කතාවක නොදැක්ක කතාවක් | Agora – A film by Alejandro Amenabar

  • Home
  • /
  • Art
  • /
  • කතාවක නොදැක්ක කතාවක් | Agora – A film by Alejandro Amenabar

Alejandro Amenabar විසින් අධ්‍යක්ෂණය කරන ලද Agora චිත්‍රපටය, ග්‍රීක ඉතිහාසයේ සැබෑවටම ජීවත් වූ දාර්ශනිකයෙක්, ගණිතඥවරියක්, තාරකා විද්‍යාඥවරියක් සහ ගුරුවරියක් වූ Hypatia නම් කාන්තාව වටා ගෙතී ඇත. මෙම චිත්‍රපටයේ කථා වස්තුව ක්‍රිස්තු වර්ෂ 4 වන සියවසේදී ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේදී සිදූ වූ සැබෑ සිදුවීම් ද පාදක කර  ගනිමින් ප්‍රබන්ධනාත්මක කතා වස්තුවක් ලෙස නිර්මාණය කර ඇත. 

Agora යනු ග්‍රීක භාෂාවෙන් ‘පොදු වෙළඳපොළ’ යන්නයි. චිත්‍රපටය තුළින් අධ්‍යක්ෂකවරයා උත්සුක වන්නේ රෝමන් ඊජිප්තුවේ මිථ්‍යාදෘෂ්ටික ආගම (Pagan Religion) සහ නැගී එන ක්‍රිස්තියානි ධර්මය අතර ගැටුමට මුහුණ දීමේදී නිදහස් අදහස්, දැනුම සහ දර්ශනයේ භූමිකාවයි. 

මෙහිදී Hypatia නම් ගැහැණියව භාවිතා කර ඇත්තේ, ඇයව සමීපව ඇසුරු කරන පුද්ගලයන් හරහා විවිධ මානසික මට්ටම් ඇති විවිධ මිනිසුන් විසින් විවිධ සන්දර්භවලදී ඇලෙක්සැන්ඩ්‍රියාවේ කාන්තාවකට සලකන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට බව පැහැදිලි ය. මෙහිදී Hypatia නම් ගැහැණියව භාවිතා කර ඇත්තේ, ඇයව සමීපව ඇසුරු කරන පුද්ගලයන් හරහා විවිධ මානසික මට්ටම් ඇති විවිධ මිනිසුන් විසින් විවිධ සන්දර්භවලදී ඇලෙක්සැන්ඩ්‍රියාවේ කාන්තාවකට සලකන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට බව පැහැදිලි ය.

චිත්‍රපටයක කාන්තාවක් කේන්ද්‍රස්ථානයක් ලෙස තෝරා ගන්නේ මන්ද යත්, කාන්තාවක් කේන්ද්‍රස්ථානයක් වූ විට එම කලා කෘත්‍යය විශේෂ අවධානයක් යොමු කළ යුතු යැයි හැඟෙන, ආකර්ශනීය, හැඟීම්බර සහ අසමසම විෂයයක් බවට පත්වීමයි. එහෙත් මෙම සිනමා කාව්‍යයේ විශේෂත්වය නම්, පැරණි ග්‍රීක නාට්‍යකරුවන් Electra, Antigone, Lysistrata, Trojan Women, Medea යනාදී ලෙස තම නාට්‍ය නම් කළ පරිදි Agora චිත්‍රපටය එක් කේන්ද්‍රීය කාන්තා චරිතයට, එනම් Hypatia ලෙස නම් කර නැති වීමයි. එමඟින්, පීතෘමූලික සමාජයක පිරිමින්ගේ මනසට බලපෑම් කරන කාන්තා චරිතයක් වන ‘Agora’ හි Hypatia, පැරණි ග්‍රීක නාට්‍යවල නිරූපිත සාමාන්‍ය කාන්තා චරිතයක් නොවන බවට මෙයින් ඉඟියක් ලබා දෙයි.

