බ්‍රහස්පතින්දා අහමදාබාද් නගරයෙන් ලන්ඩන් බලා පිටත් වූ Air India ගුවන් යානයක් ගුවන් ගත වී මොහොතකට පසු කඩා වැටීමෙන් පුද්ගලයින් 240 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර එය මෙම දශකය තුළ ලොව සිදු වූ දරුණුතම ගුවන් අනතුර ලෙස කතා බහට ලක්ව තිබෙනවා.
පුද්ගලයන් 242 දෙනෙකු සමග බ්‍රිතාන්‍ය අගනුවරට දකුණින් පිහිටි Gatwick ගුවන් තොටුපළ බලා යමින් සිටි Boeing 787-8 Dreamliner යානය, මෙලෙස දිවා ආහාර වේලාවේදී වෛද්‍ය විද්‍යාල නේවාසිකාගාරයක් මතට කඩා වැටීමෙන් අනතුර සිදුවූ අතර මින් දිවි ගලවා ගත්තේ එක් අයෙකු පමණි. දිවි ගලවා ගත් එකම පුද්ගලයා ඉන්දියානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන අතර ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව එම ගුවන් සේවය තහවුරු කළේය. AI171 ගුවන් යානය ගුවන් ගත වී ටික වේලාවකට පසු තමාට විශාල ශබ්දයක් ඇසුණු බව ඔහු ඉන්දීය මාධ්‍යයට පැවසීය.
“ගුවන් යානය කඩා වැටුණු ගොඩනැගිල්ලේ සිට මියගිය අය ඇතුළුව මියගිය මුළු සංඛ්‍යාව අපි තවමත් ගණනය කරමින් සිටිනවා” යැයි රාජ්‍යයේ ඉහළම පොලිස් නිලධාරිනියක් වන Vidhi Chaudhary ප්‍රකාශ කර සිටියාය. පෙර ප්‍රකාශ කළ මරණ සංඛ්‍යාව 294ක් වූ නමුත්, එයට දෙවරක් ගණන් කරන ලද ශරීර කොටස් ඇතුළත් වූ බැවින් එය සංශෝධනය කළ අතර මේ වන විට හඳුනාගත් මරණ සංඛ්‍යාව 240කට වඩා වැඩි බව ඇය තවදුරටත් පැවසුවාය. දැනට දන්නා පරිදි දිවි ගලවා ගත් එකම මගියා හදිසි පිටවීම් දොරටුවක් අසල 11A ආසනයේ සිටි බව චෞද්‍රි පැවසූ අතර රෝහලේ තවත් දිවි ගලවා ගත් අය සිටිය හැකි බව ද පැවසුවාය.
“ගුවන්ගත වී තත්පර තිහකට පසු, විශාල ශබ්දයක් ඇති වූ අතර පසුව ගුවන් යානය කඩා වැටුණා” 40 හැවිරිදි රමේෂ් විශ්වාෂ්කුමාර් හින්දුස්ථාන් ටයිම්ස් වෙත පවසා සිටියේය. “ඒ සියල්ල ඉතා ඉක්මනින් සිදු වුණා. මම නැගිටින විට, මා වටා මළ සිරුරු තිබුණා. මම බියට පත් වුණා. මම නැගිටලා දිව්වා. මගේ වටේම ගුවන් යානයේ කෑලි තිබුණා. කවුරුහරි මාව අල්ලාගෙන ගිලන් රථයකට දමා රෝහලට ගෙනාවා.” ඔහු තවදුරටත් පැවසුවේය.
ඔහුගේ සහෝදරයා වන අජේ ගුවන් යානයේ වෙනත් පේළියක අසුන්ගෙන සිටි බව ඔහු පැවසුවේය. “ඔහු මා සමඟ ගමන් කරමින් සිටි අතර මට තවදුරටත් ඔහුව සොයාගන්න බැහැ. කරුණාකර මට ඔහුව සොයා ගැනීමට උදව් කරන්න” ඔහු පැවසීය.
අහමාබාද් පොලිස් ප්‍රධානී ජී.එස්. මලික් පැවසුවේ සොයා ගත් මළ සිරුරු අතර මගීන් සහ කඩාවැටුණු ස්ථානයේ සිට මියගිය පුද්ගලයින් ද ඇතුළත් විය හැකි බවයි. අනතුර සිදු වූ අහමදාබාද් යනු ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන අතර මියගිය අය අතරට ගුජරාට් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති විජේ රූපානි මහතාද ද ඇතුළත් වේ.
