අද දවසේ මුළු ලෝකයම කතා වෙන දෙයක් තමයි FIFA, එහෙමත් නැත්නම් පා පන්දු ලෝක කුසලානය කියන්නේ. ලොව විශිෂ්ටම කණ්ඩායම් 2ක් මුහුණට මුහුණ ගැටුණු මේ ඓතිහාසික තරඟාවලියේ ජය කාටද හිමි වුණේ කියන එක මේ වෙනකොටත් ඔයා දන්නවා.
අපි මේ කියන්න හදන්නේ මෙවර අවසන් තරඟය ඇතුලේ බොහෝ දෙනාගේ අවධානය දිනාගත්ත දේවල් කිහිපයක් ගැන.
නිව් ජර්සි හි MetLife Stadium හිදී පැවැත්වුණු 2026 පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරඟයෙන් ස්පාඤ්ඤය හමුවේ 1-0 ක් ලෙස පරාජය වීමට ලෝක ශූර ආර්ජන්ටිනාවට සිදු වුණා. කෙසේ වෙතත්, තරඟයෙන් පසුව ආර්ජන්ටිනා ක්‍රීඩකයන් හැසිරුණු ආකාරය නිසා මේ වන විට ඔවුන් ලෝකය පුරා ක්‍රීඩා ලෝලීන්ගේ සහ ප්රවීණයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වෙමින් සිටිනවා.
තරඟය පුරාම මෙන්ම අවසන් විසිල් එක නාද කිරීමෙන් පසුවත් ආර්ජන්ටිනා ක්‍රීඩකයන් දැක්වූ දුර්වල ක්‍රීඩාශීලීත්වය හේතුවෙන් ඔවුන්ගේ සාර්ථක ලෝක කුසලාන ගමන අවසානයේදී කළු පැල්ලමක් බවට පත් වුණා.
පිටිය මැද ගැටුම් සහ red cards
තරඟය අවසන් වීමත් සමඟම පිටිය මැද උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර, ආර්ජන්ටිනා defender, Leandro Paredes ස්පාඤ්ඤ ක්‍රීඩකයන්ට පහර දීමට උත්සාහ කරන අයුරු දැකගත හැකි වුණා. ඔහු ස්පාඤ්ඤයේ Eric Garcia ගේ බෙල්ලෙන් අල්ලා, Pablo Gavi ව බිමට තල්ලු කළ අතර මේ හේතුවෙන් Paredes ට red card එකක් හිමි වුණා. මීට අමතරව Nahuel Molina සහ Nicolas Otamendi ද ස්පාඤ්ඤ ක්‍රීඩකයන් සමඟ ගැටුම් ඇති කරගත් බව වාර්තා වෙනවා.
මෙම හැසිරීම් පිළිබඳව අදහස් දක්වමින් BBC හි Alan Shearer ප්‍රකාශ කළේ, “පරාජය දරාගන්න ක්‍රමයක් තියෙනවා, මේක ඉතාමත් කනගාටුදායක හැසිරීමක්” කියායි. ITV හි Gary Neville මෙය හැඳින්වූයේ ලැජ්ජාසහගත ක්‍රියාවක් ලෙසයි.
Trophy Presentation එකේදීත් Classless වැඩක්?
ආර්ජන්ටිනා කණ්ඩායම විවේචනයට ලක් වූ ප්‍රධානතම හේතුවක් වූයේ ස්පාඤ්ඤ කණ්ඩායම ලෝක කුසලාන රන් පදක්කම් සහ කුසලානය ලබාගන්නා අවස්ථාවේදී, ආර්ජන්ටිනා ක්‍රීඩකයන් සියලු දෙනාම එක පෙළට හැරී ඔවුන්ට පිටුපා සිටීමයි.
talkSPORT හි Adrian Durham මේ පිළිබඳව දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් කියා සිටියේ, ආර්ජන්ටිනාවට පරාජය බාරගත නොහැකි බවත්, ඔවුන් ලෝක කුසලානයටම ලැජ්ජාවක් බවයි.
කෝච් Scaloni ගේ ප්‍රකාශය
කෙසේ වෙතත්, ආර්ජන්ටිනා පුහුණුකරු Lionel Scaloni තරඟයෙන් පසු අමුතුම ප්‍රකාශයක් කළා. ස්පාඤ්ඤය ජයග්‍රහණයට සුදුසු බව පිළිගත්තද, ඔහු තම ක්‍රීඩකයන්ව ආරක්ෂා කරමින් කියා සිටියේ, “අපි ජයග්රහණයේදී වගේම පරාජයේදීත් නිහතමානී විය යුතුයි. අද අපි පරාජය බාරගන්න දන්නවා කියලා පෙන්නුවා. ක්‍රීඩකයන් පිටිය ඇතුලේ උපරිමය දුන්නා” යනුවෙන්. ඔහුගේ මෙම ප්‍රකාශය ගැනද බොහෝ දෙනා මවිතය පළ කර තිබෙනවා.
මෙසීගේ අවසන් ලෝක කුසලාන සිහිනය කඳුළින් කෙළවර වෙයි
දැන් 39 වැනි වියේ පසුවන Lionel Messi ගේ අවසන් ලෝක කුසලාන තරඟය මෙය වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. 2014 වසරෙන් පසු ඔහු ලෝක කුසලාන අවසන් මහා තරඟයකදී 1-0 ක් ලෙස පරාජය වූ දෙවැනි අවස්ථාව මෙයයි.
තරඟය අවසානයේ මෙසී දැඩි ලෙස හැඬූ අතර, ප්‍රතිවාදී ස්පාඤ්ඤ තරුවක් වන Lamine Yamal ඔහුව අස්වසන අයුරුද කැමරාවල සටහන් වුණා. ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් මහා තරඟ 3කට ක්‍රීඩා කර, එකක් ජයගෙන දෙකක් පරාජය වූ පළමු ක්‍රීඩකයා බවටද මෙසී පත් වුණා.
තරඟයෙන් පසු ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම සිය නිල සමාජ මාධ්‍ය ගිණුම් හරහා මෙසී වෙනුවෙන් සංවේදී සටහනක් තබා තිබුණා. “අපේ නායකයාණෙනි, ඔබේ කඳුළු අපේ කඳුළුයි. අපේ ජීවිතයේ ලොකුම සතුට අපිට දුන්නාට ස්තුතියි. We love you forever, Leo!” යනුවෙන් එහි සටහන් කර තිබුණා.
එමෙන්ම ලොව පුරා සිටින මෙසීගේ රසිකයන්ද “Head up king, still the greatest of all time” කියමින් ඔහුව ධෛර්යමත් කරමින් සටහන් තබා තිබෙනවා.
Image credit: www.news.com.au