චිත්‍රපටිය ආරම්භ වන්නේ Hypatia පිරිමි සිසුන් පිරිසකට පන්ති කාමරයකදී විද්‍යාව සහ දර්ශනය ඉගැන්වීමෙනි. දැඩි පුරුෂාධිපත්‍ය සමාජයක් විසින් පාලනය කරනු ලබන යටහත් පහත් කාන්තාවක් අපේක්ෂා කරන ප්‍රේක්ෂකයන්ට එය අනපේක්ෂිත පටන් ගැන්මකි. එහෙත්, ඇලෙක්සැන්ඩ්‍රියාවේ සමාජය බුද්ධිමතුන්ගේ ‘පොදු වෙළඳපොළ’ වූ අතර දැනුම හා ප්‍රඥාව සම්බන්ධයෙන් ස්ත්‍රී පුරුෂ භාවය එහිදී වැඩි තැකීමකට ලක් නොවීය. ලෝකය සහ විශ්වය ක්‍රියා කරන ආකාරය දැන ගැනීමට ඇති උද්යෝගය හරහා Hypatia නම් චරිතය ගැහැණියක් ලෙසට වඩා, අසහාය මනුෂ්‍යයෙක් ලෙස දැකීමට මෙහිදී චිත්‍රපටය තුළින් ප්‍රේක්ෂකයාට බල කරයි.

පේගන් ආගම යටතේ ප්‍රභූ කාන්තාවන්ට කතා කිරීමේ සහ අධ්‍යාපනයේ නිදහස පිරිමින්ට සමාන සේ ලබා දී ඇති නමුත්, ඔවුන්ගේ සමාජ තත්ත්වය සහ බුද්ධිම මට්ටම සැලකිල්ලට ගනිමින් සමාජය තුළ සමතලා කරනු ලැබිණි. මෙහිදී මේ වෙනස පැහැදිලිව පෙන්නුම් කරන්නේ Hypatia, තම වහලෙකු වන Davus නම් පුරුෂයා සමඟ කටයුතු කරන ආකාරයෙනි. Davus ද තාරකා ශාස්ත්‍රය සහ විද්‍යාව කෙරෙහි උනන්දුවක් දැක්වූ උපන්ගෙයි බුද්ධිමතෙකි. ඔහුට Hypatia උගන්වන පන්තියේ ඉගැන්වීමට සහ උගන්වන දේ බලා ඉගෙන ගැනීමට අවසර ලබා දී තිබුණද, ඇලෙක්සැන්ඩ්‍රියාවේ සිසුන්ට මෙන් ඉගෙනීමට අයිතිවාසිකම් හිමි වූයේ නැත. සාමාන්‍ය ගැහැණුන්ටද අත් වූයේ ඒ ඉරණමම වූ අතර, Hypatiaට මෙම සුවිශේෂි වරප්‍රසාදය හිමි වන්නේ ඇගේ රදළ පියාගේ බලාදීකාරය නිසා පමණක් වෙයි. නමුත් ඇය එම අවස්ථාව සුළු කොට නොගනී. ඇය ලබන නිදහස නොලබන අය වෙනුවෙන්, මිත්‍යාදෘෂ්ඨික විශ්වාසවලින් බෙදී ගිය, පුරුෂමූලික  සමාජයක පිරිමින්ගේ චින්තනයේ වෙනසක් කිරීම හරහා ඇගේ වරප්‍රසායද ඇයට හැකි උපරිමයෙන් ඇය‍ යොදවා ගනී.

ඇලෙක්සැන්ඩ්‍රියාවේ ලැව් ගින්නක් මෙන් පැතිරී ගිය ක්‍රිස්තියානි ධර්මයත් සමඟ, මේ නිදහස කප්පාදු වීමට පටන් ගත්තේය. ක්‍රිස්තියානි ධර්මය එකහෙළාම පහර දුන්නේ, ගැහැණුන්ට ඇති ප්‍රශ්න කිරීමේ නිදහසට සහ ඔවුන් භුක්ති විඳි සමානාත්මතාවයටයි. මෙහිදී මිනිසුන් තමන්ගේ ප්‍රශ්න කිරීමට ඇති හැකියාව වෙනුවට දෙවියන් කෙරේ විශ්වාසය තැබීමට පුරුදු වූහ.

