දරුවන් සිටින අය, නැති අයට වඩා සතුටින්ද? මෙන්න අලුත්ම හෙළිදරව්ව

  • Home
  • /
  • Blog
  • /
  • දරුවන් සිටින අය, නැති අයට වඩා සතුටින්ද? මෙන්න අලුත්ම හෙළිදරව්ව

දරුවෙකු මෙලොවට බිහිවන මොහොත බොහෝ දෙනෙක් හඳුන්වන්නේ ජීවිතයේ වැඩිම සතුටක් අත්දකින අවස්ථාවක් ලෙසයි. ලෝකයේ සෑම සංස්කෘතියක්ම මව්පිය පදවියට පත් වීම ඉතා ඉහළින් අගය කරනවා. නමුත්, ඒ සුන්දර මොහොතින් පසු උදාවන මව්පිය ජීවිතය, එහෙමත් නැත්නම් Parenthood එක ඇතැම් පුද්ගයින්ට ඊට වඩා හාත්පසින්ම වෙනස් අත්දැකීමක් බව ඔබ දන්නවාද?

මෑතකදී රටවල් කිහිපයක පුද්ගලයන්ගේ සමස්ත සතුට සහ යහපැවැත්ම පිළිබඳව කරන ලද සමීක්ෂණ රැසකින් පුදුමසහගත තොරතුරක් අනාවරණය වී තිබෙනවා. ඒ, දරුවන් සිටින මව්පියන්, දරුවන් නොමැති වැඩිහිටියන්ට වඩා සමස්තයක් ලෙස සතුටින් අඩු මට්ටමක පසුවන බවයි. සමාජ විද්‍යාවේදී මෙන්න මේ තත්ත්වය ‘Parent Penalty’ ලෙස හඳුන්වනවා.

මෙම පර්යේෂණ දත්තවලට අනුව රටින් රටට සතුටේ පරතරය වෙනස් වන අතර, සංවර්ධිත රටවල් බොහොමයක දරුවන් සිටින සහ නැති අය අතර සතුට පිළිබඳ විශාල පරතරයක් දැකගත හැකියි.

දරුවන් සිටින සහ නැති අය අතර සතුටේ විශාලම පරතරය වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන් (USA). එරට දරුවන් සිටින දෙමව්පියන් දරුවන් නැති අනෙකුත් වැඩිහිටියන්ට වඩා අඩු සතුටකින් සිටින බවයි වාර්තා වෙන්නේ.

මෙම සටහනේ අනෙක් කෙළවරේ පසුවන පෘතුගාලයේ මව්පියන්, දරුවන් නැති අයට වඩා තරමක් සතුටින් ජීවත් වෙනවා. හන්ගේරියාව, ස්පාඤ්ඤය සහ නෝර්වේ පෘතුගාලයට පසුව මව්පියන් වැඩිපුරම සතුටින් සිටින රටවල් වනවා.

 

ඇයි මේ සතුටේ අඩුවීමක් සිදුවෙන්නේ?

ස්නායු විද්‍යාත්මක (Neurological) මට්ටමින් ගත් විට, මව්පියන් සහ දරුවන් අතර ඇති බැඳීම ඉතා සංකීර්ණ මෙන්ම දැඩි වෙහෙසක් ගෙන දෙන්නක්. දරුවෙකුගේ යහපැවැත්ම වෙනුවෙන් කැපවීමේදී ජීවිතයේ සතුට උපරිමයටම දැනෙන අවස්ථා වගේම, දුක සහ පීඩනය අන්තයටම දැනෙන අවස්ථා ද උදාවෙනවා. මෙය මානසිකව දැඩි වෙහෙසකර ක්‍රියාවලියක්.

මීට අමතරව, වර්තමාන ලෝකයේ පවතින ආර්ථික සහ සමාජයීය වටපිටාව ද මීට තදින්ම බලපානවා. රැකියා සුරක්ෂිතතාවය, නිවාස ප්‍රශ්න, සහ ජීවන වියදම ඉහළ යාම නිසා අද කාලයේ තනි පුද්ගලයෙකුට වුවද ජීවිතය ගැටගසා ගැනීම සහ තම සිහින සැබෑ කරගැනීම දැඩි ආතතියක්. එවැනි තත්ත්වයකදී තවත් දරුවෙකුගේ වගකීම සහ නඩත්තුව තමන් මත පැටවීම, පුද්ගලයෙකු සතු නිදහස සහ අවස්ථා සීමා කරමින් ආතතිය දෙගුණ තෙගුණ කිරීමට හේතු වනවා.

 

රජයෙන් ලැබෙන සහයෝගයේ බලපෑම

ඇමරිකාව වැනි රටවල් පුද්ගල නිදහස අගය කරන නමුත් මව්පියන් වෙනුවෙන් රජයෙන් ලැබෙන සමාජ සුභසාධන සහ සහන ඉතා අවම මට්ටමක පවතින රටවල්. එහි ප්‍රතිඵලයක් ලෙස මව්පියන් වීමේ සියලු බර තනිවම දැරීමට සිදුවන නිසා ඔවුන්ගේ සතුට බිඳ වැටෙනවා.

නමුත් පෘතුගාලය සහ හන්ගේරියාව වැනි රටවල, මව්පියන් වෙනුවෙන් රජය මැදිහත් වී විශාල සහන සහ සහයෝගීතා වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එමඟින් මව්පියන්ගේ ආතතිය අඩු වී ඔවුන්ගේ සතුට වර්ධනය වන බව පෙනී යනවා. 

ඇත්ත වශයෙන්ම සතුට මැනීම යනු ස්ථිර විද්‍යාවක් නොවන අතර, එය එකිනෙකාට අනුව වෙනස් වෙනවා. ඒ වගේම විවිධ සංස්කෘතීන් පවුල සහ සමාජය දෙස බලන ආකාරයත් දෙමව්පියන් වෙත පවරන පීඩනයත් එකිනෙකට වෙනස්. 

කෙසේ වෙතත්, මෙයින් ගත හැකි නිගමනයක් නම්, මව්පිය පදවිය යනු සරලව ගත නොහැකි තරම් වගකීම් සහගත දෙයක් යන්නයි. ඇතැම් සංවර්ධිත රටවල් මෙය වචනයෙන් පිළිගත්තත්, මව්පියන්ගේ ඒ පීඩනය අඩු කිරීමට අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීමට උනන්දුවක් නැති බවක් පෙනෙන්නට තිබෙනවා.

මේ අතර සමහර රටවල් ජනගහන වර්ධනය පවත්වාගෙන යාමට දෙමව්පියන්ට සැලකියයුතු මට්ටමේ දිරිමත් කිරීම් ලබාදෙනවා.

Don't forget to share this post!

Recent Posts

881
June 10, 2026