සාමාන්‍ය උද්ධමන අගය ඉක්මවා Car insurance ගාස්තු දැඩි ලෙස ඉහළ යෑම නිසා සාමාන්‍ය ජනතාව දැඩි ලෙස අපහසුතාවට පත්ව සිටිනවා. රක්ෂණ ගාස්තු මෙතරම් ඉහළ යන්නේ ඇයි සහ ඊට එරෙහිව කළ හැකි දෙයක් තිබේද යන්න පිළිබඳව ඔයාගේ රක්ෂණ සමාගම ඔයාව දැනුවත් කළාද?
උද්ධමනය මෙන් දෙගුණයකටත් වඩා වැඩි වීමක්
2025 ජූලි මසින් අවසන් වූ මාස 12 ක කාලය තුළ වාහන රක්ෂණ ගාස්තු 8% කින් ඉහළ ගොස් තිබෙනවා.. එහෙත්, CPI එකේ වැඩිවීම වාර්තා වූයේ 3% ක් පමණයි. මෙයින් පෙනී යන්නේ සාමාන්‍ය උද්ධමනය පාලනය වුවද, රක්ෂණ ගාස්තු ඉහළ යෑම පවුල්වල ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි.
රක්ෂණ සමාගම්වල විනිවිදභාවයක් නැහැ
ඕස්ට්‍රේලියානු සුරැකුම්පත් සහ ආයෝජන කොමිෂන් සභාව (ASIC) විසින් නිකුත් කරන ලද වාර්තාවකින් හෙළි වී ඇත්තේ රක්ෂණ ගාස්තු ඉහළ යාමට හේතු හරියාකාරව පාරිභෝගිකයන්ට පැහැදිලි කිරීමට රක්ෂණ සමාගම් අපොහොසත් වී ඇති බවයි. මෙම සමාගම් බොහෝමයක් ලබා දී ඇත්තේ ඉතා සාමාන්‍ය පැහැදිලි කිරීම් කිහිපයක් පමණක් වන අතර, සමහර සමාගම් කිසිදු හේතුවක් දක්වා නැහැ. රක්ෂණ වෙළඳපොළෙන් 72% ක් ආවරණය කරන ප්‍රධාන රක්ෂණ සමාගම් 8ම මෙලෙස ගාස්තු ගණනය කළේ කෙසේද යන්න පැහැදිලි කර නැහැ.
නිවැරදි හේතු නොදැන සිටීම නිසා, පාරිභෝගිකයන්ට තම වත්මන් රක්ෂණ සමාගම සමඟම රැඳී සිටින්නේ ද නැතහොත් වෙනත් ආයතනයක් වෙත යන්නේ ද යන්න තීරණය කිරීමට නොහැකි වී තිබෙනවා. එපමණක් නොව, එකවර වාර්ෂික ගෙවීමක් නොකර වාරික වශයෙන් (Instalments) මුදල් ගෙවීමේදී අමතර මුදලක් අය කරන බව පවා පාරිභෝගිකයන්ට නිසි ලෙස හෙළි නොකරන බව ASIC ආයතනය පෙන්වා දෙනවා.
ගාස්තු ඉහළ යාමට බලපා ඇති ප්‍රධාන හේතු මොනවාද?
Insurance Council of Australia අනුව, රක්ෂණ ගාස්තු ඉහළ යෑමට බලපා ඇති ප්‍රධාන සාධක කිහිපයක් තිබෙනවා;
කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සිදුවන වැඩි වියදම්
රක්ෂණයට සම්බන්ධ බදු සහ වාහන අලුත්වැඩියා කිරීම්, අමතර කොටස්වල මිල ඉහළ යාම
2020 වසරේ සිට මේ දක්වා Motor claims පිරිවැය 47% කින් වැඩි වී තිබීම
මීට අමතරව, Victoria ප්‍රාන්තයේ වාහන සොරකම් හදිසි ලෙස ඉහළ යාමද තවත් ප්‍රධාන හේතුවක්.
2025 වසරේදී පමණක් වික්ටෝරියා ප්‍රාන්තයේ වාහන සොරකම් සඳහා ගෙවීමට සිදුවූ මුදල ඩොලර් මිලියන 243 ක්. එය ඔස්ට්‍රේලියාවේ අනෙකුත් සියලුම ප්‍රාන්තවල එකතුවටත් වඩා වැඩියි.
පාරිභෝගිකයන්ට දිය හැකි උපදෙස මොකක්ද?
රක්ෂණ ගාස්තු පාලනය කර ගැනීමට නම්, පාරිභෝගිකයන් තම රක්ෂණ අලුත් කරන අවස්ථාවේදී වෙනත් විකල්ප දෙස බැලීම සහ වෙනත් ආයතනවල මිල ගණන් සංසන්දනය කිරීම වැදගත් වන බව Insurance Council එක පවසනවා.