මෙහිදී Davus කිතුනුවකු වීමේ ප්‍රධාන අභිප්‍රාය වූයේ Hypatiaව පාලනය කර ඇයව බලහත්කාරයෙන් දිනා ගැනීමයි. එහිදී ඔහුගේ ආයුධය ලෙස ඔහු වැළඳ ගත් ක්‍රිස්තියානි ධර්මය, ඇයට වඩා වැඩි බලයක් දරයි. එහෙත්, මිථ්‍යාදෘෂ්ටිකයෙකු හෝ කිතුනුවකු නොවන Hypatia වෙනත් බලයකට යටත් වීමට එකඟ නොවීය. ඇය තාර්කික වූ අතර, කිසිම ආගමකට ඇගේ මානසික නිදහස ස්පර්ශ කිරීමට ඉඩ ලබා නොදීය. 

ක්‍රිස්තියානු ආගමේ පැතිරී යාමට විරුද්ධව පැවති පේගන් ආගමික රැස්වීමකදී, කිතුනුවන් විසින් පේගන් දෙවියන්ට කරන අපහාසවලින් අමනාප නොවන ලෙස අවධාරනය කරමින්, කිතුනුවන්ට එරෙහිව සටන් කිරීමට විරුද්ධව ඇය කතා කරයි. 

“ඔබතුමන්ලා මොකක්ද කරන්න හදන්නේ? … අපහාසයක් වූ පමණින් මිනී මරන්නද?”

ඇගේ සිසුන් දෙදෙනෙකු වූ පේගන් ආගමික Orestus සහ කිතුනු ආගකිම Synesius අතර ඇගේ පන්ති කාමරය තුළ ඇති වූ වාචික ගැටුමකදී ඇගේ මේ අන්තරාදායක මැදිහත් වීම සරල තලයකින් නිරූපණය විය. ඇය පැවසුවේ ඔවුන් දෙදෙනාම තමාට සමාන නිසා ඔවුන් ද එකිනෙකාට සමාන බවයි. 

ඇයගේ අදහසෙහි බලපෑම වඩාත් සංකීර්ණ පසුබිමක දක්නට ලැබුණේ බහුතරයක් වූ කිතුනුවන්ගේ ප්‍රහාරයෙන් පසු ඔවුන්ගෙන් ආරක්ෂා වීමට පේගන් ආගමිකයන් සමඟ Hypatiaත් ඇගේ පියාත් ඇලෙක්සැන්ඩ්‍රියා පුස්තකාලයට පලා ගිය පසුවයි.

පේගන් ආගම අභිබවා ක්‍රිස්තියානි ධර්මය ජයගත් පසු, එය “පිරිමියන් කෝපයෙන් තොරව දෙවියන් වහන්සේට යාඥා කරන ලෙසත්, ගැහැණුන් විනීතව හා නිහතමානීව ඇඳුම් අඳින ලෙසටත්…” වැනි ප්‍රශ්න නොකළ යුතු සහ විශ්වාසය මත පදනම්ව පමණක් පිළිගත යුතු නව නීති මාලාවක් සමාජයට ප්‍රකාශ කරන ලදි.

මෙලෙස ක්‍රිස්තියානි ධර්මය දෙවියන්ගේ නාමයෙන් වඩාත් දැඩි පීතෘමූලික ලක්ෂණ වල බීජ වළලනු ලැබේ. “යේසුස් තම උරුමය භාර දුන්නේ පුරුෂයන් 12 දෙනෙකුට මිස ඔවුන් අතරේ සිටින ස්ත්‍රියකට නොවේ.”

මෙතැන් සිට, Hypatia හි ලිංගිකත්වය ගැටළුවක් වීමට පටන් ගනී. ආගම් අතර ගැටුම උච්චස්ථානයට යාමට පෙර, එය ඇගේ පියා වන Theon විසින්ම ඔහුගේ සගයන් වෙත කෙලින්ම මෙසේ දන්වයි: “හයිපේෂියා, පිරිමියෙකුට යටත්ද? උගන්වන්න නිදහසක් නැද්ද? එසේත් නැතිනම් ඇගේ අදහස පැවසීමටවත්? මා දන්නා අති දක්ෂ දාර්ශනිකයා, ඇගේ විද්‍යාව අත්හැරිය යුතුද? නැහැ, එය ඇගේ මරණය විය හැකියි.

