මීට වසර 11කට පෙර මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 239 දෙනකු සමඟ අතුරුදන් වූ MH 370 මැලේසියානු ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් යළි ආරම්භ කිරීමට ඇමරිකාවේ ඕෂන් ඉන්ෆිනිටි නමැති සමාගමක් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන තෙක් අබිරහසක් බවට පත්වී ඇති මැලේසියානු ගුවන් යානය සෙවීමේ නව මෙහෙයුම් ලබන මස ජාත්‍යන්තර කාන්තා දිනයට පෙර ආරම්භ කරන බව ඕෂන් ඉන්ෆිනිටි සමාගම ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ඕෂන් ඉන්ෆිනිටි සමාගම ඉන්දීය සාගරයේ වර්ග කිලෝමීටර් 15,000ක වපසරියක් ආවරණය කරමින් ගුවන් යානය සෙවීමේ නව මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලසුම් කර ඇති අතර ඒ සඳහා මැලේසියානු රජය සමඟ මාස 18ක ගිවිසුමකට ද අත්සන් තබා ඇතැයි වාර්තා වේ. සොයා ගැනීමට නොහැකි වුවහොත් මුදල් නොගෙවීමේ පදනම මත ගිවිසුම අත්සන් කර ඇති බවත්, ගුවන් යානයේ කුඩා කොටසක් හෝ සොයා ගැනීමට හැකි වූයේ නම් එම සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 70ක මුදලක් ගෙවීමට මැලේසියානු රජය එකඟ වී තිබේ.
2014 වසරේ මාර්තු 8 වැනිදා මැලේසියාවේ ක්වාල ලම්පූර් ගුවන්තොටුපොළේ සිට චීනයේ බීජිං ගුවන්තොටුපොළ දක්වා පියාසර කළ එම ගුවන් යානය මිනිත්තු 38කට පසුව අතුරුදන් වූ අතර, එය එතෙක් මෙතෙක් ලෝක ගුවන් ගමන් ඉතිහාසයේ විශාලතම අබිරහස් අනතුරක් බවට පත්ව තිබේ.