අපි නොදන්නා අපේ මූලයන්

  • Home
  • /
  • Blog
  • /
  • අපි නොදන්නා අපේ මූලයන්

සංස්කෘතියක් හිමි ව පවතින එක ම සත්ත්වයා වන්නේ මිනිසා ය. මානවයාගේ සංස්කෘතික විකාශන ක්‍රියාවලිය මානවයා ඒ ඒ කාල වකවානු වලදී යොදාගත්තා වු තාක්ෂණය සමඟ බද්ධ වී ඇත. මානව වර්ගයාගේ පරිණාමය කවදා කෙසේ සිදු වී ද යන්න නිශ්චිතව ම පෙන්වා දීමට නොහැකි සේම සංස්කෘතියේ පරිණාමය ද කවදා කෙසේ කොතැනක දී ආරම්භ වූයේ ද යන්න නිශ්චිත ව ම ප්‍රකාශ කළ නො හැකි ය. කෙසේ නමුත් සංස්කෘතිය බැඳී පවතින්නේ මානව පරිණාමය සමඟ ය. මානව පරිණාමයේ හා සංස්කෘතියේ විකාශනය ගොඩනැගීමේ දී එකල සමාජයේ වු තාක්ෂණය එයට සෘජු ලෙස ම අදාළ වී ඇති බව පෙනේ. තාක්ෂණය මඟින් මිනිසාගේ සංස්කෘතික හැකියාවන් හා ජෛවීය හැකියාවන් වර්ධනය කරන අතර පරිසර තත්ත්වයට හා පාරිසරික උපයෝගීතාවයන්ට අනුකූල ව තාක්ෂණය තීරණය වේ. එනම් සාම්ප්‍රදායික දැනුම පරිසරයට අනුකූල ව නිර්මාණය වේ. මිනිසා පරිසරය තුළ සිදුකරන කටයුතු වලින් තාක්ෂණය බිහි වී තාක්ෂණය මගින් සංස්කෘතිය බිහි වේ. මෙම තාක්ෂණය සියලු සමාජ චර්යා හා සමාජ සම්බන්ධතා සමඟ බද්ධ වේ. පරිසරය තුළ වඩාත් තාර්කික ව ජීවත්වන්නට මිනිසා ගන්නා ප්‍රයත්නය තාක්ෂණයෙන් පිළිබිඹු වේ. තාර්කික හැසිරීම අඩු ශ්‍රමයට හා වැඩි ඵලදායීතාවයට හේතුවක් වන අතරම සංස්කෘතිය සම්ප්‍රේෂණය වන වාග් මාලාව තුළින් එම සමාජය සතු තාක්ෂණය නිරූපණය වේ. නිර්මාණ ශීලීත්වය හා නව්‍යජනන ක්‍රියාවලිය තුළින් තාක්‍ෂණය බිහි වේ (Gierer, 2004). ඔස්ට්‍රොලොපිතකස් මානවයාගේ සිට හෝමෝ සේපියන්ස් මානවයා දක්වා සිදු වූ මානව පරිණාම ක්‍රියාවලියේ දී සංස්කෘතික හා තාක්ෂණික වර්ධනය කෙරෙහි සෘජුවම බලපෑ කාරණය වන්නේ මානවයාගේ කපාල ධාරිතාවේ වර්ධනයයි. බාහිර දැනුම උත්තේජනය හා ජාන සැකැස්ම නිසා මොළයේ විවිධ ස්ථාන විවධ අවස්ථා තුළ උත්තේජනය වේ. මෙහි දී සිදුවන හෝමෝන හා රසායනික ක්‍රියාවලියක් නිසා මොළයේ සමහර ස්නායු විශේෂයෙන් වර්ධනය වේ. මානව පරිණාම ක්‍රියාවලියේ දී මිනිසාගේ සිදු වූ මෙම ජෛවීය වෙනස්කම් අනුව තාක්ෂණය ගොඩනැගී ඒ තුළින් සංස්කෘතිය නිර්මාණය විය. සංස්කෘතියක් තුළ යම්කිසි පුද්ගලයෙකු අලුත් ම දෙයක් නිපදවීම නව්‍ය ජනනය ලෙස හදුන්වයි. මේ සඳහා කාල්පනික හැකියාව හා නිර්මාණ ශීලීත්වය බලපානු ලැබේ.