ඔහු මෙසේ කීවේ ඇයගේ විවාහය පිළිබඳව වුවත් විවාහයේදී ස්ත්‍රිය පුරුෂයෙකුට යටත් කිරීම, ඇලෙක්සැන්ඩ්‍රියාවේ අලුතින් මුල් බැසගත් ක්‍රිස්තියානි ධර්මය යටතේ සිටින කාන්තාවන්ට බොහෝ සෙයින් සමාන විය. Cyril බයිබලය යන නාමයෙන් අනුගමනය කළ යුතු නීති කියවන විට. “කාන්තාවක් නිශ්ශබ්දව හා යටත්ව ඉගෙන ගත යුතුයි. නිශ්ශබ්දව සිටීමට මිස, ඉගැන්වීමට හෝ පුරුෂයෙකු කෙරෙහි අධිකාරියක් ඇති කර ගැනීමට මම කාන්තාවකට අවසර නොදෙමි. මේවා දෙවියන් වහන්සේගේ වචන ය.”

මෙය Hypatiaට එරෙහි සෘජු චෝදනාවක් වන්නේ මේ විස්තරයට ගැලපෙන එකම ප්‍රමුඛ කාන්තාව ඇයයි. එවිට ඔහු ඇයව ප්‍රසිද්ධියේ කිතු දහමට භක්තික නොවන බව ප්‍රකාශ කිරීම ගැන විවේචනය කරන අතර, ඇයව මන්තරකාරියක් ලෙස හඳුන්වයි. ඇයව මෙයින් බේරා ගැනීමට ඇගේ සිසුන් දෙදෙනා විසින් බව්තීස්ම වන ලෙස ඇයගෙන් ඉල්ලා සිටි අතර, ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ, 

“ඔබ විශ්වාස කරන දේ ගැන ඔබ ප්‍රශ්න කළ යුතු නැහැ. ඔබට එය කළ නොහැකියි. නමුත් මම එය කළ යුතුයි,” යනුවෙනි. 

ඇයගේ මෙම වචන පමණක් Hypatia නම් චරිතය සාරාංශ කරයි. ඉන්පසුව ඇයගේ ලිංගිකත්වය ගැන සඳහන් කරන්නේ නම්, Hypatia නිරුවතින් සිටිනු දුටු සිදුවීම් දෙකක් තිබේ: Davus නම් වහල් තරුණයා මේ සිදුවීම් දෙකෙහිම හිඳීම විශේෂ කරුණක්. පළමු වරට Davus ඇයගේ ශරීරයට ආකර්ෂණය වූ අතර ඇයව කාන්තාවක් ලෙස දකී. දෙවන හමුවීමේදී, ඇලෙක්සැන්ඩ්‍රියානු පුස්තකාලයේදී ඇයගේ කිතු දහමට භක්තික නොවීම නිසා කිතුනුවන් විසින් ඇයව නිරුවත් කරන ලද අතර, Davus ඇගේ ශරීරය ගැන නොව ඇගේ ජීවිතය සහ මනස ගැන ආලයෙන් බැඳී ඇය ගැන කණස්සල්ලට පත් වේ. මේ අවසන් දැකීමේදී ප්‍රේක්ෂකයාට මතක් කරවන්නේ ‘The Rape of Cassandra’ නම් ග්‍රීක මිත්‍යා කතාවයි.

ඔරෙස්ටස්ට බයිබලය ඉදිරියේ දණින් වැටෙන්නට සිදු වූ විට සිනේසියස් ඔරෙස්ටස්ගෙන් මෙසේ ඇසුවේය. 

“ඔබ කාන්තාවන් කී දෙනෙකුට කීකරු වෙනවාද? කී දෙනෙකුට ද? ඔබ කාන්තාවන් කී දෙනෙක් අගය කරනවාද? කී දෙනෙකුට සවන් දෙනවාද? එක් අයෙකුට පමණයි. එකම එක් අයෙකුට පමණයි.” 

