ජල භාවිතය පිලිබඳ නව සංකල්පයක් ‘ජල පා සටහන’ (Water footprint)

  • Home
  • /
  • Blog
  • /
  • ජල භාවිතය පිලිබඳ නව සංකල්පයක් ‘ජල පා සටහන’ (Water footprint)

මිනිසා, සතා සීපාවා, ගහකොළ ආදී සෑම ජීවියෙකුගේම දිවි පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන ජලය, මහඟු සම්පතකි. සාගර සහ මුහුදු වල කරදිය තිබෙන අතර ගොඩබිම ජලාශ, ගංගා, ඇලදොළ ආදියේ සහ භූගතව තිබෙනුයේ මිරිදිය වේ. මිරිදියෙන්ද විශාල ප්‍රතිශතයක් ( 70% පමණ) හිමාලය වැනි කඳු ශිඛර මුදුන්වල සහ පෘථිවියේ ධ්‍රැව ප්‍රදේශවල අයිස් තට්ටු ලෙස පවතී. මිනිසාගේ සහ අනිකුත් සතුන්ගේ පානීය ජලය මිරිදිය වේ. පෘථිවියේ වාසය කරන බිලියන 7.5 ට වැඩි ජනගහනය සඳහා ඇත්තේ, එහි තිබෙන ජලයෙන් 0.007 % ක ප්‍රමාණයක් පමණකි. මුළු ලොව තිබෙන සියලුම ජලය, ලීටර් 5 ක ජෝගුවකට පුරවා තිබේයැයි සිතුවොත්, අපට බීම සඳහා එයින් ගත හැක්කේ ජලය මේස හැඳි එකක් පමණකි. ජලයේ විරල බව මෙතරම් තීව්‍ර වුවද, ජලය අපවිත්‍ර නොකර, අපතේ නොයවා බොහෝ අරපරිස්සමෙන් භාවිත කළ යුතු සම්පතක් බව බොහෝ අය කල්පනා නොකරන බව දකින්නට ලැබේ.

ජලය පිලිබඳ පොදු කරුණු ස්වල්පයක් සලකා බැලීමෙන් මෙම ස්වාභාවික සම්පත පිලිබඳ දළ අවබෝධයක් ලබාගත හැකි වනු ඇත.

මිනිසෙකුට ආහාර නොමැතිව සති කිහිපයක් ජීවත් විය හැකි වූවත් ජලය නොමැතිව සතියක්වත් ජීවත් විය නොහැකිය.
සාමාන්‍ය වැඩුණු මිනිසෙකු ප්‍රාශ්වාස කිරීම මගින් පමණක් දිනකට ජලය මිලි ලීටර් 250 ක් පමණ පිට කරයි.
ලෝක ජනගහනයෙන් මිලියන 780 කට පමණ පානය කිරීමට සුදුසු ජලය නොලැබේ.
සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල, මිනිසා පෙළෙන ආබාධ වලින් 80% පමණ අනාරක්ෂිත ජලය නිසා වැළඳෙන ඒවාය.
ලෝකයේ සියලුම ගංගා වල ඇති ජල ප්‍රමාණයට වඩා වැඩි ජල ප්‍රමාණයක් වායු ගෝලයේ තිබේ.
ජලය මිදී අයිස් වන විට පරිමාව සියයට නවයකින් පමණ වැඩිවේ. මේ නිසා අයිස් ජලය මත පාවේ.
බොහෝ දේවල් වැඩිම සංඛ්‍යාවක් ද්‍රාව්‍ය වන එකම ද්‍රාවකය ජලය වේ. මේ නිසා ජලය සාර්වත්‍ර ද්‍රාවකය (universal solvent) ලෙස සැලකේ.
පිපිඤ්ඤා ගෙඩියක සංයුතියෙන් 95 % පමණ ජලය වේ.
එක් ජල අණුවක්, අවුරුදු 100 ක් තුළ දී, අවුරුදු 98 ක් සාගරයේද, මාස 20 ක් අයිස් ලෙසද, සති දෙකක් පමණ විල්, වැව්, ගංගා, ඇළ, දොළ ආදියේද, සතියකට අඩු කාලයක් වායු ගෝලයේද සැරි සරයි.
වානේ ටොන් එකක් නිපදවීම සඳහා ජලය ටොන් 300 ක් පමණ අවශ්‍ය වේ. (ජල පා සටහන අනුව )
අපට අත්‍යාවශ්‍ය මහඟු ස්වාභාවික සම්පතක් වන ජලය පිලිබඳ විවිධ කරුණු රාශියක් ගැන මෙසේ සැළකිලිමත් වූයේ ජල භාවිතය හා සම්බන්ධ අතාත්වික (ඇසට නොපෙනෙන) ඉතා වැදගත් සම්බන්ධයක් පැහැදිලි කිරීමටය.‘ජල පා සටහන’ වශයෙන් නම් කෙරෙන මෙම නව චින්තනය දැනට ක්‍රමක්‍රමයෙන් සමාජගත වෙමින් පවතින, නුදුරු අනාගතයේදී මිනිසාට තම එදිනෙදා වැඩ කටයුතුවලදී බොහෝ විට ආදේශ කර ගැනීමට සිදුවන බලගතු සංකල්පයක් විය හැකිය.

‘ජල පා සටහන’ යනු යම්කිසි කාර්යාවලියක් ආරම්භයේ සිට එහි අවසානය දක්වා සෑම පියවරකදීම, ජල ‘භාවිතය සහ කළමනාකරණය’ සම්බන්ධව එක් එක්‌ පුද්ගලයාට, පුද්ගල කණ්ඩායමකට හෝ ආයතනයකට, පැවරෙන ‘බර’ හෝ ‘වගකීම’ හඳුනා ගැනීම සඳහා යෝජනා කර ඇති මිනුම් දණ්ඩකට අනුරූප උපකල්පනයකි.

මෙම උපකල්පනයේ, ‘භාවිතය සහ කළමනාකරණය’ යනු නිශ්චිත කාල සීමාවක් තුළදී, ඇත්ත වශයෙන්ම පාවිච්චි කළ හෝ / සහ එම පාවිච්චිය නිසා දූෂිත භාවයට පත්කරන ලද මිරිදිය පරිමාවයි.

මෙම අදහස 2004 වර්ෂයේදී ‘යුනෙස්කෝ’ ආයතනය හා සම්බන්ධ පරිසර විද්‍යාඥයෙකු ලෙස කටයුතු කළ, මහාචාර්ය ජෝන් ඇලන් විසින් ඉදිරිපත් කරන ලදුව, වැඩිදුර අධ්‍යයනය කර, අනාගතයේදී ප්‍රයෝගික මට්ටමේ සංකල්පයක් ලෙස සලකා බැලීමට බලාපොරොත්තු වන චින්තනයකි. එම සංකල්පය ඉතාමත් සරලව පහත දැක්වෙන අයුරු අර්ථ දැක්විය හැකිය.

‘යම්කිසි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය, සැපයීම සහ භාවිතය උදෙසා, සෑම අයුරින්ම භාවිත කරනු ලබන මිරිදිය(ජලය) ප්‍රමාණය ‘ජල පා සටහන’(water footprint)වේ’.

‘ජල පා සටහන’පිළිබඳව පාසැල් සිසුවෙකු විසින් නගන ලද ප්‍රශ්නයක්‌ සඳහා පරිසර විද්‍යාඥයෙකු විසින් සපයන ලද පිළිතුරක් මෙසේ දැක්විය හැකිය.

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024