පසුගිය දිනවල TikTok, YouTube සහ Facebook හරහා හදිසියේම Viral වූ වීඩියෝ කිහිපයක් නිසා ලෝකය පුරා විශාල කුතුහලයක් සහ බියක් ඇති වුණා. ආර්ජන්ටිනාවේ අත්ලාන්තික් සාගරයේ ජලය එක රැයින් සිඳී ගිය බවත්, මුහුදු පතුල එළියට පැමිණ අලුත් “දූපතක්” මතු වී ඇති බවත් කියමින් බොහෝ දෙනා මෙය ලෝක විනාශයේ සලකුණක් ලෙස හඳුන්වනු ලැබුවා.
නමුත් ඇත්තටම සිදු වූයේ කුමක්ද? ආර්ජන්ටිනාවේ මුහුද ඇත්තටම සිඳී ගියාද? මෙන්න එහි සැබෑ විද්‍යාත්මක තත්ත්වය.
වීඩියෝවල දැක්වෙන පරිදි මුහුදු ජලය ආපස්සට ගොස් මුහුදු පතුල එළියට මතු වීම සත්‍ය සිදුවීමක්. නමුත් මුහුද ස්ථිරවම සිඳී ගිය බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යයි.
මෙම සිදුවීම වාර්තා වූයේ ආර්ජන්ටිනාවේ Buenos Aires ප්‍රාන්තයේ Mar del Plata නම් ප්‍රසිද්ධ වෙරළබඩ සංචාරක නගරයෙන්. පැය කිහිපයක් ඇතුළත වෙරළාශ්‍රිත මුහුදු ජල මට්ටම විශාල ලෙස පහත බැස තිබුණා.
ආර්ජන්ටිනාවේ La Nación පුවත්පතට අනුව, සාමාන්‍යයෙන් මුහුද යට සැඟවී පවතින ‘Restinga del Faro’ නමැති විශාල ගල්පරය ජලය බැසයාම නිසා එළියට මතු වූ අතර, සංචාරකයන්ට එය පෙනුනේ අලුතින් මතු වූ දූපතක් ලෙසයි. කෙසේ වෙතත්, සාමාන්‍ය දියවැල් චක්‍රය අවසන් වීමත් සමඟ එදිනම මුහුදු ජලය නැවතත් තිබූ යථා තත්ත්වයට පැමිණියා.
මුහුද ආපස්සට ගියේ ඇයි? විද්‍යාත්මක හේතු
ස්වාභාවික කාරණා කිහිපයක් එකවර සිදු වීම නිසා මේ දුර්ලභ තත්ත්වය නිර්මාණය වී තිබුණා.
Offshore Winds: ගොඩබිම දෙස සිට මුහුද දෙසට දැඩි ලෙස හමාගිය සුළඟ නිසා මුහුද මතුපිට ජලය ගොඩබිමින් ඈතට තල්ලු වී ගොස් Wind setdown තත්ත්වයක් ඇති වුණා.
වායුගෝලීය පීඩනය වෙනස්වීම: කලාපයේ වායුගෝලීය පීඩනයේ සිදු වූ හදිසි වෙනස්කම් ජල මට්ටම පහත හෙළීමට බලපෑවා.
අධික බාදිය (Extremely Low Tide): මෙම සුළං තත්ත්වය ස්වාභාවිකව සිදුවන අධික බාදිය (Low tide) කාලය සමඟ එකවර යෙදීම නිසා ජලය බැසයාම කැපී පෙනෙන ලෙස දැකගන්න පුලුවන් වුණා.
විද්‍යාත්මකව මෙය Meteorological Low Tide ලෙස හඳුන්වන අතර, මෙය කුණාටු සමඟ මුහුදු රළ ගොඩගලන “Storm Surge” තත්ත්වයේ අනෙක් පැත්තයි.
මෙය සුනාමියක පූර්ව ලක්ෂණයක්ද?
සාමාන්‍යයෙන් සුනාමියක් පැමිණීමට පෙර මුහුදු ජලය ශීඝ්‍රයෙන් ආපස්සට ඇදී යනවා. නමුත් සුනාමියක් ඇති වන්නේ භූමිකම්පා හෝ මුහුදු යට නායයෑම් නිසා මිනිත්තු කිහිපයක් ඇතුළතයි.
නමුත් Mar del Plata හි සිදු වූයේ පැය ගණනාවක් තිස්සේ පැවති සුළං සහ කාලගුණික වෙනස්කම් නිසා සිදු වූ දෙයක් බැවින්, එහි කිසිදු සුනාමි අවදානමක් නොතිබූ බව තහවුරු කර තිබෙනවා.
Image credit: www.facebook.com