ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන් ලෝක රාජ්‍ය සමුළුව අතරතුර, ඊයේ (11) ඔරකල් සමාගමේ විධායක උප සභාපති වන මයික් සිසිලියා මහතා සමඟ සාකච්ඡාවකට එක්ව තිබේ.
ශ්‍රී ලංකාවේ ආර්ථික සහ පාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමත් රටේ ඩිජිටල් පරිවර්තනය සිදු කිරීම සහ ෆින්ටෙක් සේවා සහ ක්ලවුඩ් යටිතල පහසුකම යොදා ගැනීම කෙරෙහි මෙහිදී අවධානය යොමුව ඇති බව සඳහන් ය.ශ්‍රී ලංකාව මුදල් රහිත ආර්ථිකයක් කරා ගමන් කිරිම වේගවත් කිරීම අරමුණු කරගත් ෆින්ටෙක් සහ ඩිජිටල් ගෙවීම් පහසුකම් ඇති කිරීම පිළිබඳවද ජනාධිපතිවරයා සහ ඔරකල් විධායක උප සභාපති මයික් සිසිලියා මහතා අතර සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණය සඳහා සහාය වීමට ඔරකල් ක්ලවුඩ් යටිතල පහසුකම් (OCI) සැපයීම සඳහා ඔරකල් සමාගම කැමැත්ත පළ කළ ඇති අතර දත්තවල සුරක්‍ෂිතතාවය සහ නියාමනය සහතික කරමින් රජයේ යෙදුම්, විද්‍යුත් පාලන පහසුකම් සහ ජාතික දත්ත පද්ධතියක් සඳහා සත්කාරකත්වය දැරීමටත්, ශ්‍රී ලංකාවේ ස්වෛරී ඔරකල් ක්ලවුඩ්ස් කලාපයක් ස්ථාපිත කිරීමටත් ජනාධිපතිවරයා ඔරකල් සමාගමට ආරාධනා කළ බව ද සඳහන් ය.මේ සඳහා කොළඹ වරාය නගරයේ ඩිජිටල්කරණ මධ්‍යස්ථානයක් පිහිටු වීමට ඔරකල් සමාගමට ජනපතිවරයා ආරාධනා කර ඇති අතර, එය දකුණු ආසියා කෘත්‍රිම බුද්ධිය (AI) සහ වලාකුළු (Cloud Hub) මධ්‍යස්ථානය ලෙස ද ක්‍රියා කරනු ඇත.ඒ අනුව, මෙම ද්විත්ව සාකච්ඡාවේදී, පාලන කාර්යක්ෂමතාව, ආර්ථික සංවර්ධනය සහ ගෝලීය තරගකාරිත්වය සඳහා නව තාක්‍ෂණය උපයෝගී කර ගැනීමට ශ්‍රී ලංකාවේ කැපවීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළ අතර, ඔරකල් සමාගමට ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිණාමන ක්‍රියාවලිය තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිරීම සඳහා ආරාධනා කර තිබේ.