වසර මිලියන 4 කට පෙර අප්‍රිකාවේ බිහි වූ ඔස්ට්‍රොලොපිතකස් මානවයා මානව පරිණාමයේ පළමු පුරුකයි (Harrub, Thompson, 2003). නමුත් සංස්කෘතිය යන්න ඔස්ට්‍රොලොපිතකස් මානවයාගේ බිහිවීමත් සමඟ ආරම්භ වූවක් ලෙස හැඳින්වීම පදනම් විරහිතය. තාක්ෂණික සංස්කෘතිය සංවර්ධන මට්ටමකට පත්වූ පසු සංස්කෘතිය නැමැති සංකල්පය ක්‍රම ක්‍රමයෙන් හිස ඔසවන්නට ඇති බව පුරාවිද්‍යාඥයින්ගේ පිළිගැනීම වේ. පදනම් ප්ලයිස්ටොසීන යුගයේ දී බිහිවූ මෙම මානව විශේෂය විසින් සකස්කරනු ලැබූ ආයුධ භාවිත කළේ නැත ඔවුන්ගේ භාවිතය වූයේ ස්වභාවයෙන් ම නිර්මාණය වූ ශිලා ආයුධයි. මේවා ඉතා සරල මෙවලම් ලෙස හඳුනාගත හැකි ය. අදින් වසර මිලියන 2.8 – 1.5 කට පෙර පීවත් වූ හෝමෝ හැබිලිස් මානවයා ප්‍රථම ආයුධ සෑදූ මානවයා වේ. මොහු ජීවත්ව සිට ඇත්තේ පහළ ප්ලයිස්ටොසීන අවධියේ ය (Tobias, 1992). මොවුන් විසින් නිර්මාණය කරනු ලැබූ මෙවලම් ඔල්දුවාන් මෙවලම් (Oldowan tools) ලෙසට හඳුන්වනු ලැබේ. මෙම මෙවලම් ප්‍රමාණයෙන් විශාල වන අතර දැඩි රළු බවකින් යුක්ත වේ. මුලින් ම තැඳුම් ආයුධ නිර්මාණයටත් පසු ව කැපුම් ආයුධ නිර්මාණයටත් ඔවුන් යොමු වී තිබේ. සමාජ චර්යාවන් සඳහා ප්‍රවේශ වූ හෝමෝ හැබිලිස් මානවයා යම් ආකාරයක කථන කටයුතු කිරීමේ හැකියාවකින් ද යුක්ත වූ බවට උපකල්පනය කරනු ලැබේ. මානව පරිණාමීය ක්‍රියාවලියේ මීළඟ පරිණාමීය පුරුක වන්නේ හෝමෝ ඉරෙක්ටස් මානවයාය. අදින් වසර මිලියන 1.9 කට පෙර ජීවත් වූ මොහු පුළුල් ව්‍යාප්තියක් දක්වන පලමු හෝමෝ වර්ගයා වේ. අප්‍රිකාවෙන් බිහි වී ලොව පුරා ව්‍යාප්ත වූ මෙම මානවයා විවිධ ශිලා ආයුධ හා සත්ත්ව අස්ථි වලින් මෙවලම් සෑදූ අතර ඒවා යෝග්‍ය පරිදි භාවිත කර තිබේ. ඔවුන්ගේ ආයුධ ගොනුව ප්‍රදේශ අනුව විවිධත්වයක් දක්වන බව පර්යේෂණ වලින් පැහැදිලි වී ඇත. නැගෙනහිර රට වලදී වැඩි වශයෙන් කෙටීමේ ආයුධ (Chopper tools) භාවිතයට ගෙන තිබු අතර, බටහිර රටවල දී අත්පොරෝ (Hand Axes) භාවිතයට ගෙන ඇත (Rightmire, 1990). සීරීමේ හා කෙටීමේ ආයුධ වඩා පැරණි වුවත් මෙම කාලවකවානුවේ දී අත් පොරව නව තාක්ෂණය අනුව හඳුන්වා දී ඇත. මෙහි දී ආචූලියන් (Acheulean) අත් පොර ව විශේෂ වේ. ප්‍රංශයේ සෙන්ට ඇවු ලියන් ප්‍රදේශයෙන් මෙම හඳුනාගනු ලැබූ නිසා මෙය ආචූලියන් සංස්කෘතිය ලෙසට හදුන්වනු ලැබේ. මෙතෙක් නො දැන සිටි ගින්න නිපදවා ගැනීම මෙම වකවානුවේ දී සිදු වූ සුවිශේෂී සිදුවීමකි. මෙතෙක් කිසිදු පිළිසකර කිරීමකින් තොරව අනුභව කළා වූ ආහාර සකස් කර ගැනීමට ගින්න ඉවහල් කරගනු ලැබූ හෝමෝ ඉරෙක්ටස් ස්වභාව ධර්මයේ බලවේග යන්ගෙන් එල්ලවන තර්ජන වලින් රැකවරණය ලබා ගැනීම සඳහා ද ගින්න භාවිතා කරගනු ලැබී ය. සතුන් මරා ගැනීම සඳහා එක් ස්ථානයකට ඔවුන් කොටුකිරීමට ද ගින්දර භාවිත කර ඇත. නිවහනක ජීවත් වු ප්‍රථම මානව කොට්ඨාශය වන්නේ ද හෝමෝ ඉරෙක්ටස් මානවයා ය. ඔවුන් නිවහන ලෙස තෝරාගෙන ඇත්තේ ස්වභාවික ගල් ගුහාවක් හෝ වෘත භූමියක් ය. කණ්ඩායම් වශයෙන් සාමූහික ව ජීවත්වන්නට ඇතැයි සැළකේ. වාසස්ථාන සාදා ගැනීමේ දී දැව භාවිත කළ බවට ද සාක්ෂි ඇත.