මියගිය පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා DNA සාම්පල ලබා දෙන ලෙස ඥාතීන්ගෙන් ඉල්ලා ඇති බව රාජ්‍ය සෞඛ්‍ය ලේකම් Dhananjay Dwivedi පැවසුවේය. ගුවන් යානයේ බඳ කොටස් දුම් දමන ගොඩනැගිල්ල වටා විසිරී තිබුණු අතර ගුවන් යානයේ කොටසක් ගොඩනැගිල්ල මුදුනේ සිරවී ඇති ආකාරයක් දක්නට ලැබුණි.
මගීන් අතර වැඩිහිටියන් 217 ක්, ළමුන් 11 ක් සහ ළදරුවන් දෙදෙනෙකු ඇතුළත් වූ බව පැවසේ. Air India සමාගම පැවසුවේ මගීන් අතර ඉන්දියානු ජාතිකයන් 169 ක්, බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 ක්, පෘතුගීසි ජාතිකයන් 7ක් සහ එක් කැනේඩියානු ජාතිකයෙකු සිටි බවයි.
ගුවන් සේවා ආරක්ෂණ ජාල දත්ත සමුදායට (Aviation Safety Network Database) අනුව, 2011 දී වාණිජමය වශයෙන් පියාසර කිරීම ආරම්භ කළ wide-body ගුවන් යානයක් වන Dreamliner අනතුරට පත් වූ ප්‍රථම අවස්ථාව මෙයයි. බ්‍රහස්පතින්දා කඩා වැටුණු මෙම ගුවන් යානය 2013 දී ප්‍රථම වරට පියාසර කළ අතර 2014 ජනවාරි මාසයේදී එයාර් ඉන්දියා වෙත භාර දුන් බව Flightradar24 පැවසීය.
ගුවන් ගත වීමෙන් පසුව පටිගත වූ CCTV දර්ශනවලින් පෙන්නුම් කළේ යානය නේවාසික ප්‍රදේශයක් මතින් ගුවන් ගත වී පසුව අතුරුදහන් වන ආකාරයයි. පසුව නිවාසවලට ඔබ්බෙන් අහසට විශාල ගිනි බෝලයක් නැඟී එන ආකාරය දැකගත හැකි විය.
“මගේ නෑනා ලන්ඩනයට යමින් සිටියා. පැයක් ඇතුළත, යානය කඩා වැටී ඇති බවට මට ආරංචියක් ලැබුණා” මගීන්ගෙන් එක් අයෙකුගේ ඥාතියෙකු වන පූනම් පටෙල් අහමදාබාද්හි රජයේ රෝහලේ ANI ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවාය. වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයෙකුගේ මවක් වන රමිලා, ගුවන් යානය කඩා වැටෙන විට තම පුතා දිවා ආහාර විවේකය සඳහා නේවාසිකාගාරයට ගොස් සිටි බව ANI වෙත පැවසුවාය. “මගේ පුතා ආරක්ෂිතයි, මම ඔහුට කතා කළා. ඔහු දෙවන මහලෙන් පැන්නා, ඒ නිසා ඔහුට තුවාල සිදු වුණා” ඇය පැවසුවාය.
අහමදාබාද් ගුවන්තොටුපළේ ගුවන් ගමනාගමන පාලකයට (Air Traffic Control) අනුව, යානය පස්වරු 1:39 ට (0809 GMT) පිටත්ව ඇත. එය හදිසි අවස්ථාවක් සංඥා කරමින් Mayday call එකක් ලබා දුන් නමුත් ඉන් පසුව ගුවන් යානයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණි.
ඉන්දීය සිවිල් ගුවන් සේවා අමාත්‍ය රාම් මෝහන් නයිදු පැවසුවේ ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය විසින් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. “මේ කාරණය විස්තරාත්මකව පරීක්ෂා කිරීම සඳහා රජය විවිධ අංශවල විශේෂඥයින්ගෙන් සමන්විත ඉහළ කමිටුවක් පිහිටුවනවා” ඔහු තවදුරටත් පැවසීය.
Boeing හි විශේෂඥයින් කණ්ඩායමක් මෙන්ම තවත් බොහෝ විදේශීය විශේෂඥයින්ද වැඩිදුර පරීක්ෂණ සඳහා ඉන්දියාව බලා යාමට සූදානමින් සිටියි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මෙන්ම විදෙස් රටවල් රැසක නායකයෝද අනතුර සම්බන්දයෙන් සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.