ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායලයෙන් පිටවීමට සහය ලබාදීමට සූදානම්

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායලයෙන් පිටවීමට සහය ලබාදීමට සූදානම්

ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය ඕනෑම අවස්ථාවක එරටින් පිටවීම සඳහා තානාපති කාර්යාලය සියලු පහසුකම් සැලසීමට සූදානම් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.ඔහු සඳහන් කළේ, ඊයේ (19) දිනයේ පමණක් ශ්‍රී ලංකාව බලා පිටත්වීමට බලාපොරොත්තු වූ පුද්ගලයින් සිව්දෙනෙකුට පහසුකම් ලබාදීම සිදුකර ඇති අතර, එරට නිවාඩු දිනයන් වන අද (20) සහ හෙට (21) ද තානාපති කාර්යාලය විවෘතව පවතින බවයි.

එසේම, ජුනි 19 වන දින උදෑසන 7.15 සිට 7.30 දක්වා විනාඩි 15ක් තුළ ඊශ්‍රායලයේ නාගරික කලාප කිහිපයකට ඉරාන විසින් බැලස්ටික් මිසයිල 24ක් එල්ලකර ඇති බවද තානාපතිවරයා පැවසීය. එම මිසයිලවලින් එකක් කෙන්යානු, ඔස්ට්‍රියන් සහ ලිතුවේනියන් තානාපති කාර්යාල පිහිටි ගොඩනැගිල්ල ආසන්නයේදී පුපුරා ගොස් ඇත.මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කෙන්යානු විදේශ අමාත්‍යාංශයද නිවේදනයක් නිකුත් කර තිබේ. ජාත්‍යන්තර නීතියට අනුව විදේශ දූත මණ්ඩල ආරක්ෂා කිරීම සෑම පාර්ශවයකටම වගකීමක් බව එම අමාත්‍යාංශයේ ප්‍රධාන ලේකම් කොරිර් සිං’ඕයි පවසා ඇති බවද තානාපතිවරයා පැවසීය.තවද, ඉරාන විසින් බියර්ෂෙබා හි පිහිටා ඇති ඊශ්‍රායලයේ විශාලතම රෝහල වන සොරොකා රෝහලටද මිසයිල ප්‍රහාරයක් එල්ල වී ඇති බව නිමල් බණ්ඩාර මහතා තවදුරටත් සඳහන් කළේය. මෙම ප්‍රහාරයෙන් රෝහල් ගොඩනැගිලි රැසක් හානි සිදුවී ඇති අතර බොහෝ දරුවන් හා රෝගීන් තුවාල ලබා ඇති බවත් ඔහු පැවසීය. මෙහි ප්‍රතිකාර ලබන්නේ ගාසා තීරයේ සිට පැමිණි පලස්තීන රෝගීන්ද වන අතර, මාස 20ක පමණ කාලයක සිට ඔවුන් රෝහල ආසන්නයේ නවාතැන් ගෙන සිටින බවද සඳහන් කළේය.මෙම ප්‍රහාරවලදී එක් ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබා ඇති අතර ඇගේ තත්ත්වය බරපතල නොවන බවද තවදුරටත් දැනුම් දෙනු ලැබිණි.

ඊශ්‍රායලයේ පවතින යුධමය තත්ත්වය සහ නිවාඩු කාලය සමඟ ශ්‍රී ලංකාව බලා පිටවීමට බලාපොරොත්තු වූ පුද්ගලයින් හතරදෙනෙකු තානාපති කාර්යාලයට පැමිණ තිබේ. ඔවුන්ගෙන් එක් අයෙකු ආපසු පැමිණීමට බලාපොරොත්තු වන අතර, අනෙකුත් තිදෙනා එවැනි බලාපොරොත්තුවක් නොදක්වන බවද තානාපතිවරයා පැවසීය.එම පුද්ගලයින්ට ඊශ්‍රායලයේ එලාට් නගරය හරහා ඊජිප්තුවේ ටබා දේශසීමාව මඟින් කයිරෝ ගුවන්තොටුපලට යාම සඳහා අවශ්‍ය ලියකියවිලි ලබාදීම සිදුකර ඇත. මෙය ඊජිප්තුවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දන්වා ඇති අතර, එම කාර්යාලය ඔවුන් සම්බන්ධීකරණය කරමින් අදාළ ඊජිප්තු නිලධාරීන්ට ද තොරතුරු යොමු කරමින් කටයුතු කරයි.

එමෙන්ම, පවතින තත්ත්වය සම්බන්ධව අසත්‍ය තොරතුරු ඇතුළත් හඬපට ශ්‍රී ලාංකිකයන් කීපදෙනෙකු විසින් තම හිතවතුන් වෙත යවා ඇති බවද තානාපතිවරයා හෙළි කළේය. මෙවැනි විශ්වාසය නැති කරන තොරතුරු ව්‍යාප්ත කිරීමෙන් වලකින ලෙසත්, ඊශ්‍රායල ආරක්ෂක අංශ, PIBA ආයතනය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු ලබාදෙන බවත් අවධාරණය කළේය.

අද (2025 ජුනි 20) දිනය නිවාඩු දිනයක් වුවද, තානාපති කාර්යාලය විවෘතව පවතින අතර, ශ්‍රී ලංකාව බලා පිටවීමට බලාපොරොත්තු වන පිරිසට හෝ රාජකාරිමය කටයුතු සඳහා අවශ්‍ය අයදුම්කරුවන්ට එයට පැමිණිය හැකි බවද තානාපතිවරයා අවසන් වශයෙන් පැවසීය. වැඩිදුර උපදෙස් සඳහා ශ්‍රී ලාංකිකයන්ට ලබාදී ඇති දුරකථන අංක මඟින් සම්බන්ධ විය හැකියි.

Don't forget to share this post!

Recent Posts

elon musk
July 2, 2025