Winter එක කියන්නේ සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ වැනි රෝග තත්ත්වයන් බහුල කාලයක්. ඒ නිසා රෝහල්වල Emergency Rooms නම් පුදුම විදිහට කාර්යබහුල වෙනවා. පැය ගණන් පෝලිම්වල බලාගෙන ඉන්නවාට වඩා, නිවැරදි වෙලාවට නිවැරදි තැනට යන්න දන්නවා නම් මේ අමාරුකම් ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්.
මෑතකදී සිඩ්නි නගරයේ emergency departments වෙත එකම දිනකදී 10,000 කට ආසන්න පිරිසක් පැමිණ තිබෙනවා. මෙය ඉතිහාසයේ වාර්තා වූ වැඩිම ශීත සෘතු දෛනික රෝගීන් සංඛ්‍යාව බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. University of Queensland හි මහාචාර්ය Paul Griffin පවසන පරිදි, මේ දිනවල ඕස්ට්‍රේලියාව පුරාම උණ, ආසාත්මිකතා සහ COVID-19 වැනි රෝග තත්ත්වයන් ඉහළ ගොස් තිබෙනවා.
Emergency room සැමවිටම මුල්තැන දෙන්නේ ජීවිතයට ආසන්නම අවදානම් තත්ත්වයන්ටයි. ඒ නිසා සුළු රෝග ලක්ෂණ සඳහා රෝහල්වලට යාම වැළකීමෙන්, සැබවින්ම හදිසි ප්‍රතිකාර අවශ්‍ය අයට ඉක්මන් සේවාවක් ලබා දෙන්න ඉඩ ලැබෙනවා.
මෙන්න ප්‍රතිකාර ලබා ගැනීමට යා යුත්තේ කොතැනටද යන්න පිළිබඳ පැහැදිලි කිරීමක්:
ඕස්ට්‍රේලියානු රජය විසින් routine, urgent සහ emergency වශයෙන් විවිධ රෝග තත්ත්වයන් මත පදනම්ව ප්‍රතිකාර ප්‍රධාන කාණ්ඩ 3කට බෙදා වෙන්කර තිබෙනවා.
- routine care – පවුලේ වෛද්‍යවරයා (GP) හමුවීම
බොහෝ සෞඛ්‍ය ගැටලු සඳහා කඩිනමින් උදව් ලබාගත හැකි හොඳම තැන ඔබේ සාමාන්‍ය වෛද්‍යවරයා හමුවීමයි.
ඔයාට හුස්ම ගැනීමේ දැඩි අපහසුතාවක් නැත්නම්, වතුර බොන්න පුළුවන් නම් සහ ශරීරය ගොඩක් අඩපණ වී නැත්නම්, ඔබේ GP හමුවීමෙන් සුදුසුම ප්‍රතිකාර ලබාගත හැකියි.
මීට අමතරව, එන්නත් ලබා ගැනීමට, සෞඛ්‍ය පරීක්ෂණ කර ගැනීමට සහ winter එකට මුහුණ දෙන ආකාරය ගැන කල්තියා සැලසුම් සකස් කර ගැනීමටත් වෛද්‍යවරයාගේ උදව් ලබාගන්න පුළුවන්.
- හදිසි ප්‍රතිකාර සායන (Medicare Urgent Care Clinics)
රජය විසින් රට පුරා urgent care clinic (UCC) 137 ක් පමණ පිහිටුවා තිබෙනවා.
මේවා නිර්මාණය කර ඇත්තේ ජීවිතයට ක්ෂණික තර්ජනයක් නොවන, එහෙත් සාමාන්‍ය GP වෛද්‍යවරයකුගෙන් එහා ගිය, රෝහල්ගත වීමට අවශ්‍ය නොවන සුළු හදිසි රෝග තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබා දීමටයි.
පපුවේ වේදනාව වැනි තත්ත්වයන් හෝ ශ්වසන අපහසුතා වැඩි වන ලක්ෂණ පෙනෙන්නට තිබේ නම් මෙවැනි සායනයකට හෝ රෝහලකට යෑමට දෙවරක් හිතන්න එපා.
- රෝහලේ හදිසි අනතුරු අංශය (Emergency Department)
ජීවිතයට තර්ජනයක් වන බරපතළ රෝග තත්ත්වයන් සඳහා රෝහලේ හදිසි ප්‍රතිකාර අංශය වෙත යන්න.
අවදානමට ලක්විය හැකි පාර්ශ්වයන් සඳහා විශේෂ සැලකිල්ලක්
වයස්ගත වැඩිහිටියන් සහ කුඩා දරුවන් වැනි පිරිස් ශ්වසන පද්ධතිය ආශ්රිත වෛරස්වලට ඉක්මනින් ගොදුරු වීමේ වැඩි ඉඩක් පවතිනවා. දියවැඩියාව, හෘද රෝග, හෝ පෙනහළු ආශ්රිත රෝග ඇති අයෙකුට වෛරසයක් වැළඳුණහොත් එය ඉතා ඉක්මනින් බරපතළ අතට හැරෙන්න පුළුවන්.. මේ නිසා, Winter එකේදී විශේෂයෙන්ම කල්තියා ඔබේ වෛද්‍යවරයා හමුවී නිසි සෞඛ්‍ය සැලැස්මක් සකස් කර ගැනීම වැදගත්.
ඔබට යා යුත්තේ කොතැනටද යන්න ගැන පැහැදිලි නැත්නම්, ඕස්ට්‍රේලියානු රජයේ නොමිලේ ලබා දෙන 1800MEDICARE සේවය හරහා හෝ ප්‍රාන්තයේ සෞඛ්‍ය උපකාරක අංකයක් (උදාහරණයක් ලෙස ක්වීන්ස්ලන්තයේ 13 HEALTH) ඇමතීමෙන් පැය 24 පුරාම සුදුසුකම් ලත් හෙදියන්ගෙන් නොමිලේ උපදෙස් ලබාගත හැකියි.
එන්නත් ලබා ගැනීමට තවමත් පමා නැහැ!
Winter එකට මුහුණ දීමට ඇති හොඳම ක්‍රමයක් නම් කල්තියාම එන්නත් ලබා ගැනීමයි. මහාචාර්ය Paul Griffin පවසන ආකාරයට;
influenza එන්නත: සෑම වසරකම ලබා ගැනීම වැදගත්.
COVID-19 එන්නත: ඔබ වැඩි අවදානම් කාණ්ඩයකට අයත් නම් වෛද්‍යවරයාගේ උපදෙස් අනුව වසරකට වරක් හෝ දෙවරක් ලබා ගැනීම සුදුසුයි.
RSV එන්නත: වයස අවුරුදු 50 ට වැඩි සෞඛ්‍ය ගැටලු ඇති අයට හෝ වයස 70 ට වැඩි සියලුම දෙනාට RSV එන්නත ලබා ගැනීම බෙහෙවින් ප්‍රයෝජනවත්.
ඉතින් ඔයත් අවශ්‍ය වෛද්‍ය උපදෙස් හරි විදිහට අරගෙන මේ winter එකේ නීරෝගීව ඉන්න.