අවුරුදු 16 කට පසු එන ගුරු වැඩ වර්ජනය

  • Home
  • /
  • News
  • /
  • අවුරුදු 16 කට පසු එන ගුරු වැඩ වර්ජනය

ක්වීන්ස්ලන්ත ගුරුවරුන් වසර 16 කට පසු පළමු වතාවට, එළඹෙන සතියේ වැඩ වර්ජනයකට යාමට සූදානම් වෙනවා. ඔවුන්ගේ සංගමය එය දක්වා ඇත්තේ සාධාරණ වැටුපක් ලබා ගැනීමේ අවසාන උත්සාහය ලෙසයි. දෙමාපියන්ට කිසිදු දරුවෙකු අධීක්ෂණයකින් තොරව ඉතිරි නොකරන බවට පොරොන්දු වී තිබුණත්, මෙම වර්ජනය සිසුන් මිලියන භාගයකට වඩා බලපානවා.

වැටුප් සම්බන්ධයෙන් ප්‍රාන්ත රජය සමඟ සාකච්ඡා ඇණහිට ඇති බැවින්, ක්වීන්ස්ලන්තයේ ගුරුවරු දහස් ගණනක් එළඹෙන බදාදා, එනම් අගෝස්තු 6 වන දින පැය 24 ක වැඩ වර්ජනයක් පැවැත්වීමට සූදානම්. ක්වීන්ස්ලන්ත ගුරු සංගමයේ (Queensland Teachers’ Union – QTU) ප්‍රකාශකයෙකු පැවසුවේ සාධාරණ වැටුප් ගිවිසුමක් ලබා ගැනීමේ අවසාන උත්සාහය ලෙස සති දෙකක ඡන්ද විමසීමකදී වැඩ වර්ජනයට ඡන්දය දුන් බවයි.

එත් සමගම 2009 වසරෙන් පසු ගුරුවරුන් වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට එළඹෙන පළමු අවස්ථාව මෙය වනු ඇත. රාජ්‍ය ගුරුවරුන් සඳහා නව Enterprise Bargaining Agreement (EBA) එකක් පිළිබඳ සාකච්ඡා සඳුදා දින, රජය විසින් Industrial Relations Commission (IRC) වෙත යොමු කරන ලද අතර එහිදී කිසිදු එකඟතාවකට එළඹීමට නොහැකි වුණා.

ඒ අනුව පැවැත්වෙන මෙම වැඩ වර්ජනය රාජ්‍ය ප්‍රාථමික සහ උසස් පාසල්වල සිසුන් 570,000 කට පමණ බලපානවා. බදාදා දින තම දරුවන් නිවසේ තබා ගන්නා ලෙස සංගමය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියත්, පාසල් යාමට සිදුවුවහොත් කිසිදු දරුවෙකු අධීක්ෂණයකින් තොරව නොතබන බවත් ඔවුන් පැවසුවා. එදින නිල විෂය මාලාව ඉගැන්වීම සිදු වන්නේ නැහැ.

පසුගිය මාසයේ රාජ්‍ය අයවැය දිනයේදී පාසල් වේලාවෙන් පසු බ්‍රිස්බේන් හි ක්වීන්ස්ලන්ත පාර්ලිමේන්තුව ඉදිරිපිට ගුරුවරුන් සිය ගණනක් පෙළ ගැසී වඩා හොඳ වැටුප් සහ කොන්දේසි ඉල්ලා සිටියා. ලබන මූල්‍ය වර්ෂයේදී 3% ක වැටුප් වැඩිවීමක් සහ 2026 සහ 2027 දී 2.5% ක වැඩිවීමක් ලෙස  අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් යෝජනා කළ වැටුප් දීමනාවත් සංගමය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025