කලින් article series 2කින් අපි කිව්වා ඕස්ට්‍රේලියාවේ සිටම ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හරහා උපත් ලියාපදිංචි කරන ආකාරය සහ මරණ ලියාපදිංචි කරන ආකාරය ගැන හැමදේම පියවරෙන් පියවර.
ඒ ගැන දැනගන්න කැමතිනම් පහත දීලා තිබෙන links වලින් ගිහින් ඔයාට ඒ හැමදේම කියවන්න පුළුවන්.
ලංකාවෙන් පිටත සිට උපත සහ පුරවැසිභාවය ලියාපදිංචි කිරීමට අවශ්‍ය හැමදේම :
https://sannasa.com.au/archives/8007
ඕස්ට්‍රේලියාවේ සිට මරණයක් ලියාපදිංචි කරන විදිහ පියවරෙන් පියවර :
https://sannasa.com.au/archives/9574
අද සිට අපි කතා කරන්නේ ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවේ විවාහයක් ලියාපදිංචි කරන ආකාරය ගැන.
ශ්‍රී ලංකාවෙන් පිටත විවාහ ලියාපදිංචි කිරීම
1988 ශ්‍රී ලංකා විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත යටතේ ඔයාගේ විවාහය ලියාපදිංචි කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හරහා ලබා දෙනවා.
විවාහ ලියාපදිංචි කිරීම සඳහා අයදුම් කරන්න නම්, අවම වශයෙන් විවාහ වෙන දෙදෙනාගෙන් එක් අයෙක්වත් ශ්‍රී ලාංකික පුරවැසියෙක් හෝ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියෙක් විය යුතුයි. ඒ වගේම විවාහය ලියාපදිංචි කිරීම සඳහා වන අයදුම්පත එම පාර්ශ්වය විසින්ම ඉදිරිපත් කිරීමත් අවශ්‍යයි.
මේ සඳහා අදාළ වෙන වෙනත් කොන්දේසි වන්නේ;
- විවාහ වන දෙදෙනාම ඔවුන්ගේ අවසන් උපන්දිනය වන විට වයස අවුරුදු දහඅට (18) හෝ ඊට වැඩි විය යුතුයි.
- විවාහ වෙන දෙදෙනාට කිසිදු ආකාරයක නීතියෙන් තහනම් කර ඇති සම්බන්ධතාවයක් නොතිබිය යුතුයි.
- විවාහ වන අවස්ථාව වන විට වලංගු වන, කිසිදු නීත්‍යානුකූල විවාහයකට එළඹ නොතිබිය යුතුයි.
- Marriage notice එක ඉදිරිපත් කරන අවස්ථාව වන විට අයදුම්කරුවන් අවම වශයෙන් දින 10 ක් ඕස්ට්‍රේලියාවේ ජීවත් වී තිබිය යුතුයි.
- සාක්ෂිකරුවන් වයස අවුරුදු 18 හෝ ඊට වැඩි අය විය යුතුයි. marriage notice (Notice of Marriage) එක සඳහා අත්සන් කරන සාක්ෂිකරුවන් විවාහ ලියාපදිංචි කිරීමේ සාක්ෂිකරුවන්ට (registration of marriage) සමාන හෝ වෙනස් විය හැකියි.