ආලින්දය – ආර් පී ආරියරත්න සහ කුමුදු සඳරත්

  • Home
  • /
  • /
  • ආලින්දය – ආර් පී ආරියරත්න සහ කුමුදු සඳරත්

“පේළි පේළි පේළි සැදී ඇත්තු       ඇදෙනවා 

 පේළි පේළි පේළි සැදී නැට්ටුවො       එනවා 

 බෝල බෝල බෝල වගේ එළි කැරකෙනවා 

 අපේ ගමේ විහාරයට පෙරහැර          එනවා” 

ලොකු කුඩා කවුරුත් රසවිඳ ඇති අධිනීතීඥ ඩබ්ලිව් ඒ අබේසිංහයන්ගේ  පද රචනයක් වන මෙම ගීතය තනු නිර්මාණය කොට සංගීතවත් කලේ වාද්‍ය විශාරද ලීලානන්ද රත්නායක සූරීන්. මෙම ගීතය ගායනා කරන්නේ ආර් පී ආරියරත්න රාජපක්ෂ  සහ ෂෙල්ටන් කුමුදු විජිත් සඳරත්. අත්වැල් ගායනයෙන් ගුවන් විදුලියේ ළමා පිටියේ එකල දරුවන් කිහිප දෙනෙක් සහයෝගය දෙනවා. මීට වසර පනස් එකකට  ඉහතදී පටිගතකළ  මෙම ගීතය ගායනා කරන අයගේ තොරතුරු නොදනී යනුවෙන් බොහෝ තැන්වල සඳහන් වෙනවා.මෙම ගීතය ගැයීමට සහභාගී වූ එවකට වයස වසර එකොළහක් පමණ වූ ආර් පී ආරියරත්න ආරියරත්න   කුමුදු විජිත්  කුමුදු සඳරත් නම් දරුවන් අද හැට විය ඉක්මවූ වැඩිහිටියන්. අද සන්නස ආලින්දයට අප ඔවුන් දෙපළට ඇරයුම් කළා..

මම ඔබ දෙපළ ආයුබෝවන් කියල පිලිගන්නවා.

ආයුබෝවන් චිත්‍රාන් 

මම මුලින්ම ආරි ගැන කතා කරන්න කැමතියි. ඔබේ ළමා කාලය පාසැල් කාලය පිළිබඳව කතා කරනවානම්.

මගේ ගෙවල් බියගම වඩුවේගම,මම මුලින්ම ගියේ වඩුවේගම ප්‍රාථමික විද්‍යාලයට. එහෙදි පහේ ශිෂ්‍යත්වය සමත්වෙලා මට කැලණියේ ගුරුකුල විද්‍යාලයට යන්නට අවස්ථාව ලැබුණා. එහෙදිත් සැම විෂයටම වගේ මම දක්ෂකම් පෙන්නපු ශිෂ්‍යයෙක්. ගීත ගායනයටත් මට විශේෂ හැකියාවක් තිබුණා.

ඒ ගායන හැකියාව ඔබට මොන ආකාරයෙන් එන්න ඇති කියලද ඔබ හිතන්නේ?

මගේ සීය හොඳ ගායන හැකියාවක් තිබුණ කෙනෙක්.එයා වයස අවුරුදු සීයකට වඩා ජීවත් වුණා.එයා අවුරුද සීයෙදිත් සර්පිනාව වාදනය කරමින් ගීත ගැයුවා.තවත් වයසට යද්දී එයාට සර්පිනාව බැලෝ කරගන්න අපහසු වුණා. එතකොට අපිට  බැලෝ කරන්න කියල එයා සර්පිනාව වාදනය කරමින් ගීත ගැයුවා. ඒ කාලේ සීයත් එක්ක අපිත් ගීත ගායනා කළා.

පේළි පේළි පේළි සැදී ගීයට ඔබට අවස්ථාව ලැබෙන්නේ  කොහොමද?

ලීලානන්ද රත්නායක සර් අපේ සංගීත ගුරුතුමා. ගුවන් විදුලි සංස්ථාවේ ළමා පිටියේ සංගීත සන්ධ්‍යාව කියන  වැඩ සටහනට ගීතයක් ඉදිරිපත් කරන්න කියල එතුමාට ලැබුණ ආරාධනයකට අනුව මමත් කුමුදුත් ඒ සඳහා තෝරා ගත්තා. අත්වැල් ගායනයට පන්තියේ තවත් සිසුන් කිහිපදෙනකු තෝරාගත්තා. මේ ගීතය අතිශය ජනප්‍රිය වුණා. මේ හේතුව නිසාම සංගීත සංදර්ශන කරන උදවිය ඒවාට මාව එක්කරගෙන යන්න ගෙදර එන්න පටන් ගත්තා. මගේ ඉගෙනීමේ කටයුතු කඩාකප්පල් වෙයි කියල හිතපු මගේ දෙමාපියෝ මම සංගීතය කරනවට කැමතිවුණේ නැහැ. එතැනින් මගේ සංගීත ගමන නිමාවුණා. මගේ අත්  අකුරු ඉතාම ලස්සනයි කියල මාව ඒ දිනවල අත් අකුරු ලිවීමේ තරග වලටත් ඉදිරිපත් කළා.අත් අකුරු  තරගයෙන් මට සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය දිනාගන්නට හැකි වුණා.

