කනේ පාර

අද ඔබ සැමට කනේ පාරක් දෙන්න තමයි පොඩි හාමුදුරුවො සූදානම් වෙන්නෙ.හැමෝම ටිකක් කලබල වෙන්න පුළුවන් වාගේම භය වෙන්න පුළුවන්.නමුත් එලෙස භය වෙන්න හෝ කලබල වෙන්න අවශ්‍ය නෑ. අපි අද කතා කරන මූලිකම මාර්තුකාව කනට පහරක් එල්ල කිරීම යන කනේ පාර ගැන නම් නොවේ.නමුත් අපි කතා කරන්න යන කනේ පාර ගැන කතා කරද්දී මුලින්ම කනට පහරක් වදින කනේ පාර ගැන කතා කරන්න අවශ්‍යයි.ඒක නිසා මුලින්ම කනට පහරක් වැදුනු අය සහ  කනට පහරක් දුන්න අය හෝ පහර දීමක් දැකපු අය එම සිදු වීම මොහොතකට කල්පනා කරන්න.

කනේ පාරක් කියන්නෙ ශබ්දයක් නිකුත් වෙන සිදුවීමක්.පහර කෑමට ලක් වෙන කෙනෙකුට එම ශබ්දය ඇසෙනවාට වඩා කනට ඇතිවුණු කායික වේදනාව මුලිකව ඉස්මතු වේ. ඒ බව අත්දැකීම් ඇති අය ටිකක් කල්පනා කරලා බලන්න.

වෙනත් කෙනෙකුට ඔබ කනේ පහරක් ලබා දුන්නා නම් එතනදි ත් ශබ්දය නිකුත් වුවත් ඔබට ඉස්මතු වන්නේ ඔබගේ අතට දැනුන වේදනාව හෝ තමන්ගේ සිතේ ඇතිවන තරහ ස්වභාවය පමණි.

ඇත්තටම ශබ්දයක් ලෙස හොඳින් කනේ පාර තේරුම් ගැනීමක් සිදු කරන්නෙ කනේ පාරක් දෙන අවස්ථාක්(වෙනත් දෙදෙනෙකු අතර වන)ඔබ දකින්නෙක් ලෙස සිටින විට පමණි.

ටිකක් කල්පනා කරලා බැලුවොත් කනට පහරක් වදිද්දි එතන හොඳින් ශබ්දයක් නිකුත් වුවත් එතනදි ශබ්දයට වඩා කායික වේදනා සහ තරහ ආදී තත්වයන් වඩාත් හොඳින් දැනී අපිට ශබ්දය අමතක වෙයි.ඒ කියන්නෙ කායික කන ළගම ශබ්දයක් තිබුනත් එම ශබ්දය ඇසුන බවට අවධානය නොලැබී වෙනත් දැනීමක් ලැබෙන්න පුළුවන්.එතනදි ශබ්දය තිබුනත් කන තිබුනත් ශබ්දයක් ඇසුනු බවට අත්දැකීමක් නොලැබෙන්නේ සිත වැඩ කරන්නෙ වෙනත් තැනක නිසාය.

මෙතනදී කල්පනා කරන්න අවශ්‍ය වන්නේ ඔබට යමක් ඇසීමට නම් ශබ්ද තිබුනත් කන තිබුනත් මදි සිත එම තැනට පැමිණීයෙ නැති නම් ඇසීමක් සිදු නොවන බවයි.

දැං ඔබ මේ මොහොතේ මෙම ලිපිය කියවන විට අවට පරිසරය තුළ විවිධාකාර ශබ්ද තිබෙන්න පුළුවන් වාගේම ඔබගේ දුබල නොවූ කන් තිබෙන්න පුළුවන් නමුත් ඔබට ඇසෙන්නෙ ශබ්ද නැති මගෙ වචන වල අදහස සිතුවිලි තුලින්ය.වචන වචන එකට අමුනා ඔබ කියවන විට ඔබ මෙම ලිපියේ අදහසට ඇහුම්කන් දෙයි.හැබැයි එතන කරාඹු දාන කන නැත.එමෙන්ම ශබ්දයක් ද නැත.නමුත් ඔබ ලිපියෙන් කියවන ධර්මයට ඔබ සිතෙන් ඇහුම්කන් දෙයි.එම මොහොත තුළ ඔබගේ සිත නැමැති කන ඔබව අරගෙන යන පාර ගැන තමයි අද අපෙ මාර්තුකාව.

