Film බලපු වරදට මරණ දඬුවම ලබපු සංඛ්‍යාව ඉහළට

  • Home
  • /
  • News
  • /
  • Film බලපු වරදට මරණ දඬුවම ලබපු සංඛ්‍යාව ඉහළට

උතුරු කොරියානු රජය මරණ දඬුවම වැඩි වැඩියෙන් ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතීන්ගේ ප්‍රධාන වාර්තාවකින් සොයාගෙන ඇති අතර, විදේශීය චිත්‍රපට සහ රූපවාහිනී නාට්‍ය නරඹන සහ බෙදා ගන්නා පුද්ගලයින්ට මෙය ප්‍රධානවම බලපා තිබෙනවා.

ජනතාව ලෝකයෙන් බොහෝ දුරට වෙන් කර තබන ඒකාධිපති පාලනය, එහි ජනතාව බලහත්කාරයෙන් වැඩ කිරීමට යොදා ගන්න අතරම ඔවුන්ගේ නිදහස තවදුරටත් සීමා කරන බව වාර්තාව වැඩිදුරටත් පවසනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය අනාවරණය කරගෙන ඇත්තේ පසුගිය දශකය තුළ උතුරු කොරියානු රජය පුරවැසියන්ගේ ජීවිතයේ සියලු අංශ කෙරෙහි පාලනය දැඩි කර ඇති බවයි.

“අද ලෝකයේ වෙනත් කිසිදු ජනතාවක් එවැනි සීමාවන් යටතේ නැහැ” යනුවෙන් එය නිගමනය කරන බවත්, ඔත්තු බැලීම වඩා පුළුල් වී ඇති බවත්, තාක්ෂණයේ දියුණුව ඒ සඳහා යම් ආකාරයකට උදව් වී ඇති බවත් එහි සඳහන් වුණා.

මෙම තත්ත්වය දිගටම පැවතුනහොත්, උතුරු කොරියානුවන් මෙතරම් කාලයක් තිස්සේ විඳදරාගත් දුක් වේදනා, කුරිරු මර්දනය සහ බිය තව තවත් වර්ධනය වනු ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් Volker Türk පැවසුවා.

පසුගිය වසර 10 තුළ උතුරු කොරියාවෙන් පැන ගිය පුද්ගලයින් සමඟ කළ සම්මුඛ සාකච්ඡා 300 කට වැඩි ප්‍රමාණයක් මත පදනම් වූ මෙම වාර්තාවෙන්, මරණ දඬුවම බොහෝ විට භාවිතා කරන බව සොයා තිබෙනවා.

2015 සිට අවම වශයෙන් නව නීති හයක් හඳුන්වා දී ඇති අතර එමඟින් දඬුවම ක්‍රියාත්මක කිරීමට ඉඩ සලසනවා. දැන් මරණ දඬුවම නියම කළ හැකි එක් අපරාධයක් වන්නේ චිත්‍රපට සහ රූපවාහිනී නාට්‍ය වැනි විදේශීය මාධ්‍ය අන්තර්ගතයන් නැරඹීම සහ බෙදා ගැනීමයි. මේ හරහා මිනිසුන්ට තොරතුරු වෙත ප්‍රවේශය සාර්ථකව සීමා කිරීමට කටයුතු කර තිබෙනවා.

2020 සිට විදේශීය අන්තර්ගතයන් බෙදා හැරීම සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති බව පලාගිය අය එක්සත් ජාතීන්ගේ පර්යේෂකයන්ට පවසා තිබෙනවා. ජනතාව තුළ බිය ඇති කිරීමට සහ නීතිය කඩ කිරීම සඳහා ඔවුන් අධෛර්යමත් කිරීමට ප්‍රසිද්ධියේ වෙඩි තැබීමේ කණ්ඩායම් මගින් මෙම මරණ දඬුවම ක්‍රියාත්මක කරන ආකාරය ඔවුන් විස්තර කර තිබෙනවා.