මෙම වචන චිත්‍රපටයේ අහඹු ලෙස පෙන්වන අනෙක් වීදි නාට්‍යයක රඟපෑ ගැහැණුන්, මළ ගෙවල්වල මුදලට වැලපෙන්න ගැහැණුන්, උසාවියේ වැඩ කරන වහල් කෙල්ලන් වන ‘සාමාන්‍ය කාන්තාවන්’ වෙත නරඹන්නන්ගේ අවධානය යොමු කරයි.  Hypatiaගේ පන්ති කාමරයේ සිටියේ පිරිමි ශිෂ්‍යයන් පමණි. ඇය හැර වෙනත් කිසිදු කාන්තාවක් මෙම චිත්‍රපටයේ කතා කරනු දක්නට නොලැබෙයි. එනම්, ඇයව මෙහි කොතැනකදීවත් කාන්තාවක් ලෙස සලකනු ලැබු නැත.

ඇයව මෙහීදී දක්වන්නේ, ස්වාධීන විය හැකි, විවේචනය කිරීමට, ප්‍රශ්න කිරීමට සහ උසාවියේ කතා කිරීමට හැකියාව ඇති, ඇගේ ශරීරයේ සුන්දරත්වය ගැන උනන්දුවක් දක්වන්නේ නැති නමුත් මිනිස් ශරීරයේ ඇති දරුණු අසම්පූර්ණකම සහ ශරීරය පිළිබඳ විද්‍යාව ගැන උනන්දුවක් දක්වන, කිසිඳු පිරිමියෙකු හෝ ගැහැණියක කෙරෙහි ලිංගික ආශාවක් නොතිබුණු ගැහැණියකට වඩා දැනුම සෙවීම වෙනුවෙන් මුලු ජීවිතයම කැප කළ මනුෂ්‍යයෙක් ලෙසයි.

“ඇය ඇ‍යට ලැබී ඇති තෑග්ග සොයාගෙන නැත. කාන්තාවක් වීම යන තෑග්ග ගැන, මම අදහස් කළේ. මෙය තියොන්ගේ සගයා විසින් Hypatia පිළිබඳ තියොන්ගේ විස්තරයට ප්‍රතිචාර වශයෙන් පැවසූ දේයි. ඇය ඔරෙස්ටස්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කරන්නේ ඇගේ ඔසප් චක්‍රයෙන් වහනය වූ ලේ තැවරුණු රෙදි කඩමාල්ලක් ලබා දීම මගිනි.

Agora චිත්‍රපටයේ එන Hypatia නම් චරිතය, ක්‍රිස්තු වර්ෂ 370-415 දක්වා වූ 04 වන සියවසේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ජීවත් වූ Hypatia නම් සැබෑ කාන්තා දාර්ශනිකයෙකුගේ අනුවර්තනයකි. එහෙත් මෙම චිත්‍රපටය, චිත්‍රපට නිෂ්පාදන ක්‍ෂේත්‍රයට ගැළපෙන පරිදි නාට්‍යකරණය කිරීම සඳහා සිදුවීම්වල යම් යම් වෙනස් කිරීම් සහ එකතු කිරීම් සිදු කර ඇත. චිත්‍රපටයේ සිටින වයස අවුරුදු 30ක් පමණක් වයසැති තරුණියක් ලෙස නිරූපණය කර ඇතත්, ඇලෙක්සැන්ඩ්‍රියාව ගිනිබත් කරන විට ඇගේ සැබෑ වයස අවුරුදු 50කට හෝ 60කට ආසන්න බව සොයාගනු ලැබීය. ඩේවියස්ගේ චරිතය ප්‍රබන්ධයක් වූ අතර එය සැබෑවටම සිදු වූ කුමන්ත්‍රණය රෝමාන්තික කිරීම සඳහා භාවිතා කරන ලදී. ඓතිහාසික නිරවද්‍යතාවය සලකා බැලීමේදී ඇයගේ නව නිපැයුම් සහ මරණය ද සත්‍ය බව සොයාගෙන ඇත.