මීට පෙර ජීවත් වූ මානව කොට්ඨාස සතුන් දඩයම් කොට ආහාරයට ගෙන නැත. වෙනත් සතෙකු විසින් මරා දැමුණු හෝ මියගොස් සිටින සතුන් ඔවුන්ගේ ආහාරය විය. නමුත් හෝමෝ ඉරෙක්ටස් මානවයා සතුන් දඩයම් කළ ප්‍රථම මානව කොට්ඨාශය විය. චීනයේ කුෂාන් ප්‍රදේශයේ පිහිටි zhoukoudian ගල් ගුහාවෙන් මොවුන් දඩයමින් ජීවත් වූ බවට සාධක ඇත. පලතුරු සහ ඇට වර්ග ආහාරයට ගත් බවට ද මෙම ගුහාවෙන් සාක්‍ෂි ලැබී ඇත. මොවුන් කොළ ඉති, සත්ත්ව හම් ආදිය ඇඳුම් ලෙස භාවිත කොට තිබෙන්නේ විලි වසා ගැනීමට නොව සීතලින් ආරක්ෂා වීම සඳහා බව උපකල්පනය කරනු ලැබේ. හෝමෝ හැබිලිස් මානවයා යම් යම් කථන හැකියාවන්ගෙන් යුක්ත වූ වත් හෝමෝ ඉරෙක්ටස් මානවයා භාෂාවක් කථා කිරීමේ හැකියාවෙන් යුතු මානවයෙකු බව ඔහුගේ මොල පරිමාව අනුව පුරාවිද්‍යාඥයින් විශ්වාස කරනු ලැබේ. මේ ආදී වූ විවිධ හේතූන් මත හෝමෝ ඉරෙක්ටස් මානවයා වටා උසස් සමාජීය ලක්ෂණ හා සංස්කෘතියක් තිබෙන්න ඇතැයි උපකල්පනය කෙරේ.

