ඕස්ට්‍රේලියාවේ මුල් ළමාවිය අධ්‍යාපනය සහ රැකවරණය කියන්නේ මොකද්ද, මේකට දායක වෙන පුද්ගලයින් කවුද, සහ මෙහි වැදගත්කම ගැන අපි කලින් කතා කළා. පෙර පාසල් තුළ සිදුවන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සහ මෙය දරුවන්ගේ ළමා විය සංවර්ධනයට බලපාන ආකාරය ගැනයි අද කතා කරන්න හදන්නේ.
මෙම පෙර පාසල් ඕස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත සහ ප්‍රදේශ තුළ preschool, kindergarten වැනි විවිධ නම් වලින් හඳුන්වනවා. මේ හැම එකක් තුලම කෙරෙන්නේ මුල් ළමාවිය අධ්‍යාපනය සහ රැකවරණය ලබා දීම.
පෙර පාසල් එහෙමත් නැත්නම් kindergarten, දරුවන්ගේ කුසලතා සංවර්ධනයට විව්ධාකාරයෙන් උපකාර කරනවා. නිදසුනක් වශයෙන් පෙර පාසල් තුළදී දරුවන් ඔවුන්ගේ සංඛ්‍යාත්මක කුසලතා සහ සාක්ෂර කුසලතා වර්ධනය කර ගැනීම ආරම්භ කරනවා. පෙර පාසල් කාලය තුළ සෙසු දරුවන් සහ වැඩිහිටියන් සමඟ සෙල්ලම් කිරීමෙන්, විවිධ ක්‍රියාකාරකම් කිරීමෙන් සන්නිවේදනය සහ සමාජ කුසලතා වැඩි දියුණු කර ගන්නා අතරම නව මිතුරන් සහ නව සබඳතා වර්ධනය කරගැනීමටත් දරුවන්ට අවස්ථාව ලැබෙනවා.
නැටුම් සහ නාට්‍ය වැනි ක්‍රියාකාරකම් හරහා ශාරීරයේ ප්‍රධාන මාංශ පේශී යෝග්‍යතාව වර්ධනය කිරීමට කටයුතු කෙරෙන අතර චිත්‍ර ඇඳීම, කතුරු භාවිතය වැනි අත්වැඩ හරහා සියුම් මාංශ පේශීවල ක්‍රියාකාරිත්වය වර්ධනය වෙනවා. මේ ක්‍රියාකාරකම් දරුවන් තුළ ස්වයං නියාමනය, ගැටළු විසඳීම සහ විවේචනාත්මක චින්තන කුසලතා වර්ධනය උපකාර කරනවා.
Kindergarten වෙත දරුවා ඇතුලත් කිරීම තුළින් තමන්ගේ දේවල් රැකබලා ගැනීම, නිවසින් බැහැරව කාලය ගත කිරීම වැනි දේවල් වලට දරුවා ටිකෙන් ටික හුරු වන අතර වගකීම් දැරීම, ස්වාධීනත්වය, විශ්වාසය සහ ස්වයං වටිනාකම වර්ධනය කරගැනීමට පුරුදු වෙනවා. මෙම සියලු තත්ත්ව සමග පෙර පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කරන දරුවා පාසල් අධ්‍යාපනයට හොඳින් සූදානම්.
පෙර පාසල්/ kindergarten තුළ ඉගැන්වීම් කටයුතු සිදු වන්නේ කොහොමද?
පෙර පාසල් යනු ක්‍රීඩාව මත පදනම් වූ ඉගෙනීමයි. කලින් කියපු කුසලතා වර්ධනය වෙන විදිහට පෙර පාසල් අධ්‍යාපනය විවිධ පරිසරයන් තුළ විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ ලබා දෙනවා.
පෙර පාසල් තුල ඉගැන්වීම් වැඩසටහන් ගෘහස්ථ සහ එළිමහන් ක්‍රීඩා, තනි සහ කණ්ඩායම් ක්‍රීඩා සඳහා ද අවස්ථාව ලබා දෙනවා. මෙම විවිධ අත්දැකීම් දරුවන්ට තමන්ගේම රුචිකත්වයන් ගවේෂණය කිරීමට සහ තමන්ටම අනන්‍ය වූ වේගයකින් වර්ධනය වීමට ඉඩ සලසනවා.
ගෘහස්ථ ඉගෙනුම් ක්‍රියාකාරකම් වලට ඇතුළත් වන්නේ;
- චිත්‍ර ඇඳීම සහ පාට කිරීම
- සරල ප්‍රහේලිකා සෑදීම වැනි ක්‍රීඩා
- ඉදිකිරීම් සහ නිර්මාණ (blocks හෝ Lego වැනි)
- පොත්
- නාට්‍යමය සෙල්ලම්
- මැටි වර්ග වලින් කරන සියුම් නිර්මාණ (playdough play)
- නර්තනය, ගායනය වැනි කටයුතු සඳහා digital තාක්ෂණය භාවිතය
- මනඃකල්පිත ක්‍රීඩා
එළිමහන් ඉගෙනුම් අත්දැකීම් වලට ඇතුළත් වන්නේ:
- වැලි සෙල්ලම්
- ස්වභාවික පරිසරයේ සෙල්ලම් කිරීම
- ලී වැඩ
- ජල ක්‍රියාකාරකම්
- නාට්‍යමය සෙල්ලම්
- පැද්දීම(swings) සහ නැගීමේ ක්‍රියාකාරකම්
කණ්ඩායම් ඉගෙනුම් ක්‍රියාකාරකම් වලට ඇතුළත් වන්නේ:
- සංගීතය
- චලන
- නැටුම්
- ගායනය
- නාට්‍ය
- කතන්දර කීම
- කණ්ඩායම් රැස්වීම්
මෙම සියලු ක්‍රියාකාරකම් දරුවාගේ ශාරීරික මානසික සෞඛ්‍යය වර්ධනය වන ආකාරයට, පුහුණු කාර්යය මණ්ඩලයක් හරහා ලබා දෙනවා. විවිධ පෙර පාසල් වර්ග සහ නිවැරදි පෙර පාසලක් තෝරා ගන්න ආකාරය ඉදිරියේදී කතා කරමු.