ආලින්දය – නිහාල් නෙල්සන් මහතා සමඟ

  • Home
  • /
  • /
  • ආලින්දය – නිහාල් නෙල්සන් මහතා සමඟ

ආයුබෝවන් 

නිහාල් මහත්මයා මම ඕස්ට්‍රේලියාවේ සන්නස කියන පත්තරෙන් කතා කරන්නෙ

ඔව් මල්ලි මම සන්නස පත්තරේ දන්නවා. මගේ නෑදෑයෝ ගොඩක් ඉන්නවනේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් මල්ලි මොකද්ද උවමනාව.

මම සන්නස පත්තරේ සංස්කාරක. මගේ නම චිත්‍රාන්. අපේ පත්තරේ තියෙනව ආලින්දය කියල පිටුවක්.මේ පිටුවට ඔබතුමාගෙන් සාකච්ඡාවක් ගන්න මම කල්පනා කලා. ඒකට ඔබතුමාගෙන් වෙලාවක් වෙන් කරගන්නයි ඕන

මල්ලී, කිව්වට සමාවෙන්න.මෙහේ තුමාල නැහැ.ඉන්නෙ අයියල. ගුණෙ අයියල වගේ කට්ටිය.අනික් එක මල්ලි එහෙම වෙලාවල් වෙන් කරගන්න ඕන නෑ. අපි මේ සාමාන්‍ය මිනිස්සු. අපි ඉඩ තියෙන වෙලාවට කතා කරමු. මල්ලිට ඕන වෙලාවක කෝල් එකක් දෙන්න.

මම ලංකාවේ ඉන්නෙ අයියේ,මට අයියව හම්බවෙන්න එන්න ඇහැකි

අනේ එහෙනං එන්න මල්ලී ඕන වෙලාවක. ඕන වෙලාවක කිව්වට උදේ වරුවක එන්න මල්ලි, හවසට ප්‍රසංග වලට යන්න තියෙනවනෙ. අපි තේ කෝප්පයක් බිබී කතා කරමු.

මම ලබන සතියෙ එන්නං අයියේ

හොඳමයි මල්ලී…………………..

ඒ ලබන සතිය උදාවුයේ නැත. ඊට පෙර නිහාල් අයියා අප හැර ගියේය………………………..

දුරකතනයෙන් කල සුහද කතාබහ තවමත් මගේ සිතේ දෝංකාර දෙයි.මේ තරම් සුන්දර කලාකරුවෙකු සමඟ මීට පෙර කතාබහ කොට ඇත්දැයි නොසිතෙන තරමට නිහාල් අයියා සමඟ කතා කල ඒ  වචන කිහිපය අතර  මා අතරමං වී සිටිමි. අන්තර් ජාලය හරහා ලබාගත් ඒ උතුම් මිනිසාගේ තොරතුරු බිඳකින් ආලින්දය පිටුව සරහා ලමි.

 “ලස්සනට පිපුණු වනමල්  ගල්පීරන දියවැල් 

මං ආස කරන මැණික් කැටේ නිල් 

දුර  ඈත කැලේ ගල්ගුහාවක ගෙවනව කල් 

ලස්සන මගෙ කිරිල්ලි සුරතල්”.

මේ ගීතය 1961 මාර්තු මස 31 වැනිදා  ගුවන්විදුලිය හරහා මුල් වරට  ප්‍රචාරය වී අදට වසර හැටකට වඩා වැඩිය. මෙම ගීය අදටත් ප්‍රබුද්ධ අප්‍රබුද්ධ සුප්‍රබුද්ධ රසිකයෝ අතර එකසේ ජනප්‍රියය.කිසිකලෙක ජනප්‍රියත්වයේ අඩුවක් නොවෙන ගී ගයා ඇති මේ ගායකයා නියත වශයෙන්ම සුප්‍රබුද්ධ ගායකයෙකි.

වරක් මාධ්‍ය වෙත පැමිණි ජෝතිපාල මහතා දැඩි කලකිරීමෙන් යුතුව “අපි ප්‍රබුද්ධ ගායකයො නෙමෙයි මල්ලි අපි පීචං ගායකයොනේ. අපෙන් වැඩක් නෑ” යැයි කියා සිටියේය.එම වැඩසටහනට පසුදිනෙක පැමිණි නිහාල් අයියා පරාජය භාර නොගත්තේය.

 “උගතුන් පිරිසක් වටකරගෙන ඉන්න සමහරු ප්‍රබුද්ධ ගායකයො නම්, රටේ වැඩ කරන ජනතාව සමඟ ඉන්න අපි  සුප්‍රබුද්ධ ගායකයෝ මල්ලී” නිහාල් අයියා නොපැකිලව කීවේය.

කලක් යනතුරු නිහාල් අයියාට සම්මාන කිසිවක් ලැබුණේ  නැතත් ජනතා සම්මානයෙන් ඔහු ඉහලින්ම පිදුම් ලැබුවේය.මේ ඒ පිලිබඳ එතුමාගේ ඔහුගේ අදහසයි.