මානව පරිණාමයේ මීළඟ පුරුක වන්නේ හෝමෝ සේපියන් නියන්ඩතාල් මානවයා ය. අදින් වසර ලක්ෂ 3-2 කට පෙර සිට වසර 20,000 කට පෙර දක්වා ඔවුන් ජීවත් වී ඇත. හෝමෝ ඉරෙක්ටස් කාණ්ඩයකින් ඔවුන් පරිණාමය වූ බව මානව විද්‍යාඥයින් විශ්වාස කරන අතර, මොවුන්ගේ තාකෂණය වූයේ පැති සීරුම් උපකරණ ප්‍රධාන කර ගත් ක්‍රම වේදයකි. මෙය මුස්ටි‍්‍රයන් (Mousterian) ප්‍රදේශයෙන් හමු වූ නිසා මුස්ටිරියන් සංස්කෘතිය ලෙස හඳුන්වනු ලැබේ. මෙම සංස්කෘතියේ ප්‍රධාන කොටස් තුනකි. එක් පැත්තක පමණක් පතුරු ගැල වූ ශාක පත්‍ර හැඩගත් උල් ආයුධ, පැත්තක පමණක් පතුරු ගැල වු හෙලි ආයුධ, පැත්තක පමණක් පතුරු ගැල වූ අත්පොරෝ මෙහි ප්‍රධාන ගල් ආයුධ වර්ග වේ (Mellars, 1996). මුස්ටි‍්‍රයන් ආයුධ නිෂ්පාදකයින් Levallois තාක්ෂණය භාවිත කර ආයුධ නිෂ්පාදනය කිරීම විප්ලවීය වෙනසක් ලෙසට පිළිගනු ලැබේ. ඇයුරිග් නෙසියන් (Aurignacian tools) නම් මෙවලම් සම්ප්‍රධාය මුස්ටීරියන් සංස්කෘතියේ විකාශනයකි. මුල් ම ආභරණ, සංගීත භාණ්ඩ නිර්මාණය කොට ඇත්තේ නියැන්ඩතාල් මානවයා විසිනි. මොවුන් විසින් සරල කුඩාරම් භාවිත කර ඇත. මළවුන් භූමදානය කිරීමේ මූලිකයන් වූයේ ද නියැන්ඩතාල් මානවයා ය. ඉරාකයේ ශනිදා ගුහාව මේ පිළිබඳ සාක්ෂි සපයයි.

අදින් වසර 10,0000 කට පෙර සිට පරිණාමය වීම ආරම්භ ව වර්තමානය දක්වා ජීවත් වන මානව විශේෂය වන්නේ හෝමෝ සේපියන්ස් මානවයා ය. මොහුගේ බිහි වීම සහ පරිණාමය පිළිබඳ අදහස් දෙකකි. එනම් බහු ප්‍රදේශ වල බිහිවීම සහ ඔවුන් කාලයත් සමඟ මිශ්‍ර වීම හා අප්‍රිකාවේ සම්භවය ලබා එයින් පිටව යෑමේ ໖໖ (Johanson, Donald, 2008). අවස්ථාවේ සිට මානවයා ශාරික පරිණාමයට වඩා සංස්කෘතික පරිණාමයක් පෙන්වයි. මෙකල සමාජ ජීවිතය තරමක් නවීන වූ නමුත් ප්‍රාථමික එකකි. ශාක හා සත්ත්ව ගෘහාශ්‍රිත කරණය, ලෝහ තාකෂණය මඟින් පරිසරය මෙල්ල කිරීම, කාර්මික විප්ලවය, මැටි බඳුන් නිපදවීම, ඇඳුම් මැසීම හෝමෝ සේපියන් පරිණාමයේ මුල් අවස්ථානුගත සිදුවීම් ය. රෝදය නිපදවීම මෙම අවධියේ සිදු වූ වැදගත් සිදුවීමකි. මෙය ඓතිහාසික සමාජයට පදනම විය. වර්තමානයේ සිටිනුයේ හෝමෝ සේපියන් මානවයාගේ උප විශේෂයක් වන හෝමෝ සේපියන් සේපියන් මානව විශේෂයයි. මොවුන්ට පරිසරයට උචිතව භාවිත කිරීමට හා අවශ්‍යතාවයන්ට ගැළපෙන සඳහා මෙවලම් නිෂ්පාදනය කිරීමට හැකි වී ඇත. මව්පියන් හා දරුවන් එක්ව ජීවත් වන න්‍යෂ්ටික පවුල් මොවුන්ගේ සමාජ ඒකකය වේ. ඇදහිලි හා විවිධ භාෂා භාවිතය මොවුන් තුළින් හඳුනාගත හැකි ය. ලේඛණමය හැකියාවන් වැඩිදියුණු වීම හා පරිසරය වෙනස්කිරීමේ හැකියාව මොවුන් සතු වූ බව වර්තමානය වනවිට පරිගණක තාක්‍ෂණය දක්වා මිනිසා දියුණු වීම තුළින් හඳුනාගත හැකි වේ.

 

කේනුර ගීසර 

Don't forget to share this post!

Recent Posts

P5Vqym7
May 20, 2024