ඔයා ඕස්ට්‍රේලියාවේ රැකියාවක් කරන කෙනෙක්ද? ඔයාගේ අභාවයෙන් පසු ඔබගේ superannuation මුදල් හිමිවන්නේ කාටද?මේක තීරණය කිරීම, ඔබගේ අන්තිම කැමති පත්‍රයේ (Will) සටහන් කිරීමෙන් පමණක් කළ නොහැකි තරම් සංකීර්ණ කාරණයක් බව දැනගෙන හිටියද? අද අපි කියන්නේ මෙන්න මේ ගැනයි.
මෑතකදී පාරිභෝගික සංවිධානයක් වන Super Consumers Australia විසින් සිදු කරන ලද පර්යේෂණයකට අනුව, ඕස්ට්‍රේලියානුවන් මිලියන 15.5 කට අධික පිරිසකට Binding Death Benefit Nomination (BDBN) එකක් නැහැ. මෙයින් අදහස් වන්නේ ඔවුන්ගේ මරණින් පසු එම අරමුදල් හිමිවන්නේ කාටද යන්න පිළිබඳ නිශ්චිතභාවයක් නොමැති බවයි.
මෙහි ඇති ප්‍රධාන ගැටලු මොනවාද?
අන්තිම කැමති පත්‍රය මත ස්වයංක්‍රීයව පැවරීමක් සිදු නොවේ: බොහෝ දෙනා සිතන්නේ තම මරණින් පසු සුපර් මුදල් ස්වයංක්‍රීයව අන්තිම කැමති පත්‍රය හරහා පවරනවා කියලා. නමුත් සත්‍ය වශයෙන්ම සුපර් අරමුදල වෙත වෙනම Nomination එකක් ඉදිරිපත් කළ යුතුයි.
සාම්ප්‍රදායික නොවන පවුල් සංස්ථාවලට ඇති වන බලපෑම: සුපර් නීතිරීති නිර්මාණය කර ඇත්තේ සාම්ප්‍රදායික කලත්‍රයා සහ දරුවන් යන ආකෘතිය මතයි. ඒ නිසා විදෙස්ගත පවුල්වල සාමාජිකයින්ට, නීත්‍යානුකූල යැපෙන්නන් ලෙස නොසැලකෙන ඥාතීන්ට හෝ වෙනත් පවුල් සංස්ථාපිතයන්ට මුදල් ලබාදීමේදී ගැටලු මතු වෙනවා.
කල් ඉකුත්වීම (Lapsing): බොහෝ Binding Nominations වසර තුනකින් කල් ඉකුත් වෙනවා. ඒවා නියමිත පරිදි අලුත් නොකළහොත්, එම නම් කිරීම් බලරහිත වන අතර අරමුදලේ භාරකරුවන්ට (Trustees) මුදල් බෙදා හැරීමේ බලය ලැබෙනවා.
බදු ගැටලු (Tax Bills): සුපර් නීති යටතේ යැපෙන්නෙකු ලෙස සැලකෙන පුද්ගලයෙක් බදු නීති යටතේ එලෙස නොසැලකීමට ඉඩ තිබෙනවා.. උදාහරණයක් විදිහට, වයස අවුරුදු 18ට වැඩි දරුවන් බදු අර්ථයෙන් යැපෙන්නන් නොවන නිසා, ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ සඳහා 15%ක බද්දක් ගෙවීමට සිදුවිය හැකියි.
ඔබ Nomination එකක් කර නොමැති නම් වෙන්නේ මොකක්ද?
බොහෝ දෙනා සිතන්නේ Nomination එකක් නොමැති නම් මුදල් රජයට යන බවයි. නමුත් සුපර් අරමුදලේ භාරකරු විසින් මියගිය පුද්ගලයාගේ ජීවිතයේ සිටින සුදුසුකම් ලත් පුද්ගලයින් පරීක්ෂා කරලා තීරණයක් ගන්නවා.
කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලිය සඳහා වැඩි කාලයක් ගත විය හැකි අතර, අරමුදල ලබා දීමට අදහස් නොකළ පුද්ගලයෙකුට මුදල් යාමටත් ඉඩ තිබෙනවා. එමඟින් අවමංගල්‍ය කටයුතු හෝ දෛනික ජීවන වියදම් සඳහා මුදල් අවශ්‍ය පවුලේ අයට දැඩි පීඩනයක් ඇති කරනවා.
විශේෂඥයන් ලබා දෙන උපදෙස් මොනවාද?
ඔබේ සුපර් අරමුදල පරීක්ෂා කරන්න: ඔබේ binding death benefit nomination එක තවමත් වලංගු දැයි වහාම පරීක්ෂා කරන්න.
නීතිමය උපදෙස් ලබා ගන්න: ඔබේ පවුල් පසුබිම සංකීර්ණ නම් (විදෙස්ගත ඥාතීන් සිටී නම් හෝ සාම්ප්‍රදායික නොවන පවුල් පසුබිමක් නම්), නීතිමය උපදෙස් ලබා ගැනීම ඉතා වැදගත්.
වත්මන් නීති නවීන ඕස්ට්‍රේලියානු පවුල්වල ඇති විවිධත්වයට ගැලපෙන ලෙස පුළුල් සමාලෝචනයකට ලක් කළ යුතු බවට පාරිභෝගික සංවිධාන රජයෙන් ඉල්ලා සිටිනවා.