“ මල්ලී සම්මානයක් කියන්නේ ලී කොටයක් අරගෙන බාස් උන්නැහේ කෙනෙකුට දීල කපල කොටල හදාගන්න එකකට. මම මල්ලී දෙවුන්දර තුඩුවේ ඉඳල පේදුරුතුඩුවට යන අතරතුරේ කොහේදී දැක්කත්  ආ…. නිහාල් අයියා,නිහාල් මල්ලී,නිහාල් පුතා, නිහාල් මහත්තයා කියල මාව පිළිගන්න ගොඩක් කට්ටිය ඉන්නවා.ඒ සම්මානෙම මදිද මල්ලි මට.මගේ හිතවත් නීතිඥ  මහත්තයෙක් ඉන්නවා දක්ෂ ලේඛකයෙක්. ඔහු මුළු ජීවිතයම කැපකලේ දුප්පත් ජනතාව වෙනුවෙන්.ඔහුට සම්මාන ගොඩක් ලැබිල තියෙනවා. ඔහු  මට දවසක් කියනවා නිහාල් මල්ලි මගේ ගෙදර මට හම්බුවෙච්ච සම්මාන ගොඩක් තියෙනවා. මම ඒවායින් කීපයක් අපේ ගෙදර දොරවල් හුළඟට වැහෙනවට අඩේට තියල තියෙනවා.කුහක මිනිස්සු පිහිටුවාගත් සංවිධානවල දෙපැත්තට තුන් පැත්තට බෙදිලා වාද විවාද කරලා සම්මානයක් දෙන්න මාව තෝරාගෙන මේ දීපු සම්මාන මට අඩෙයක් තරමට වැඩිය වටින්නෙ නැහැ නිහාල් මල්ලි. ඒ අතින් ඔයා අවංක මිනිස්සුන්ගෙ හදවතින් ලබන ජනතා සම්මානය මේ අඩ වලට වඩා වටිනවා  නිහාල් මල්ලි”.

“කරුණා සුවඳ තවරාලූ හද පියුමේ

මවගේ සෙනෙහසයි උල්පත සැනසීමේ

දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ

අම්මා කියන්නේ කාටද අද අම්මේ”

උත්තර භාරතීය රාගධාරී සංගීතයේ ආභාෂය සහිත ඉහත ගීතය නිහාල් අයියාගේ අතිවිශිෂ්ඨ  ගායන හැකියාව මැනැවින් පිළිබිඹු කරයි.

පණ්ඩිත් අමරදේවයන්  කෙරේ නිහාල් අයියාගේ ඇත්තේ අසීමිත ගෞරවයෙකි. සංගීතය හා සාහිත්‍යය සම්බන්ධව සුළු දැනුමක් ඇති සුභාවිත ගීත යැයි ඔහු සිතා සිටින පද රචනා කිහිපයක් ලියා ඇති නිවේදකයෙකු වරක් එක රුපවාහිනී වැඩසටහනකදී  අමරදේවයන්ගෙන් මෙසේ ප්‍රශ්ණ කලේ නිහාල් අයියලා වැනි ගායකයින්ගේ පද රචනාවලට අමරදේවයන් ලවා දැඩි ප්‍රහාරයක් එල්ල කරවා ගැනීමේ අදහසිනි.   

  “අද බොහෝ ගීත භාෂාව විකෘති කරලා ගැයෙනවා නේද අමරදේව මහත්මයා ” නිවේදකයා ඇසීය.

 “ඔය සම්බන්ධව මම අර්ථ දක්වන්නේ මෙහෙමයි, වියත් වහර – ජන වහර – පුර වහර කියලා භාෂා ව්‍යවහාර  තුනක් භාවිත වෙනවා. එක් එක්කෙනා ගයන්නෙ එක් එක් වහරින්. ඒ හැම එකක්ම එකතු වෙලා තමයි ගීත සාහිත්‍යය හැදෙන්නේ” සමහර අයට වියත්වහර වැටහෙන්නේ නැහැ.ඔවුන් එම ගීත රස විඳින්නේ අපි හින්දි ගීතයක් අහනවා වගේ. ලංකාවේ බොහෝ අයට පුරවහර තේරෙනවා. ඉතින් එයිනුත් ලාංකීය සංගීත කලාව අලංකාර වෙලා තියෙනවා.

ඉතින් අන්න ඒ කියපු පුර වහර භාවිතා කරලා මනහර – සුන්දර – පලබර පද පිළිවෙළින් ගින්දර වගේ සින්දු කියපු ගායකයා නිහාල් නෙල්සන් අයියා නමැති සුන්දර මිනිසා ශ්‍රී ලාංකේය ගීත සාහිත්‍යයට කල මෙහෙවර ඉතාම වටිනවා”. 

ආලින්දයට මීට පෙර පැමිණි හැමෝටම මම ආයුබෝවන් කියල සමුදුන්නත් ඔබෙන් එසේ සමුගැනීමට නොහැකිවීම ගැන කඳුළින් තෙත්වූ දෙනෙතින් යුතුව, නිහාල් අයියේ මා අදහන ආගමට අනුව ඔබට සුන්දර නිවන් සම්පත්තිය ලැබේවා! යයි ප්‍රාර්ථනා කරනවා.

 

චිත්‍රාන් මොරකන්දෙ ගමගේ

 

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024