පාසැල් ගමනින් පසුව මොනවද වුණේ?

මම සාමාන්‍යපෙළ විභාගය ඉතා ඉහලින් සමත්වුණා.උසස් පෙළ ඉගෙන ගත්තට විභාගයට ලිව්වේ නැහැ. ඔය අතරේ මට බන්ධනාගාර නියාමකවරයෙකු වශයෙන් රැකියාව ලැබුණා.ඒත් එතන රැකියාව කලේ මාසයක් පමණයි. ඉන් පසු මම රන්දෙණිගල ව්‍යාපාරයේ  රියදුරෙක් හැටියට රැකියාවට ගියා.එතැන් පටන් දිගටම රියැදුරු රස්සාවල්  තමයි කලේ.

ඔබේ වැඩිමහල් සහෝදරිය විවාහ වෙලා ඉන්නේ ප්‍රවීණ නිවේදක ධර්මශ්‍රී වික්‍රමසිංහ මහතා සමඟ.ඔබ උරේෂා රවිහාරිගේ මාමා

ඔව් , ධර්මශ්‍රී අයියගෙ ව්‍යාපාරයක් තිබුණා ශාරිකා එන්ටර්ප්‍රිසස් කියල, ගීත කැසට් පට නිෂ්පාදනය කරලා බෙදාහරින ආයතනයක්. කාලයක් මම එතැන බෙදාහැරීම් කටයුතු කළා. පසුව සී ඩී තැටි වල ආගමනයත් සමග එම කටයුතු නතර කරන්නට සිදුවුණා. මම විවාහ වුණේ පාසැල් කාලයේ  ප්‍රේම සම්බන්ධතාවයක් මගින් දැන හඳුනාගත් මා ප්‍රිය බිරිඳ 

සමඟ.එදා ඉඳලම මගේ දුකේදී සැපේදී මගේ ලඟින්ම ඉන්නව ඇය. අපට දියණියන් දෙදෙනෙකුත් පුතෙකුත් සිටිනවා. ඔවුන් සියළු දෙනාම විවාහ වෙලා. පුතා දැන් ඇමරිකාවේ ජීවත්වෙන්නෙ. 

ඔබ ඉන් පසුව ගීත ගායනා කලේ නැද්ද? 

නෑ මම වෙනත් ගීත ගායනා කරලා නැහැ. නමුත් මට ගීත ගයන්න පුළුවන්.

සන්නස පුවත්පත් පාඨකයින්ට රස විඳින්නට අවස්තාව නැතිවුණත් මා කැමතියි ඔබෙන් ගීතයක් අසන්නට 

ආර් පී ආරියරත්න සොඳුරු කලාකරුවාගේ ගීයක් රස විඳීමෙන් අනතුරුව මා කුමුදු විජිත් දෙසට හැරෙනවා.

කුඩාකල සිටම ගායනයට වාදනයට දක්ෂකම් පෑ ඔබ අද ගායන වාදන  විශාරදවරයෙක්.සංගීත ගුරුවරයෙක්. මා කැමතියි ඔබේ ළමා කාලයේ තොරතුරු වලින් කතාබහ අරඹන්නට

