සතියේ පළවෙනි දවස මොකක්ද? ඉරිදා ද? සඳුදා ද? මේක සමහරවිට ඔයාට ප්‍රශ්නයක් වෙන්න ඇති. සමහර විට නොවෙන්නත් පුළුවන්. කැලැන්ඩරයක් ගත විට ඔයා දැකලා ඇති සමහර ඒවායේ සඳුදත්, තවත් සමහර ඒවායේ ඉරිදාත් සතියේ මුල්ම දවස විදිහට යොදලා තිබෙනවා. අද අපි බලමු ඇත්තටම සතියේ පළවෙනි දවස සඳුදා ද, ඉරිදා ද කියන එක.
ISO 8601 අනුව දිනයන් සහ වේලාවන් නිරූපණය කිරීම සඳහා වන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සඳුදා සතියේ පළමු දිනය ලෙස සැලකෙනවා.
කෙසේ වෙතත්, බොහෝ ස්ථානවල සහ සංස්කෘතීන්වල ඉරිදා සතිය ආරම්භ වන දවස ලෙස සලකනවා. එක් එක් සංස්කෘතීන් අතර මෙම විචලනය විවිධ හේතු නිසා විය හැකි අතර, බොහෝ විට සතිය ආරම්භ කළ යුතු දිනය පිළිබඳ සමාජයේ මතයන්ට ආගම දායක වෙලා තියෙනවා.
ඉරිදා සතියේ පළමු දිනය ලෙස හඳුන්වන්නේ ඇයි?
එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ කැනඩාව වැනි ලෝකයේ සමහර රටවල, බොහෝ අය ඉරිදා දිනය සතියේ ආරම්භය විදිහට සලකනවා. මේ පිටුපස ආගමික සහ ලෞකික හේතු දෙකම තිබෙනවා. ක්‍රිස්තියානි ආගම අදහන අයට, ඉරිදා කියන්නේ සතියේ වැදගත්ම දිනයක්. මොකද ඉරිදා කියන්නේ පල්ලි යන සහ බොහෝ විට දිව්‍ය පූජාව පවත්වන දිනය නිසා. තවත් පිරිසකට නම්, ඉරිදා කියන්නේ නැවත recharge වෙලා සඳුදා සිට වැඩ සඳහා සූදානම් වීමට ලැබෙන නිවාඩු දිනයක්.
බයිබලයේ, දෙවියන් වහන්සේ පෘථිවිය මැවීමෙන් පසු හත්වන දින හෝ Sabbath (සෙනසුරාදා) විවේක ගත් බව සඳහන් වෙනවා.
යුදෙව්වන් සහ කිතුනුවන් දෙවියන් වහන්සේ විවේක ගත් හත්වන දිනය, සෙනසුරාදා බව විශ්වාස කරන බැවින්, ඉරිදා ඊළඟ සතියේ පළමු දිනය ලෙස සලකනවා.
ඉරිදා සතියේ පළමු දිනය බව බයිබලයේ ද සඳහන් වෙනවා. උදාහරණයක් විදිහට, අපි දැන් පාස්කු ඉරිදා ලෙස හඳුන්වන ජේසුස් වහන්සේගේ උත්ථානය පිළිබඳ කතාව, බයිබලයේ ආරම්භ වන්නේ ‘සතියේ පළමු දින අලුයම..’ යනුවෙන්.
ඉරිදා දිනය ‘Lord’s Day’ ලෙසද හඳුන්වන අතර සමහර මුල් ක්‍රිස්තියානි සාහිත්‍යයේ අටවන දිනය ලෙසද හැඳින්වෙනවා.
ඉරිදා දිනයේ වැදගත්කම වැඩිපුර විස්තර අපි ඉදිරියේදී කතා කරමු.
එක්සත් රාජධානිය සහ යුරෝපයේ අනෙකුත් ප්‍රදේශ ඇතුළුව බොහෝ ව්‍යාපාරවලට වෙනම shopping hours ඇති අතර, සමහර අවස්ථාවල දී, ව්‍යාපාර ඉරිදා දිනවල විවෘතව තබන්න අවසර නැහැ.
සඳුදා සතියේ පළමු දිනය වන්නේ ඇයි?
කාර්මීකරණයේ නැගීමත් එක්ක, විශේෂයෙන් සඳුදා ආරම්භ වන දින පහේ වැඩ සතිය ස්ථාපිත කිරීමත් සමඟ, මිනිසුන් තම දින මනින ආකාරයෙහි වෙනසක් සිදු වුණා. 1878 දී, “සති අන්තය” යන යෙදුම නිර්මාණය කරන ලද්දේ එක් ව්‍යාපාර/පාසල් සතියක අවසානය සහ ඊළඟ සතියේ ආරම්භය අතර කාලය, එනම් සෙනසුරාදා සහ ඉරිදා හැඳින්වීමට යි.
යුරෝපීය රටවල බොහෝ දුරට නිරීක්ෂණය කරන ලද මෙම සංස්කෘතික වෙනස, දිනය සහ වේලාව නියෝජනය කිරීම සඳහා වන සම්මතයක් වන ISO 8601 හි සඳුදා සතියේ පළමු දිනය ලෙස නම් කිරීමට ගත් තීරණයට බලපා තිබෙනවා.
යුරෝපයේ බොහෝ ප්‍රදේශවල, සඳුදා සතියේ පළමු දිනය ලෙස පුළුල් ලෙස පිළිගැනෙනවා. කෙසේ වෙතත්, එක්සත් ජනපදයේ, ඉරිදා සතියේ පළමු දිනය ලෙස සලකනු ලබන අතර, සඳුදා වැඩ කරන සතියේ ආරම්භය සනිටුහන් කරනවා.
ඉතින් ඔය විදිහට ඇති වුණු විවිධ වෙනස්කම් නිසා තමයි ඇතැම් කැලැන්ඩර් වල සඳුදත්, ඇතැම් ඒවායේ ඉරිදාත් සතියේ මුල්ම දවස විදිහට සටහන් කරලා තිබෙන්නේ.