ඕස්ට්‍රේලියාවේ අගනුවර වන Canberra කියන්නේ පාලු, කම්මැලි නගරයක් කියලා තාමත් හිතන් ඉන්නවා නම් මෙන්න ඒ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වෙන ආරංචියක්! Oxford Economics ආයතනය මඟින් නිකුත් කරන ලද 2026 Global Cities Index වර්ගීකරණයට අනුව, උසස් ජීවන තත්ත්වයක් (Quality of Life) පවතින ලොව හොඳම නගරය ලෙස Canberra නැවතත් ප්‍රථම ස්ථානය දිනාගෙන තිබෙනවා.
ලොව පුරා ප්‍රධාන නගර 1,000 ක් ආර්ථිකය, මානව ප්රාග්ධනය, ජීවන තත්ත්වය, පරිසරය සහ පාලනය යන ක්ෂේත්‍ර 5 යටතේ ඇගයීමට ලක්කරමින් සකස් කළ මෙම දර්ශකයේ, අඛණ්ඩව දෙවන වසරටත් ජීවන තත්ත්වය අතින් අංක එකට පැමිණීමට කැන්බරා නගරයට හැකිවීම විශේෂත්වයක්.
සිඩ්නි සහ මෙල්බර්න් වැනි ප්‍රධාන නගර මෙවර යම් තරමකට පහතට වැටෙද්දී, සමස්ත ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 7 ක් ඉදිරියට පැමිණෙමින් ලොව හොඳම නගර අතර 45 වන ස්ථානයට පත්වීමට Canberra නගරය සමත් වුණා.
කැන්බරා නගරයට මෙම ජයග්‍රහණය හිමිවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ රාජ්‍ය අංශයේ ස්ථාවර, ඉහළ වැටුප් සහිත රැකියා බහුල වීම සහ අඩු ආදායම් පරතරයයි. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ දෙවන ඉහළම ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය (GDP per person) මෙන්ම ලොව ඉහළම ආයු අපේක්ෂාවක් (Life expectancy) පවතින නගරයක් ලෙසත් කැන්බරා කැපී පෙනෙනවා.
ජීවන තත්ත්වය අතින් ඕස්ට්‍රේලියාවේ අනෙකුත් නගර වන සිඩ්නි 17 වන ස්ථානයටත්, පර්ත් 38 වන ස්ථානයටත්, මෙල්බර්න් 54 වන ස්ථානයටත්, ඇඩිලේඩ් 59 වන ස්ථානයටත් පත්වී තිබෙනවා.
2026 වසරේ ජීවත් වීමට හොඳම ලොව ප්‍රධාන නගර 10
- Canberra
- Bergen
- Singapore
- Grenoble
- Bern
- Oslo
- Luxembourg City
- Dresden
- Ghent
- Paris
Image credit: www.britannica.com