ක්‍රිකට් පොත්වල රන් අකුරින් නම ලියූ රටක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රසිද්ධයි. ශ්‍රී ලංකා කණ්ඩායම නොමැකෙන ජයග්‍රහණ සනිටුහන් කල ආසියානු කුසලාන තරඟාවලියට මෙවරත් එක් වෙන්නේ ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු රැසක් දල්වා සිටියදීයි.
2025 ආසියානු කුසලානය සැප්තැම්බර් 9 වන දින (අද) ආරම්භ වෙනවා. මේ සඳහා සැප්තැම්බර් 28 වන දින දක්වා කණ්ඩායම් 8ක් කාණ්ඩ 2කට බෙදී තරඟ වැදීමට නියමිතයි. ලබන වසරේ පැවැත්වෙන ලෝක කුසලානය සඳහා සූදානම් වීමක් වශයෙන් තරඟාවලිය T20 ආකෘතියෙන් පැවැත්වෙනවා.
A කණ්ඩායමෙන් ඉන්දියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය සහ ඕමානය තරඟ වදින අතර B කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව, බංගලාදේශය, ඇෆ්ගනිස්තානය, සහ හොං කොං තරඟ වදිනවා.
මෙහිදී ඉන්දියාව, පාකිස්තානය, ශ්‍රී ලංකාව, බංගලාදේශය, ඇෆ්ගනිස්තානය යන රටවල් 5, ICC පූර්ණ සාමාජිකත්වය ඇති රටවල් ලෙස සහභාගී වන අතර සෙසු රටවල් 3 ඕමානයේ පැවති 2024 ACC Premier Cup හරහා සුදුසුකම් ලබා එක් වෙනවා.
එක් එක් කාණ්ඩයේ ලකුණු පුවරුවල ඉහලින්ම සිටින කණ්ඩායම් 2 සුපිරි 4 දෙනාගේ තරඟ වටය සඳහා සුදුසුකම් ලබනවා. ඉන් ඉහලින්ම සිටින කණ්ඩායම් 2 අවසන් මහා සටනේ තරඟ වදිනු ඇති.
ආසියානු කුසලාන 2025: පැවැත්වෙන ස්ථාන
25,000 කට අසුන් ගත හැකි Dubai International Cricket Stadium හි තරඟ 11ක්ද 20,000 ක ධාරිතාවයකින් යුත් Abu Dhabi හි Sheikh Zayed Cricket Stadium හිදී තරඟ 8ක්ද පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ආසියානු කුසලාන 2025: ශ්‍රී ලංකා තරඟ
B කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය බංගලාදේශයට එරෙහිව සැප්තැම්බර් 13 වනදා Abu Dhabi හිදී පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ 2වන තරඟය හොං කොං කණ්ඩායම සමග සැප්තැම්බර් 15 Dubai හිදී පැවැත්වීමට නියමිතයි.
B කාණ්ඩය යටතේ පැවැත්වෙන අවසන් තරඟය ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය සැප්තැම්බර් 18 වන දින Abu Dhabi හිදී තරඟ වදිනවා.
2025 ආසියානු කුසලානයේ අවසාන මහා තරඟය සැප්තැම්බර් 28 වන දින Dubai හිදී පැවැත්වෙනවා.
ආසියානු කුසලාන තරඟ ඉතිහාසය
1984 දී පළමු වරට පැවැත්වූ ආසියානු කුසලාන තරඟාවලි තුල වැඩිම ජයග්‍රහණ හිමි කරගෙන තිබෙන්නේ ඉන්දියාවයි. ඔවුන් තරඟ 8ක් ජයගෙන තිබෙනවා. තරඟාවලි 6ක් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලි ඉතිහාසයේ 2 වෙනි ස්ථානයේ සිටිනවා.
1986, 1997, 2004, 2008, 2014 යන ODI ආකෘතියෙන් පැවැත්වූ තරගාවලි වල ශූරයන් වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන් අවසන් වරට ශූරතාවක් දිනාගත්තේ 2022 T20 ආකෘතියෙන් පැවති තරඟාවලිය තුලයි. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම 7 වතාවක් අනු ශූරතාව දිනා තිබීමද විශේෂත්වයක්.
ඒ අනුව වැඩිම වාර ගණනක් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබූ රට වන්නේද ශ්‍රී ලංකාවයි. ඉන්දියාව දිනා ඇති අනුශූරතා ගණන 3ක්.
ඒ වගේම ආසියා කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු රැස් කළ ක්‍රීඩකයා ශ්‍රී ලංකා කණ්ඩායමේ සනත් ජයසූරියයි. ඔහු රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 1220ක්. වැඩිම කඩුළු සංඛ්‍යාවකට හිමිකම් කියන්නේ ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ලසිත් මාලිංගයි. ඔහු කඩුළු 33ක් දවාගෙන තිබෙනවා.
2025 ආසියානු කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම
- චරිත් අසලංක (නායක)
- දුෂ්මන්ත චමීර
- බිනුර ප්‍රනාන්දු
- නුවනිදු ප්‍රනාන්දු
- වනිඳු හසරංග
- චාමික කරුණාරත්න
- කමිඳු මෙන්ඩිස්
- කුසල් මෙන්ඩිස් (Wk)
- කමිල් මිෂාර
- පැතුම් නිශ්ශංක
- මතීෂ පතිරණ
- කුසල් පෙරේරා (Wk)
- දසුන් ශානක
- මහේෂ් තීක්ෂණ
- නුවන් තුෂාර
- දුනිත් වෙල්ලාලගේ