ලබන සතියේ ඕස්ට්‍රේලියානු අහසේ සුවිශේෂී Supermoon එකක් දැකබලා ගැනීමට ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඔබට අවස්ථාව ලැබෙනවා. Beaver Moon ලෙස හඳුන්වන මෙම පුර පසළොස්වක සඳ නොවැම්බර් 24 වන අඟහරුවාදා සහ නොවැම්බර් 25 වන බදාදා යන දෙදින තුළ රාත්‍රී අහස ආලෝකමත් කරනවා. මෙය එක දිගට දැකගත හැකි සුපිරි සඳවල් හතරක (four consecutive supermoons) පළමුවැන්න වන අතර මෙම සඳ මාලාවේ විශාලතම සහ දීප්තිමත්ම Supermoon නත්තල් දාට පෙර දින (Christmas Eve) දැකබලා ගැනීමට හැකියාව ලැබෙනවා. හිරු බැස යාමත් සමඟ නැගෙනහිර අහසින් උදාවන මෙම සඳ පියවි ඇසින් ඉතා පැහැදිලිව දැකගත හැකි වෙනවා.

සුපිරි සඳ (Supermoon) දැකගත හැකි වන්නේ කවදාද?
නොවැම්බර් 24 වන අඟහරුවාදා රාත්‍රියේ හිරු බැස යාමත් සමඟ මෙය නැගෙනහිර අහසින් උදා වෙනවා. කෙසේ වෙතත් මෙම සඳ එහි උපරිම දීප්තියට (peak illumination) ළඟා වන්නේ මධ්‍යම රාත්‍රිය ආසන්නයේදීයි. බටහිර ඕස්ට්‍රේලියාවට මධ්‍යම රාත්‍රියට මොහොතකට පෙරත්, නැගෙනහිර වෙරළ තීරයට (East Coast) අලුයම 12.23 සිට 1.53 දක්වා කාලය තුළත් මෙහි උපරිම දීප්තිය දැකගත හැකි වෙනවා.
ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවලට සඳ උදාවන වේලාවන් (නොවැම්බර් 24)
හිරු බැස ගිය වහාම සඳ උදාවන වේලාවන් නගරයෙන් නගරයට පහත පරිදි වෙනස් වෙනවා.
නගරය (City) සඳ උදාවන වේලාව (Moonrise Time)
Brisbane – 6.09 pm
Darwin – 6.38 pm
Perth – 6.57 pm
Sydney – 7.35 pm
Canberra – 7.47 pm
Adelaide – 8.00pm
Melbourne – 8.13 pm
Hobart – 8.21 pm
මෙම සුපිරි සඳ නැරඹීමට හොඳම ක්‍රමය කුමක්ද?
තාරකා භෞතික විද්‍යාඥ (Astrophysicist) සහ සහකාර මහාචාර්ය Kamath පවසන පරිදි Supermoon අත්විඳීමට හොඳම වේලාව වන්නේ හිරු බැස ගිය වහාම එය නැගෙනහිර ක්ෂිතිජයෙන් ඉහළට නගින අවස්ථාවයි. එම මොහොතේදී ඇතිවන ‘moon illusion’ (චන්ද්‍ර මායාව) නිසා සඳ වෙනදාට වඩා විශාලව පෙනෙනවා. ගස්, ගොඩනැගිලි හෝ නගරයේ Skyline එක පසුබිම් කරගෙන සඳ නැරඹීමෙන් එයට වඩාත් සුන්දර දසුනක් එක් කරනවා. එමෙන්ම ආලෝක දූෂණය අඩු අඳුරු ප්‍රදේශයකට යාමෙන් මෙම සුපිරි සඳේ සැබෑ සුන්දරත්වය වඩාත් හොඳින් විඳගැනීමට හැකියාව ලැබෙනවා.

Supermoon එකක් කියන්නේ මොකක්ද? එය කොතරම් විශාලද?
චන්ද්‍රයා සිය කක්ෂයේ ගමන් කරන විට පෘථිවියට ආසන්නතම ස්ථානයට (closest point to Earth) පැමිණි විට ඇතිවන පුර පසළොස්වක සඳ Supermoon එකක් ලෙස හඳුන්වනවා.
සාමාන්‍ය පුර පසළොස්වක සඳකට වඩා සුපිරි සඳක් 14% ක් පමණ විශාලව සහ 30% ක් පමණ දීප්තිමත්ව දිස්වෙනවා. මෙවර නොවැම්බර් සුපිරි සඳ පෘථිවියේ සිට කිලෝමීටර් 360,768 ක් තරම් ආසන්නයට පැමිණෙන අතර එය මේ වසරේ ඕස්ට්‍රේලියානු අහසේ දිස්වන විශාලතම සහ දීප්තිමත්ම සඳවල් අතරින් එකක් බවට පත්වෙනවා.
‘Beaver Moon’ ලෙස නම් ලැබුණේ ඇයි?
එළඹෙන දීර්ඝ ශීත ඍතුවට (winter) සූදානම් වීම සඳහා ‘බීවර්’ (Beavers) සතුන් සිය වේලි (dams) ඉදිකිරීමට වඩාත් කාර්යබහුල වන්නේ වසරේ මෙම කාලය තුළයි. නිශාචර සතුන් වන මොවුන් මෙම පුර පසළොස්වක සඳේ දීප්තිමත් ආලෝකයෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. ඊට අමතරව උතුරු ඇමරිකාවේ සාම්ප්‍රදායිකව බීවර් සතුන් දඩයම් කරන සමය (hunting season) ලෙසත් නොවැම්බර් මාසය සැලකෙනවා.
ඊළඟ පුර පසළොස්වක සඳ කවදාද?
මීළඟට දැකගත හැකි ‘Christmas Supermoon’ (නත්තල් සුපිරි සඳ) දෙසැම්බර් 24 වන දින එහි උපරිම අවස්ථාවට ළඟා වෙනවා.
Photo Credit: Time Out Australia