2023 දී පලාගිය Kang Gyuri, BBC වෙත පවසා තිබුණේ දකුණු කොරියානු content සමඟ හසු වීමෙන් පසු ඇගේ මිතුරන් තිදෙනෙකු මරා දැමූ බවයි. මරණ දඬුවම නියම වූ 23 හැවිරිදි මිතුරෙකුගේ නඩු විභාගයකට ඇය සහභාගී වී තිබුණා.

“ඔහු මත්ද්‍රව්‍ය අපරාධකරුවන් සමඟ නඩු විභාගයට ලක් වුණා. මෙම අපරාධත් දැන් එලෙසම සලකනු ලබනවා” යයි පැවසූ ඇය කියා ඇත්තේ 2020 සිට මිනිසුන් වඩාත් බියට පත්ව ඇති බවයි.

2011 දී වත්මන් නායක කිම් ජොන් උන් බලයට පත් වූ විට, ඔහු පොරොන්දු වූ පරිදි, තමන්ගේ ජීවිත යහපත් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වූ බව ඇතැම් අය පවසා තිබුණා.

නමුත් 2019 දී කිම් බටහිර හා ඇමරිකා එක්සත් ජනපදය සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලින් වැළකී, ඔහුගේ ආයුධ වැඩසටහන කෙරෙහි අවධානය යොමු කළ දා සිට, ජනතාවගේ ජීවන තත්වයන් සහ මානව හිමිකම් පිරිහී ගොස් ඇති බව වාර්තාවෙන් සොයා ගෙන තිබෙනවා.

සම්මුඛ සාකච්ඡාවට ලක් වූ සෑම කෙනෙකුම පාහේ කියා සිටියේ ඔවුන්ට කෑමට ප්‍රමාණවත් තරම් ආහාර නොමැති අතර දිනකට ආහාර වේල් තුනක් ලබා ගැනීම සුඛෝපභෝගී බවයි. බොහෝ පලා ආ අය පැවසුවේ කොවිඩ් වසංගතය අතරතුර, දැඩි ආහාර හිඟයක් පැවති අතර, රට පුරා ජනතාව කුසගින්නෙන් මිය ගිය බවයි.

ඒ සමඟම, රජය විසින් අවිධිමත් වෙළඳපොළවල් මර්දනය කළ අතර, ඔවුන්ට ජීවත්වීම දුෂ්කර වී තිබෙනවා. චීනය සමඟ දේශ සීමාව දිගේ පාලනයන් දැඩි කිරීමෙන් සහ දේශසීමාව තරණය කිරීමට උත්සාහ කරන අයට වෙඩි තැබීමට හමුදාවන්ට නියෝග කිරීමෙන් රටින් පැන යාම පවා කළ නොහැකි වී තිබෙනවා.

“කිම් ජොන් උන්ගේ මුල් කාලයේ අපට යම් බලාපොරොත්තුවක් තිබුණා, නමුත් ඒ බලාපොරොත්තුව වැඩි කල් පැවතුනේ නැහැ,” 2018 දී වයස අවුරුදු 17 න් පලා ආ එක් තරුණියක් පැවසුවා. “රජය ක්‍රමයෙන් මිනිසුන්ට ස්වාධීනව ජීවත් වීම අවහිර කළ අතර, ජීවත්වීමම දෛනික වධහිංසාවක් බවට පත් වුණා” යනුවෙන් ඇය පර්යේෂකයන්ට සාක්ෂි දී තිබුණා.

වාර්තාවෙන් හෙළි වී ඇත්තේ රජය දශකයකට පෙර තත්ත්වයටත් වඩා බලහත්කාර ශ්‍රමය භාවිතා කරන බවයි. ඉදිකිරීම් හෝ පතල් කැණීම් ව්‍යාපෘති වැනි ශාරීරික වශයෙන් දුෂ්කර කාර්යයන් සම්පූර්ණ කිරීම සඳහා දුප්පත් පවුල්වල පුද්ගලයින් “shock brigades” සඳහා බඳවා ගනු ලබනවා.

