මෑතකදී ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සමාගම් රැසක් විශාල වශයෙන් රැකියා කප්පාදු කිරීම (job cuts) ආරම්භ කර තිබෙනවා. මේ නිසා එරට රැකියා වෙළඳපොළේ (job market) ශක්තිමත්භාවය ගැන බොහෝ දෙනා ප්‍රශ්න කරන්නට පටන් අරන්. සමාගම් රැසකින් සේවකයින් ඉවත් කිරීම සහ බැංකු පොලී අනුපාත (interest rates) ඉහළ යාම යන කරුණු නිසා මේ තත්ත්වය ඉදිරි ආර්ථික අවපාතයක (recession) පෙර නිමිත්තක්ද බවත් ආර්ථික විද්‍යාඥයින් අනතුරු අඟවනවා.

විවිධ අංශ වල සමාගම් මේ රැකියා කප්පාදුවට මුහුණ දීලා තියෙනවා. උදාහරණයක් විදිහට ඩිජිටල් නිර්මාණ සමාගමක් වන Canva සිය සේවකයින්ගෙන් 22% ක් එනම් රැකියා 1200ක් පමණ ඉවත් කිරීමට හෝ වෙනත් තැන්වලට යොමු කිරීමට තීරණය කරලා. ඊට අමතරව Woodside Energy සමාගම ගෝලීයව රැකියා 500කට වඩා අඩු කරන අතර, David Jones වැනි ප්‍රසිද්ධ retail ආයතන පවා දැඩි මූල්‍ය අර්බුදයකට ලක්වෙලා. ඒ වගේම National Australia Bank (NAB) එකත් රැකියා 2500ක් පමණ කප්පාදු කිරීමට සැලසුම් කර තිබෙනවා. නව තාක්ෂණය (විශේෂයෙන් AI), මිනිසුන්ගේ සාප්පු යාමේ පුරුදු වෙනස් වීම ඔන්ලයින් තරඟකාරිත්වය සහ පවතින ආර්ථික අභියෝග මේ තත්ත්වයට ප්‍රධාන හේතු වී තිබෙනවා.
මේ සිදුවීම් මාලාවත් එක්කම ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය (unemployment rate) සැප්තැම්බර් මාසය වෙද්දී 4.7% දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 2021 ඔක්තෝබර් වලින් පස්සේ වාර්තා වුණු ඉහළම අගයයි. මේ සංඛ්‍යාලේඛන වලට අනුව සැප්තැම්බර් මාසයේදී පමණක් 40,000කට ආසන්න පිරිසකට රැකියා අහිමි වෙලා තියෙනවා. කෙසේ වෙතත් ආර්ථික විශේෂඥයින් පවසන්නේ රැකියා වෙළඳපොළේ යම් පසුබෑමක් පෙනෙන්නට තිබුණත්, මේක සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවට නිගමනය කිරීමට තරම් තවම ප්‍රමාණවත් සාක්ෂි නැති බවයි. ඒ වගේම රැකියා අහිමි වනවා සේම දිනපතා අලුතින් රැකියා නිර්මාණය වන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මේ අතරතුර Reserve Bank of Australia (RBA) විසින් සිය පොලී අනුපාත 4.85% දක්වා වැඩි කර තිබෙනවා. මේ නිසා මිනිසුන්ට තමන්ගේ නිවාස ණය (mortgages) ගෙවීමට වැඩි මුදලක් වැය කිරීමට සිදුවන බැවින් ඔවුන් අත ඇති මුදල් ප්‍රමාණය අඩුවී වියදම් කිරීම සීමා වෙනවා. සමාජයට මුදල් ගලායාම අඩුවීම හරහා ව්‍යාපාර වලට පාඩු සිදුවී, එහි අවසන් ප්‍රතිඵලය වෙන්නෙත් තවත් රැකියා අහිමි වීමයි. RBA අධිපතිනිය පවසන ආකාරයට මේ තත්ත්වය මිනිසුන්ට ‘ආර්ථික අවපාතයක්’ (recession) ලෙස දැනුණත් සැබෑ ආර්ථික අවපාතයකට රට තල්ලු වීම වැළැක්වීමට ඔවුන් උපරිම උත්සාහ කරනවා. නමුත් ඉදිරියේදී විරැකියා අනුපාතය තවදුරටත් ඉහළ ගියහොත් පොලී අනුපාත තවදුරටත් ඉහළ දැමීම පාලනය කිරීමට ඔවුන්ට සිදුවිය හැකිය.