අවසාන වශයෙන්, Agora හි Hypatia නම් දාර්ශනිකයාගේ නිරූපණය නූතන ප්‍රේක්ෂකයන්ගේ අපේක්ෂාවන්ට අනුව වෙනස් කර ඇති අතර, චිත්‍රපටය හරහා විවේචනයට ලක් වූ දේ නැවත වැඩි, එනම් අසාමාන්‍ය ලෙස කැරලිකාර කාන්තාවන් වෙත ආකර්ෂණය වන පිරිමින් සහා අනෙක් කාන්තාවන්ට වඩා වෙනස් සහ එසේ වීමට ආශාවක් සහ ෆැන්ටසියක් ඇති කැරලිකාර ගැහැණුන් වැනි ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කර ගැනීම සඳහා චිත්‍රපටය තුළම දැන හෝ නොදැන අවභාවිතා වී ඇත. 

එහෙත්, සමස්තයක් වශයෙන් ගත් කල, චිත්‍රපටය අති සාර්ථක වන බවත්, ඉතා සංවේදී මානුෂීය හැඟීම් හරහා නරඹන්නන්ගේ හදවත් ස්පර්ශ කර ඇති බවත්, මානව පැවැත්මේ වර්ධනයට බොහෝ දේ කළ අතීතයේ කාන්තාවන් කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කරවීමට සමත් වී ඇති බවත් නොකිවමනා ය.

 හිරු පෘථිවිය වටා භ්‍රමණය වනවා යැයි විශ්වාස කළ, දැනුම සෙවීම අපරාධයක් ලෙස සැලකූ ආගමික අන්තවාදී සමජයක ජීවත් වෙමින් සැබෑ  නම් ගැහැණිය විසින් හිරු පෘථිවිය වටා භ්‍රමණය වෙනුවට පෘථිවිය හිරු වටා භ්‍රමණය වෙමින් තමන් වටා ද පරිභ්‍රමණය වන බවද සොයගත් බව කියවේ. එපමණක් නොව ඇය, මෙතරම් කලක් වෘතයක ඇති සංශුද්ධබාවයට විසින් වෘතයකට ඇති අසංශුද්ධබාවයට පත්වීමේ හැකියාව දැකීම අවහිර කළ බව කියමින්, ලෝකයේ සෘතු වෙනස් වීමේදී සමහර රාත්‍රීන් දිගු වීමටත් සමහර රාත්‍රීන් කෙටි වීමටත් හේතු සොයමින් සිටින විටක ඇයට පහළ වූ අදහසක් වශයෙන් පෘථිවිය හිරු වටා භ්‍රමණය වන්නේ වෘතාකාර ලෙස නොව ඉලිප්සීය ආකාරයකින් යැයි කිව හැකි බව ප්‍රකාශ කළා ය.

දෙවියන් නොඅදහන මන්තරකාරියක් යැයි චෝදනා කරමින්, මුලු නරගය පුරා නිරුවතින් ඇවිද්දවා, පල්ලිය තුළදීම පූජකයන් අන්තවාදී කිතුනු පූජකයන් විසින් ගල් ගසා මරා දැමීමට දින කිහිපයකට කලින්, මිනිස් ඉතිහාසයේ සංධිස්ථානයක් සනිටුහන් කළ මෙම අද්විතීය සොයා ගන්නා චිත්‍රපටයේ එක් සංධිස්ථානයක දී ඇය මෙසේ සඳහන් කළා ය.

“එක මොහොතකට සිතන්න, කවයක ඇති සංශුද්ධතාවය, එම සංශුද්ධතාවයෙන් ඔබ්බට වෙන කිසිවක් නොදකින්නට තරම් අපව අන්ධ කර ඇති බව.”

මිනිස් ඉතිහාසයේ අනාගතය යහපත් කරන්නට කැප වන, නොදැනුමෙන් අන්ධ වී ඇති මිනිස් චින්තනයේ ශ්‍රේෂ්ඨත්වය නවමු මාවත් ඔස්සේ ඔප්නංවන්නට ජීවිතයම කැප කළ, කැප කරන සියලු දෙනා වෙනුවෙන් උපහාරයක් වශයෙන්, Agora චිත්‍රපටය සියලු ප්‍රේක්ෂකයන් හට පිදෙන වගයි.

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024