කේන්දරයේ ග්‍රහ පිහිටීමෙන් උපන් දිනය සහ වෙලාව කියන හැටි

  • Home
  • /
  • Blog
  • /
  • කේන්දරයේ ග්‍රහ පිහිටීමෙන් උපන් දිනය සහ වෙලාව කියන හැටි

“ඉතින් කොහොමද ගීතාන්, දැන් ඔයාට දිනයක් කිව්වම අදාල දවස කියන එක වගේම උපන් දිනය වෙලාව කිව්වම ලග්නය කියන එකත් හොඳට පුළුවන් ඇති නේද?” ආනන්ද ගීතාන්ගෙන් ඇසුවේ ඔවුන් හමුවී මඳ වෙලාවක් සල්ලාපයේ යෙදීමෙන් අනතුරුවය.

“ඇත්තෙන්ම ඔව් ආනන්ද, මට ඒ දෙකම හොඳට පුළුවන්. දිනයට අදාල දවස කියන එකටත් වඩා උපන් දිනයෙන් වෙලාවෙන් ලග්නය කියන එක හරිම ලේසියි. ඔයා කිව්වා වගේ උපන් දිනයයි වෙලාවයි කියල ඉවරවෙනවත් එක්කම වගේ ලග්නය කියන්න පුළුවන්” ගීතාන් පිළිතුරු දුන්නේ ඉමහත් සතුටකිනි.

“මටත් හරිම සතුටුයි ඔයා ඒ ගණිත ක්‍රම හොඳින්ම තේරුම් ගත්ත එක ගැන. එහෙනම් මම අද කියල දෙන්නම් අපි එදා කතා කරපු අන්තිම ට්‍රික් එක, ඒ කියන්නෙ කේන්දරේ ග්‍රහ පිහිටීම දුන්නම උපන් දිනය, වෙලාව කියන විදිය” ආනන්ද පැවසීය.

“මේකත් හරිම ලේසියි, මේකට අවශ්‍ය වෙන්නේ ලග්නයයි, රවි ඉන්න කොටුවේ අංකයයි විතරයි” කියූ ආනන්ද, “එදා ඔයා කීවෙ ඔයාගෙ පුතාගේ ලග්නය කුම්භ, රවී ඉන්නේ 8 වෙනි කොටුවෙ කියල නේද?” ඇසීය.

ගීතාන් හිස සලා එසේ යැයි අනුමත කළේය.

“ඉස්සෙල්ලම උපන් දිනය හොයමු. ඔයා මෙතැනදී ලග්නයේ අංකයත්, රවි ඉන්න කොටුවෙ අංකයත් එකතු කරලා උත්තරයට තව දෙකක් එකතු කරන්න. මෙතැනදී කුම්භ කියන්නෙ එකොළොස්වෙනි ලග්නය නිසා 11 ත්, රවි අටේ නිසා 8 ත්, තව 2 කුත් එකතු කලාම 21 යි, හරිනේ?” ආනන්ද ඇසීය.

“හරි, තේරුණා” ගීතාන් හිස සැලීය.

“දැන් ඒ එකතුව දොළහෙන් බෙදුවම එන ඉතිරිය තමයි මාසයට අදාල අංකය. 21 දොළහෙන් බෙදුවම ඉතිරි 9 යි. 9 වෙනි මාසය කියන්නෙ සැප්තැම්බර් 14 – ඔක්තෝබර් 14 අතර කාලය. එතකොට ඔයාගෙ පුතා ඉපදිලා තියෙන්නේ ඒ කල සිමාවේ” ආනන්ද පැහැදිලි කළේය.

“හරියට හරි, පුතාගේ උපන් දිනය ඔක්තෝබර් 11” ගීතාන් පැවසීය.

“දැන් උපන් වෙලාව හොයන්නේ කොහොමද කියන්නම්. 16 න් රවි ඉන්න කොටුවෙ අංකය අඩු කරලා උත්තරය දෙකෙන් වැඩි කරන්න. මෙතැනදී 16 න් රවි ඉන්න කොටුවෙ අංකය 8 අඩු කලාම 8 යි, ඒක දෙකෙන් වැඩි කලාම 16 යි. එතකොට උපන් වෙලාව පැය 16 ත් 18 ත් අතර, ඒ කියන්නෙ හවස 4 ත් 6 ත් අතර. දැන් තේරුනානේ?” ආනන්ද විමසීය.

“හරියට හරි, පුතා උපන් වෙලාව හවස හතරහමාර, හරි ලේසි ක්‍රමයක්නේ” ගීතාන් සන්තෝෂයෙන් පැවසීය.

“හොඳයි, දැන් ඔයාගෙ ලග්නයයි, රවි ඉන්න කොටුවයි අරගෙන උපන් දිනයයි වෙලාවයි හොයන්න බලන්න” ආනන්ද ඉල්ලීය.

