ඕස්ට්‍රේලියාවේ අලුත් සංක්‍රමණික නීති ගැන ප්‍රධාන පක්ෂ වලින් පරස්පර අදහස්!

ඕස්ට්‍රේලියාවේ පවතින දැඩි නිවාස හිඟය, ජනගහන වර්ධනය සහ ආර්ථික අභියෝග හමුවේ සංක්‍රමණික ප්‍රතිපත්තිය (Migration Policy) පිළිබඳ දේශපාලන සංවාදය දැඩි ලෙස උණුසුම් වී තිබෙනවා. ස්වදේශ කටයුතු අමාත්‍ය Tony Burke විසින් රජයේ අලුත්ම සංක්‍රමණික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමත් සමඟ, රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ 4 මේ සම්බන්ධයෙන් ගෙන ඇති විවිධ ප්‍රවේශයන් කෙරෙහි රටේම අවධානය යොමු වී තිබෙනවා.

පාලක Labor රජය අත්තනෝමතික ලෙස සංක්‍රමණිකයන් එකවර කපා හැරීම වෙනුවට සලකා බලන්නේ ආර්ථිකයට සහ නිවාස ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය ශ්‍රමිකයින් ආරක්ෂා කරගනිමින් සංක්‍රමණික සංඛ්‍යාව පාලනය කිරීමටයි. ඒ අනුව, වර්තමානයේ පවතින 292,100 ක් වූ Net Overseas Migration (NOM) 2026-27 වසරේදී 245,000 දක්වාත්, 2027-28 වන විට වසරකට 225,000 දක්වාත් ක්‍රමයෙන් පහත හෙළීමට Labor රජය ඉලක්ක කරනවා. 

මෙහිදී ජාත්‍යන්තර සිසුන්ට (PhD, Pacific/ASEAN හැර) පවුලේ අය (Dependents) ගෙන්නා ගැනීම තහනම් කිරීම, පහළ පාඨමාලාවලට මාරු වෙමින් වීසා දික් කරගන්නා “Course Hopping” නතර කිරීම, Backpacker වීසා සඳහා Ballot ක්‍රමයක් හඳුන්වා දීම සහ නීති විරෝධී ලෙස රැඳී සිටින පිරිස් පිටුවහල් කිරීමට නීති තද කිරීම වැනි පියවර ඇතුළත් වෙනවා.   

ඊට හාත්පසින්ම වෙනස් දැඩි මතයක සිටින One Nation පක්ෂය යෝජනා කරන්නේ වසර 3 ක් ඇතුළත තාවකාලික වීසා බලපත්‍ර 750,000 කින් කපා හැර, ශුද්ධ සංක්‍රමණය සෘණ මට්ටමකට ගෙන ඒමටයි. එම කාල සීමාවෙන් පසුව වසරකට සංක්‍රමණිකයන් 130,000 ක තද සීමාවක් පැනවීමට ඔවුන් බලාපොරොත්තු වන අතර, ශිෂ්‍ය වීසා, උපාධිධාරී වීසා සහ තාවකාලික වීසා හිමියන්ට පවුල් වල අය ගෙන්වා ගැනීමේ අවස්ථාව අත්හිටුවීමට ප්‍රමුඛතාව ලබා දෙනවා. 

කෙසේ වෙතත්, මෙම සැලසුම මඟින් රටේ ගොවිපළවල්, සෞඛ්‍ය සහ හෝටල් ක්ෂේත්‍රවල දැවැන්ත ශ්‍රම හිඟයක් නිර්මාණය වන බවට ව්‍යාපාරික සංගම් දැඩි ලෙස චෝදනා කරනවා.   

ප්‍රධාන විපක්ෂය වන Coalition යෝජනා කරන්නේ සංක්‍රමණික සංඛ්‍යාව රට තුළ ඉදිකරන නව නිවාස සංඛ්‍යාවට (වසරකට 170,000 කට ආසන්න ප්‍රමාණයට) සාපේක්ෂව කෙලින්ම සීමා කළ යුතු බවයි. එමෙන්ම, ඕස්ට්‍රේලියානු සංස්කෘතිය, ඉංග්‍රීසි භාෂාව සහ ප්‍රජා වටිනාකම් පිළිගැනීමේ ප්‍රකාශනයක් වීසා කොන්දේසියක් ලෙස නීත්‍යානුකූලව අනිවාර්ය කිරීමටත්, නිවාස සහ සමාජ ආරක්ෂණ සහන ලබාගැනීමේදී ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට ප්‍රමුඛතාව දීමටත් ඔවුන් යෝජනා කරනවා.

අනෙක් අතට, The Greens, සංක්‍රමණිකයන් සංඛ්‍යාව කපා හැරීමේ යෝජනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. නිවාස අර්බුදයට හේතුව සංක්‍රමණිකයන් නොව, කුලී නිවාස පාලන නීති නැතිකම සහ රජයේ නිවාස නොමැතිකම බව පවසන ඔවුන්, මානුෂීය වීසා ප්‍රමාණය 50,000 දක්වා ඉහළ නැංවීමටත්, Family Reunion වීසා ප්‍රමාදය වසරකට අඩු කිරීමටත්, රැඳවුම් භාරයේ සිටින පිරිස් නිදහස් කර සාධාරණ සංක්‍රමණික පද්ධතියක් සකස් කිරීමටත් යෝජනා කර සිටිනවා. 

 

Image credit: www.britannica.com

Don't forget to share this post!

Recent Posts