අපි අහලා තියෙනවා අම්මාගේ බඩේ ඉදලා අපි චූටි ළදරුවන් විදිහට ඇහුම්කන් දෙනවා.බඩෙන් එලියට ආපු දවසෙ අපි මුලින්ම තමන් තමන්ගේ හඩ තමන්ම අහන්න පටන් ගන්නවා.මුලින්ම අපි අපිටම ඇහුම්කන් දෙනවා ඊටපස්සෙ වෙනත් වෙනත් ශබ්ද වලට සංවේදි වෙලා ඒවා අහන්න පටන් ගන්නවා.

තමන්ට කතා කරන ආමන්ත්‍රණය අම්මාගෙන් අහනවා“ සුදු පුතේ,දුවෙ”ආදී නොයෙක් ආදරණීය වචන වලින්.එමෙන්ම වෙන කෙනෙකුට මුලින්ම ආමන්ත්‍රණය කරන විදිහ පවා අපි අහලා ඉගෙන ගන්නවා.එනම් අම්මා කියන්න තාත්තා කියන්න කියලා.

ඇත්තටම ඔබ මේ කියවන අකුරු වචන පවා ඔබ ඇහුම්කන් දීමේ ප්‍රතිඵල ලෙස ලැබුනු දේවල්.එමෙන්ම ඔබ අද මේ මොහොත තුළ තරුණ වැඩිහිටි මහලු කුමන වයසක් නියෝජනය කලත් කුමන ආකාරයකින් ජීවිතය ගත කලත් ඔබ ඇහුම්කන් දීපූ ආකාරයට සාපේක්ෂව ඔබේ ජීවිතය ගොඩ නැගී ඇත.මොහොතක් කල්පනා කලොත් කනක් අපිව අරගෙන ගිය දුර කොච්චර ද කියලා ඔබට දැං සිත තුළින් ඇහෙන්න පටන් ගන්නවා නේද?අපි අහපු විදියට අපෙ ජීවිතය හැඩගැසුනු ආකාරයට හොඳම උදාහරණයක් තමයි සත්තිගුම්භ ජාතකය.

සත්තිගුම්භ ජාතක කතාවේ ගිරව් දෙන්නා ඇහුම්කන් දුන්න ආකාරයට ඒ ගිරව් දෙන්න කතා කලා වගේම ක්‍රියා කලා.එම ජාතික කතාව ඔබට මම ලිපියෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.ඒක ඔයාලගේ homework එක.ඒක කියවලා ඊළග ලිපියට සූදානම් වෙන්න ඕන.මනුෂ්‍යයන් උනු අපිට ලැබෙන ප්‍රධාන වරප්‍රසාදය තමයි ඇහුම්කන් දීමට ඇති හැකියාව.ටිකක් කල්පනා කරලා බලන්න පරිසරයෙ ජීවත් වෙන සතුන් එකිනෙකාට ඇහුම්කන් දෙන ආකාරය.බල්ලෙක් බිරුවොත් ඒක අනිත් බල්ලන් පැය ගණනාවක් එක තැනක වාඩි වෙලා අහගෙන ඉන්නෙ නෑ අනිත් බල්ලන් බුරන්න පටන් ගන්නවා.නරියෙක් හූ කීවොත් අනිත් නරිත් හූ කියන්න පටන් ගන්නවා.මොණරෙක් හො කොහා කෑ ගැසුවොත් උන්ගේ ජාතියේ අය ඒකට නැවත පෙරලා හඬ නගනවා.

නමුත් මනුෂ්‍යයෝ වුන අපි දෙමාපියන්ට ඇහුම්කන් දීගෙන හිටියා.වැඩිහිටි, ගුරුවරුන් ට, යහළුවන්ට ඇහුම්කන් දීගෙන හිටියා.අපිට නිශ්ශබ්දව පැය ගණනාවක් අහගෙන ඉන්න පුළුවන්.ඒනිසානෙ පාසල් බණ බඩුව දේශන ශාලා පවා මනුෂ්‍ය අපිට තියෙන්නේ.

නමුත් ගැටලුව තමයි අපි අපගේ කනේ පාර නැති නම් කන ගමන් කරන්න ඕන පාර හැම වෙලාවෙම හදාගෙන තියෙන්නේ සත්තිගුම්භ ගිරවා මෙන් ජීවිතය තේරුම් ගන්න යහපත් බවක් නොහැකි අයහපත් දේවල් තුලය.අද අපිට වෙන කෙනෙකුට ඇහුම්කන් දෙන්න බැරිව ඔහු අපිට ඇහුම්කන් දෙන්න ඕන පදමට අපෙ ජීවිතය වෙනස් කරගෙන ඇත.

රේඩියෝ එකේ නොයෙකුත් දේ සුසර උනත් අපෙ කන නවතින්නේ අපිට වාසි තැන මිස සත්‍ය තිබෙන තැන නොවේ.ඕපා දූප අහපු කන අද අපිව සෝශල් මීඩීයා ගොසිප් අහන තැනටරැගෙන ගොස් ඇත.