මගේ අම්ම කිරිඳිවැල අමිතිරිගල. තාත්ත කිරිබත්ගොඩ ඊරියවැටියේ. අපි පදිංචිවෙලා හිටියෙ ඊරියවැටියේ. මට සහෝදරයො හතරදෙනෙකුයි සහෝදරියො හතරදෙනෙකුයි,දැනට සහෝදරයො ඔක්කොම මියගිහින්. මම ගෙවල් ළඟ ඉස්කෝලෙට පුංචිකාලේ  ගියේ.එහෙදි ශිෂ්‍යත්වය පාස්වෙලා හයේ පන්තියට කැලණියේ ගුරුකුළ විද්‍යාලයට ගියා. එහේ සංගීතය ඉගැන්වුවේ ලීලානන්ද රත්නායක සර්.දවසක් මට එතුමා කිව්වා සින්දුවක් කියන්න කියල. ඒක අහල එතුමා කිව්වා ඔයාට හොඳට තාලය, සෘතිය පිහිටල තියෙනව, ඔයා සංගීතය කරන්න කියල. ඒ අනුව සංගීතය විෂයයක් වශයෙන් ඉස්කෝලෙදි ඉගෙන ගත්තා. ඉන් පසුව  පාසලේ නාට්‍ය වලට සංගීත වැඩසටහන් වලට සම්බන්ධවෙන්නට අවස්ථාව ලැබුණා. අපේ ඉස්කෝලේ කරපු ලබුකිරිබත් කියන නාට්‍යයේ නරියගේ චරිතය කරන්න තෝරගත්තෙ මම. එක ගොඩක් ගීත තිබුණා. මගේ ගායන හැකියාව ඊට ඉවහල් වුණා. මෙම චරිතයෙන් පස්සේ මම ඉස්කෝලෙ හඳුන්වන්න පටන් ගත්තෙ “නරියා” ලෙසින්. ඊට පස්සේ ඉස්කෝලේ ඔක්කොම නාට්‍ය වලට මාව නැතිවම බැරි කෙනෙක් වුණා. ඊට පස්සේ අපිට සමස්ථ ලංකා නාට්‍යය තරඟ වලටත් යන්න අවස්ථාව ලැබුණා . එකෙන් මට සමස්ථ  ලංකා හොඳම නළුවාට හිමි සහතිකය දිනා ගන්නට පුළුවන් වුණා.මම කැලණිය ශාසනාරක්ෂක බලමණ්ඩලයට අයත් දහම් පාසල් අතර  පැවැත්වූ ගායනා තරගයෙන් ප්‍රථම ස්ථානය ලබා ගත්තා. 

එතකොට ඔබ “පේළි පේළි පේළි සැදී ඇත්තු ඇදෙනවා” ළමා ගීතයට සම්බන්ධ වුණේ කොහොමද?

ආරි කිව්වා වගේ අපේ ලීලානන්ද ගුරුතුමාට ගුවන් විදුලියේ ළමා පිටියේ සංගීත සන්ධ්‍යාවට  ලැබුණ අවස්ථාවට අපි දෙන්නා තෝරා ගත්තා.ගීතයේ පහල ස්වර වලින් ගැයෙන  කොටස් ආරිත් ඉහල ස්වර වලින් ගැයෙන කොටස් මමත් ගායනා කළා.ගීතය එදා ඉඳල බෙහෙවින් ජනප්‍රිය වුණා. ඒ නිසාම විවිධ සංගීත ප්‍රසංග සඳහා මට සහභාගී වන්නට සිදුවුණා. පාසැලේ වැඩ අඩාල කරගන්නේ නැතිව මම ඒවාට සහභාගී වුණා. සාමාන්‍ය පෙළ මම හොඳින් සමත්වුණා.උසස් පෙළට මාව තේරුණේ විද්‍යා අංශයට. ඒත් මගේ කැමැත්ත තිබුණේ කලා අංශයෙන් ඉගෙන ගන්න. ඔය අතරේ අපේ සංගීත සර් කැලණිය ධර්මාලෝක විද්‍යාලයට මාරු උනා.ඒ සැරේ සර් එක්ක අපිත් ධර්මාලෝකෙට ගියා. එහෙදිත් අපි නාට්‍ය කළා.මම කලා අංශයෙන් උසස් පෙළ කරලා කැලණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පිඨයට ඇතුලත් වුණා.එහිදී මා ජනසංනිවේදනය සහ හින්දි භාෂාව ඉගෙන ගත්තා. ඒ අතරතුර මම ලීලානන්ද රත්නායක සර්ගෙන් උත්තර භාරතීය සංගීතය හදාරල සංගීත විශාරද උපාධියද ලබා ගත්තා.

ඔබ වේදිකා නාට්‍ය සහ ටෙලිනාට්‍ය රැසක රඟපාලා තියෙනවා

ඔව්,මම එකමුතුව , පරපෝෂිත, දණ්ඩන කඳවුර ,ජම්පරය යන වේදිකා නාට්‍ය වලත් 

සිත්තර ගුරුන්නාන්සේ,රම්‍ය නගරය ,සිටුමැදුර , රතු ලේ කඳුළක් යන ටෙලිනාට්‍ය වලත් රඟපාල තියෙනවා.

දැනට ඔබ මොනවද කරන්නෙ?

සංගීත විශාරද විභාගයට ඉදිරිපත්වන දරුවන්ට උගන්වමින් කාලය ගත කරනවා. ඊට අමතරව වේදිකා නාට්‍ය දර්ශණ  යෙදුණොත් ඒවාට සහභාගී වෙනවා.

සන්නස ආලින්දයට පැමිණීම ගැන ඔබ දෙපලට බෙහෙවින් ස්තුතිවන්ත වන අතර ආයුබෝවන් කියල ඔබට සමුදෙනවා.

ආයුබෝවන් .

සාකච්ඡා කලේ චිත්‍රාන් මොරකන්දෙ ගමගේ

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024