කම්කරුවන් බලාපොරොත්තු වන්නේ මෙය ඔවුන්ගේ සමාජ තත්ත්වය වැඩිදියුණු කරනු ඇති බවයි. නමුත් වැඩ අනතුරුදායක වන අතර මරණ බහුලව දක්නට ලැබෙනවා. මෑත වසරවලදී එය අනාථ දරුවන් සහ වීදි දරුවන් දහස් ගණනක් පවා බඳවා ගෙන ඇති බව වාර්තාව දක්වනවා.

මෙම නවතම පර්යේෂණය 2014 දී එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසමේ වාර්තාවක් අනුගමනය කරමින් සකසා තිබෙනවා. එමඟින් පළමු වරට උතුරු කොරියානු රජය මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සිදු කරන බව සොයා ගෙන තිබෙනවා. වඩාත් දරුණු මානව හිමිකම් උල්ලංඝනයන් කිහිපයක් රටේ කුප්‍රකට දේශපාලන බන්ධනාගාර කඳවුරුවල සිදුවන බව සොයා ගන්නා ලද අතර, එහිදී මිනිසුන් ජීවිතාන්තය දක්වා සිර කිරීමට සහ “අතුරුදහන්” කිරීමට හැකියි.

මෙම 2025 වාර්තාවෙන් පෙනී යන්නේ මෙම කඳවුරුවලින් අවම වශයෙන් හතරක් තවමත් ක්‍රියාත්මක වන අතර සාමාන්‍ය බන්ධනාගාරවල රැඳවියන් තවමත් වධහිංසාවට හා අපයෝජනයට ලක්වෙමින් සිටින බවයි.

බොහෝ පලාගිය අය පැවසුවේ සිරකරුවන් අයහපත් සැලකිලි, අධික වැඩ සහ මන්දපෝෂණය හේතුවෙන් මිය යන ආකාරය තමන් දුටු බවයි. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ආරක්ෂකයින්ගේ ප්‍රචණ්ඩත්වයේ සුළු අඩුවීමක් ඇතුළුව පහසුකම්වල සමහර සීමිත වැඩිදියුණු කිරීම් ගැන තොරතුරු ලැබී තිබුණා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය Hague හි ජාත්‍යන්තර අපරාධ අධිකරණයට තත්වය ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිනවා.

කෙසේ වෙතත්, මෙය සිදුවීමට නම්, එය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් යොමු කළ යුතුයි. නමුත් 2019 සිට, එහි ස්ථිර සාමාජිකයන් දෙදෙනෙකු වන චීනය සහ රුසියාව උතුරු කොරියාවට නව සම්බාධක පැනවීමේ උත්සාහයන් නැවත නැවතත් අවහිර කර තිබෙනවා.

පසුගිය සතියේ, කිම් ජොන් උන් බීජිං හි පැවති හමුදා පෙළපාලියකදී චීන නායක ෂී ජින්පිං සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ එක් වුණා.

ජාත්‍යන්තර ප්‍රජාවට මේ සම්බන්ධව ක්‍රියා කරන ලෙස ඉල්ලා සිටින අතරම, එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියානු රජයෙන් ඉල්ලා සිටින්නේ එහි දේශපාලන බන්ධනාගාර කඳවුරු අහෝසි කරන ලෙසත්, මරණ දඬුවම භාවිතා කිරීම අවසන් කර එහි පුරවැසියන්ට මානව හිමිකම් පිළිබඳව උගන්වන ලෙසත්ය.

“අපගේ වාර්තාකරණයෙන් පෙනී යන්නේ, විශේෂයෙන් (උතුරු කොරියාවේ) තරුණයින් අතර වෙනසක් සඳහා පැහැදිලි හා දැඩි ආශාවක් ඇති බවයි” එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී Türk මහතා පැවසුවා.

Don't forget to share this post!

Recent Posts

498
October 15, 2025