Skills Update කරන්නේ නැතුව Job එකේ ඉන්නවද? ඕස්ට්‍රේලියාවේ රැකියා කප්පාදුවේ ඇත්තම තත්ත්වය!

ඕස්ට්‍රේලියාවේ ඉහළ යන විරැකියාව සහ ප්‍රධාන පෙළේ සමාගම් රැසක් සිදු කරන දැවැන්ත රැකියා කප්පාදු හමුවේ, නව රැකියාවක් සොයා ගැනීම පිළිබඳව එරට සේවකයින් තුළ ඇති විශ්වාසය 66% සිට 57% දක්වා පහත වැටී තිබෙනවා. HR ආයතනයක් වන Employment Hero සිදු කළ නවතම සමීක්ෂණයකට අනුව, පවතින ආර්ථික අවදානම නිසා සේවකයින්ගෙන් තුනෙන් දෙකක්ම වත්මන් රැකියාවෙන් ඉවත් නොවී එහිම රැඳී සිටීමට (“Job Hugging”) පෙළඹී සිටිනවා. පසුගිය වසරේ සාමාන්‍ය වැටුප් වර්ධකය (median pay rise) 3.5% ක් වැනි අඩු මට්ටමක පැවතියද, ඉහළ යන ජීවන වියදමට මුහුණ දීම සඳහා වෙනත් ආයතනයකට මාරු වීමට නම් අවම වශයෙන් 12% ක වැටුප් වැඩිවීමක්වත් අවශ්‍ය බවයි බහුතර සේවකයින් පවසන්නේ.

පසුගිය මාසය තුළ ඕස්ට්‍රේලියානු ආයතන රැසක් සේවකයින් ඉවත් කිරීමට සහ රැකියා විදේශගත කිරීමට (offshoring) පියවර ගැනීම මෙම අවිනිශ්චිතතාව තවත් වැඩි කර තිබෙනවා. ඒ අනුව NAB බැංකුව රැකියා 2,500 ක් කප්පාදු කළ අතර, Canva ආයතනය සිය සේවක මණ්ඩලයෙන් 22% ක් (1,271 ක්) ඉවත් කිරීමට හෝ ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගත්තා. මීට අමතරව AI තාක්ෂණයේ දියුණුව හේතුවෙන් Qantas ගුවන් සේවය IT රැකියා 850 ක් outsource කිරීමටත්, Woodside සමාගම රැකියා 500 ක් සහ Commonwealth Bank, KPMG, Bunnings වැනි ආයතන තවත් රැකියා සිය ගණනක් කප්පාදු කිරීමට හෝ විදේශීය සමාගම් වෙත පැවරීමටත් කටයුතු කර තිබෙනවා.

මෙම තත්ත්වයත් සමඟ ඔක්තෝබර් මාසයේ ඕස්ට්‍රේලියානු විරැකියා අනුපාතය 4.7% සිට 4.9% දක්වා ඉහළ ගොස් ඇති අතර, එය රැකියා 43,500 ක අහිමි වීමක් ලෙස සටහන් වෙනවා. මෙය ආර්ථික අවපාතයක් (recession) පිළිබඳ බියක් ඇති කළත්, නැවත පොලී අනුපාත ඉහළ දැමීමේ අවදානම බොහෝ දුරට අඩු කර ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත්, සේවකයින් රැකියාවල රැඳී සිටීම ඔවුන්ගේ තෘප්තිමත්භාවය පෙන්නුම් කරන්නක් නොවන බවත්, AI ඇතුළු නව තාක්ෂණයන් සමඟ වේගයෙන් වෙනස් වන රැකියා වෙළඳපොළට ගැළපෙන පරිදි තම කුසලතා (skills) වර්ධනය කර නොගෙන එකම තැන රැඳී සිටීම අනාගතයේදී ඊටත් වඩා විශාල වෘත්තීය අවදානමක් විය හැකි බවත් විශේෂඥයින් අවධාරණය කරනවා.

Don't forget to share this post!

Recent Posts