“හරි, මගේ ලග්නේ වෘෂභ, රවි ඉන්නේ පලවෙනි කොටුවෙ. එතකොට උපන් දිනේ හොයන්න ලග්නේ අංකයත්, රවි ඉන්න කොටුවෙ අංකයත්, තව දෙකකුත් එකතු කරන්න ඕන. ඒ කියන්නෙ ලග්නෙ අංකය 2 ට රවි ඉන්න කොටුවෙ අංකය 1 ත්, තව 2 කුත් එකතු කලාම 5 යි. ඒක 12 න් බෙදුවම ඉතිරි වෙන්නේ 5 යි. ඒ කියන්නෙ පස්වෙනි මාසය, මැයි 14 – ජුනි 14 අතර. මගේ උපන් දිනය මැයි 17, හරියට හරි” මහත් උද්දාමයෙන් පැවසූ ගීතාන්, “එතකොට වෙලාව හොයාගන්න 16 න් රවි ඉන්න කොටුවෙ අංකය, ඒ කියන්නෙ 1 අඩු කලාම 15 යි. ඒක දෙකෙන් වැඩි කලාම 30 යි” යැයි කියාගෙන ගියේය.

“පොඩ්ඩක් ඉන්න” යි ගීතාන්ව නතර කල ආනන්ද, ” ඔය උත්තරය 24 ට වැඩි නම් ඔයා 24 ක් අඩු කරලයි වෙලාව හොයන්න ඕන” යි ගීතාන් ට පැවසීය.

“හරි, එතකොට 30 න් 24 ක් අඩු කලාම 6 යි, ඒ කියන්නෙ මගේ උපන් වෙලාව පෙරවරු 6 ත් 8 ත් අතරෙ. ඒකත් හරියට හරි, මගේ උපන් වෙලාව උදේ හයහමාර” යි කියූ ගීතාන් සතුටින් සිනාසුනි.

“ඉතින් මේ ක්‍රමයෙත් කලින් වගේ දැනගන්න ඕන සීමාවන් තියනවද?” ගීතාන් අනන්දගෙන් ඇසීය.

“ඔව්, මේ ක්‍රමයේදීත් කලින් ක්‍රමයේදී, ඒ කියන්නෙ උපන් දිනයෙන්, වෙලාවෙන් ලග්නය කියන ක්‍රමයේදී තිබුන උපකල්පන සහ අනුමාන කිරීම් ඔක්කොම පාවිච්චි වෙනවා. හුඟක් අවස්ථාවලදී මේ ක්‍රමය හරි ගියත්, වෙනස් වන වෙලාවලුත් තියෙන්න පුළුවන්. ඉතින් ඔයාට ඕන නම් දිනයේ හා වෙලාවේ පරාසයන් ටිකක් වැඩි කරලා කියන්න පුළුවන්. උදාහරණයක් හැටියට ඔයාගෙ උපන් දිනය මැයි 14 – ජුනි 14 අතර වෙනුවට මැයි 1 – ජුනි 30 අතර කියලත්, උපන් වෙලාව උදේ 6 – 8 අතරෙ වෙනුවට උදේ 5 – 9 අතරෙ කියල කියන්න පුළුවන්” ආනන්ද විස්තර කළේය.

“ඉතින් මේ පරාසයන් අඩු කරගන්නත්, ඊට අමතරව උපන් අවුරුද්ද කියන්නත් ක්‍රමයක් හදාගන්න බැරිද?” ගීතාන් ඇසීය.

“මම ඔයාට ඉස්සෙල්ල දවසේ කීවා වගේ මේක ජ්‍යෝතිෂ්‍ය ගැන මට තියන සීමිත දැනුමෙන් කරපු දෙයක්. මම මෙතැනදී බැලුවේ රවීගේ පිහිටීම විතරයි. සමහරවිට අනෙක් ග්‍රහ පිහිටීම් කිහිපයකුත් සැලකිල්ලට ගත්තොත් ඔයා කියන දේ කරන්න පුළුවන් වෙයි කියල මම විශ්වාස කරනවා. මම මේක කලේ මගේම කුතුහලයට. ඉතින් මේ දේ මේ මට්ටමට කෙරුනට පස්සේ මට ඉන් ඉස්සරහට තවත් මේ වෙනුවෙන් මහන්සි වෙන්නත්, කාලය මිඩංගු කරන්නත් අවශ්‍ය වුනේ නැහැ. හැබැයි ඔයාට මේ ගැන උනන්දුවක් තියන නිසා ඕන නම් උත්සහ කරලා බලන්න. අනෙක් ග්‍රහයින්ගේ රාශි ගතවීම් රටාවන් – උදාහරණයක් හැටියට බ්‍රහස්පති එක රාශියක ඉන්නේ අවුරුද්දයි, සෙනසුරු එක රාශියක අවුරුදු දෙකහමාරක් ඉන්නවා වගේ දේවල් සැලකිල්ලට ගත්තම මේ ගණනය කිරීමේ පරාසයන් අඩුකරගන්නත්, අවුරුද්ද හොයන්නත් පුළුවන් වේවි කියල මම හිතනවා” යැයි කියමින් ආනන්ද තම දීර්ඝ දේශනය නිම කළේය.

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024