ඕස්ට්‍රේලියාවේ පළමු කක්ෂීය රොකට්ටුව වන Gilmour Space හි ‘Eris’, එහි ඓතිහාසික මංගල දියත් කිරීමේදීම අසාර්ථක වුණා. රොකට්ටුව එතරම් දුරක් හෝ දිගු කාලයක් පියාසර නොකළත්, එරිස් අලුත් ඉතිහාසයක් සටහන් කරන්න සමත් වුණා.
Gilmour Space සමාගම ඊයේ (ජූලි 29), එහි සුවිශේෂී සන්ධිස්ථානයක් පසු කරමින්, දේශීය ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙ.ව. 8:35 (2235 GMT) ට පමණ වෙරළබඩ ක්වීන්ස්ලන්තයේ Bowen Orbital Spaceport එකේ සිට තම පළමු Eris රොකට්ටුව අහසට යැව්වා.
Eris එතරම් දුරක් නම් ගියේ නැහැ. rocket එක pad එකෙන් නැඟී ටික වේලාවකට පස්සේ පැත්තකට ලිස්සා යාමට පටන් ගත් අතර, liftoff එකෙන් තත්පර 14 කට පසු නැවත පෘථිවියට කඩා වැටුණා. එය කැලිෆෝනියා සමාගමක් වන Astra විසින් සිදු කරන ලද තුන්වන කක්ෂීය දියත් කිරීමේ උත්සාහයට සමාන බවක් පෙනෙන්නට තිබුණා. එයත් 2021 අගෝස්තු මාසයේදී pad එකෙන් පැත්තකට ලිස්සා යාමක් පෙන්නුම් කළා.
මොනවා වුනත් මෙම ප්‍රතිඵලය අනපේක්ෂිත දෙයක්නම් නෙවෙයි. මොකද රොකට්ටුවක පළමු එසවීමම සාර්ථක වීම දුර්ලභ නිසා. ඒ අනුව Gilmour Space ද මෙහි සම්පූර්ණ සාර්ථකත්වයක් අපේක්ෂා කර තිබුනේ නැහැ.
දියත් කිරීමෙන් පසුව Gilmour Space ශුභවාදී සටහනක් තබා තිබුණා. “අද, Eris ඕස්ට්‍රේලියානු භූමියෙන් දියත් කළ පළමු #AustralianMade orbital rocket එක බවට පත්විය – පියාසැරි කාලය ~14s, engine burn 23s. දියත් කිරීමේ හැකියාව සඳහා විශාල පියවරක්. කණ්ඩායම ආරක්ෂිතයි, දත්ත ලේකතු වුණා, TestFlight 2 කෙරෙහි අවධානය” යනුවෙන් liftoff ඡායාරූප දෙකක් ද එකතු කල X සටහනකින් පැවසුවා.
ඕස්ට්‍රේලියානු අභ්‍යවකාශ ගවේෂණයේ ඉදිරි පියවර වඩාත් සාර්ථක වේවි යැයි අපි විස්වාස කරමු.