අපිව බණට දහමට යොමු කල කණ අද මගෙ අපෙ හාමුදුරුවන්ගෙ පමණක් බණකට නැතිනම් ඕනෑම දෙබසකට පමණක් සුසර වී ඇත.

පැය විසිහතරම බණ අහපු කන බැනුමක් නින්දාවක් අහන්න අකැමැතිය.

නමුත් කිහිප දෙනෙකුට  පමණක් බැනුම් අහද්දි නින්දා අසද්දී  කලින් අහපු බණ සිතෙන් ඇහෙන්න පටන් ගනී.එය අගය කලයුතු දෙයකි.

හොඳින් ඇහුම්කන් දෙන්න නිශ්ශබ්ද වීම යහපත් බව අපි අපගේ ජීවිතය තුළින්ම තේරුම් ගැනීමට අවශ්‍යය.

බෝසතාණන් වහන්සේ ට සතරපෙර නිමිති ශබ්ද නැතුව බණ කීවේය.නමුත් අපි අපගේ ජීවිතය තුළ කොතරම් සතරපෙර නිමිති දැක තිබුනත් අපෙ හිත අපිට බණ කියන්නෙ නැත.

ස්වභාව දහම නිලන්තරයෙන්ම ලෝකයේ යථාර්ථය පෙන්වා දෙයි.නමුත් අපි ස්වභාව දහමට ඇහුම්කන් නොදෙන නිසා අපගේ කන අපිව බොරුවට මායාවට දුකට ශෝකයට රැගෙන යයි.

පුංචි කාලයේ ඕනෑම දෙයක් අහන්න පුරුදු වුනු අපි අද වාසියට කෑදර කමට බලයට පමණක් ඇසෙන ශබ්ද කරා කන පාර කියයි.

බුදු දහම තුළ ප්‍රථම අවබෝධ මට්ටමක් ලෙස සෝතාපන්න බව පැහැදිලි කරයි.සෝත යනු සැඩ පහරට නමක්.එනම් හේතු ඵල දහම නැමැති දහම් න්‍යායට ගසාගෙන යන ඕනෑම කෙනකුට මේ ලෝකයේ තුළ එක දෙයක් පමණක් නොපෙනේ.සෑම විටම දෙපැත්තක් දකින්නට පටන් ගනී.එය තමයි හේතුඵල දැක්ම.යම්කිසි දෙයක් පැවැත්මක් ලෙස පෙනෙන සෑම තැනකම එම පැවැත්ම තනිව නොපිහිටන තව දෙයක් නිසා පවතින බව තේරුම් ගනියි.මෙය තව විදියට කියනවා නම් උපතක් දකින තැන සෝතාපන්න කෙනෙක්ට මරණයක් විපතක් පෙනෙයි.ඇතිවීමක් පෙනෙන තැන නැතිවීමක් පෙනේ.ඔන්න ඔය එක දෙයක් පෙනෙන විට එහි පැවැත්ම තනිවූ එක දිගටම නොපවතින පැවැත්මක් ලෙස නොදකින්නට නම් එහි අනිත් පැත්ත පෙනෙන්නට අවශ්‍යය.එය මතක් කරන සෝතය නැති  කන සෑම මොහොතකම සිහිය පිහිටුවා ගැනීමට ගමන් කරන මාර්ගය සෝතාපන්න ලෙස තේරුම් ගන්න පුළුවන්ය.එනම් සුතමය ඥානය නැතිනම් කන තුලින් නිතර මතක් වෙන සිහියට එළබෙන සෑම මොහොතකම යෝනිසෝ මනසිකාරයට පැමිණෙන කනක් සෝතාපන්න කෙනෙක්ට ඇත.එම කන කායික කනක් නොවේ.එම කනට යමෙකු පැමිණීම සෝත ආපාන්න ලෙස ද තේරුම් කල හැකිය.

අවසානය වශයෙන් කන අපිව අරගෙන යන කනේ පාර හරියට වැදුනොත් ඔබට සෑම මොහොතකම සෑම සිදුවීමක් ම සෑම කෙනෙක්ම සෑම දෙයක්ම සුන්දර මාර්ගයකට බණක් ලෙස, දේශණයක් ලෙස ඇසෙන්නට පටන් ගනී.මොහොතක් නිශ්ශබ්ද වන්න ඔබට ඔබ ගැන අසා ගන්න අවස්ථාව ලැබේ……..

 

රචනය – වෙරළුග​ම සුදත්ත හි​මි

Don't forget to share this post!

Recent Posts

P5Vqym7
May 20, 2024