ඕස්ට්‍රේලියානුවන් මිලියන 2.5කට ආසන්න පිරිසක් තම සෞඛ්‍යයට හා යහපැවැත්මට හානි කරන නිවාසවල ජීවත් වන බව University of Melbourne හි Healthy Housing Unit විසින් සිදු කළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. දුම්පානය, මත්පැන් සහ අධික සීනි භාවිතය මෙන්ම, අයහපත් නිවාස තත්ත්වයන් ද ප්‍රධාන සෞඛ්‍ය අවදානම් ලැයිස්තුවට ඇතුළත් කළ යුතු බව පර්යේෂකයෝ පෙන්වා දෙති. තෙතමනය, පුස් (mould) සහ insulation එකක් නොමැති නිවාස නිසා ශ්වසන රෝග, හෘද රෝග, මානසික ආතතිය සහ දරුවන්ගේ වර්ධනයට බාධා ඇති විය හැකි අතර පුස් ගැටලුව පමණක් විසඳීමෙන් ඕස්ට්‍රේලියාවට සෞඛ්‍ය වියදම්වලින් ඩොලර් බිලියන 3.8ක් ඉතිරි කර ගැනීමටත්, ඵලදායිතාවයෙන් ඩොලර් බිලියන 5.9ක වාසියක් ලබා ගැනීමටත් හැකි බව ඇස්තමේන්තු කර ඇත.

මෙම අවදානමට වැඩි වශයෙන් ගොදුරු වන්නේ කුලී නිවැසියන් (renters) සහ අඩු ආදායම්ලාභීන් වේ. වික්ටෝරියා ප්‍රාන්තයේ පදිංචි Amy Charchar මහත්මියගේ අත්දැකීම ඊට කදිම නිදසුනකි. වසර ගණනාවක් පුරා හේතුවක් සොයාගත නොහැකි දිගුකාලීන කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා සහ අධික තෙහෙට්ටුව හේතුවෙන් ඇය වසරක් තුළ 40 වතාවක් රෝහල් ගත වී රෝද පුටුවකට පවා සීමා වූවාය. පසුව ඇයගේ කුලී නිවසේ කාපට් යට තිබූ දැඩි පුස් තට්ටු සොයා ගැනීමත් සමඟ ඇයට CIRS (Chronic Inflammatory Response Syndrome) සහ ඇදුම රෝගය වැළඳී ඇති බව තහවුරු වූ අතර ඇයගේ දරුවන් සිව්දෙනාගෙන් තිදෙනෙකුටම මේ වන විට ඇදුම රෝගය වැළඳී තිබේ.

නිවාස සහ සෞඛ්‍යය තවදුරටත් වෙන් වෙන් වශයෙන් සැලකිය නොහැකි බව පවසන මහාචාර්ය Rebecca Bentley අවධාරණය කරන්නේ නිවාස යනු හුදෙක් මූල්‍යමය වත්කමක් නොව වැදගත් සෞඛ්‍ය යටිතල පහසුකමක් (health infrastructure) ලෙස සැලකිය යුතු බවයි. ඒ අනුව දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන පරිදි නිවාස සකස් කිරීමටත්, කුලී නිවැසියන් ආරක්ෂා කිරීම සඳහා ජාතික මට්ටමේ නීතිරීති සහ අවම නිවාස ප්රමිතීන් (minimum housing standards) වහාම හඳුන්වා දීමටත් පියවර ගත යුතු බව පර්යේෂකයෝ පෙන්වා දෙති.