වන බවක් නොපෙනේ. එසේ නම් ලංකාවේ ඇඟළුම් කර්මාන්තය තවදුරත් අපේක්ෂා කල හැකිද?

චිත්‍රාන් මොරකන්දෙ ගමගේ 

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024