ගත් කතුවර දිවිය දෙවියන්ටම භාර​යි

  • Home
  • /
  • History
  • /
  • ගත් කතුවර දිවිය දෙවියන්ටම භාර​යි

මහා ගත් කතුවරයෙකු මාධ්‍යවේදියෙකු හා චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන චන්ද්‍රවංශ මහතා බැලීමට යා යුතු යැයි ආනන්ද සිතුයේ  ඔහු අසනීපයෙන් සිටින බැව් දැනගන්නට ලැබුණ නිසා ය.චන්ද්‍රවංශ මහතාගේ බාල මල්ලි ආනන්දගේ පාසැල් මිත්‍රයෙකි. ඔහු වසර පහක් තිස්සේ විදේශීය රැකියාවක නිරතව සිටී. ආනන්දගේ  කොටුවෙන් නෙලා ගන්නා ලද පලතුරු හා එළවළු පාර්සලයක් ද සිය මෝටර් රථයට දමාගත් ආනන්ද චන්ද්‍රවංශ මහතාගේ නිවස බලා පිටත් විය.

චන්ද්‍රවංශ මහතා බුද්ධ ධර්මය ගැන මනා දැනුමක් ඇති ඒ ගැන පොත්පත් රාශියක් ලියා පළ කළ  අයෙකි. චන්ද්‍රවංශ  මහතාගේ නිවෙසට ගොඩවැදුණු ආනන්ද වික්ෂිප්ත විය.ඔහුට සිතුවේ එක්කෝ තමා වැරදි නිවසකට ගොඩ වැදී ඇති බවයි. නැතහොත් චන්ද්‍රවංශ මහතා වෙන කොහේ හෝ පදිංචියට යන්නට ඇති බවයි. චන්ද්‍ර වංශ නිවසට එබිකම් කරන විට ඉදිරියට දිව ආවේ කුඩා දැරියන් දෙදෙනෙකි.

“පුතේ තාත්ත ගෙදර ඉන්නවද”? ආනන්ද ඇසීය. දැරියෝ පුටු ඇන්ද අල්ලා උඩ පනිමින් එකිනෙකාගේ මුහුණු බලා සිනාසුනහ.

“ පුතේ තාත්ත ගෙදර ඉන්නවද”? ආනන්ද යළිත් ඇසීය.

“ අප්පච්චි රට” වැඩිමහල් දැරිය උඩුතොල තදකරගෙන පිළිතුරු දුන්නාය. 

“ගෙදර කවුද ඉන්නේ”? ආනන්ද යළිත් අසත්ම  කුඩා දැරිය” ආච්චි……… මෙන්න කවුද ඇවිල්ලා” යි කෑ ගසා ගෙන නිවස තුළට දිව ගියාය. “කවුද පුතේ”? කියාගෙන ගෙතුළ  සිටි කාන්තාව එළියට ආවාය. 

 “කවුද මේ”?ඇය තියුණු බැල්මක් ආනන්ද වෙත හෙළුවාය.

 “අක්කට මාව මතක නැද්ද? මම විරවංශගේ යාළුවා” ආනන්ද කීවේය.

“ මල්ලිත් එක්ක ධර්මාලෝක ඉගෙන ගත්ත යාලුවනේ”

“ මං හිතුව මෙහෙ වෙන කට්ටියක් පදිංචියට ඇවිත් කියල, මේ  බයිබල් වාක්‍යය ජේසු පිළිම එහෙම තියෙන  කොට” ආනන්ද කීවේය.

“අනේ ඔව් මල්ලි අයියා ලෙඩ වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කරලා ගොඩක් බෙහෙත් කළා, බැරිවුනා නේ සනීප කරන්න” පස්සේ හොඳ වෙලාවට පාස්ටර් කෙනෙක් ඇවිල්ලා ප්‍රේ කරල  ඊට පස්සේ උත්සවයක් තියලා මෙයා අසනීප කරල ඉන්න යක්ෂයා එළවලා දැම්මා, එදා ඉදල මෙයාට සෑහෙන්න හොඳයි. එයාටත් තේරෙනව දැන් ලොකු ගුණයක් තියෙනවා කියලා. ඉතින් දැන් මෙයා පාස්ටර්ලගෙ ආගමට හැරිලා ඒකයි මල්ලි” බයිබල් වාක්‍යය වලට හේතුව අක්කා පැහැදිලි  කළාය.

“ ප්‍රතිකාර බෙහෙත් ඔක්කොම නතර කරල දැම්මද”?ආනන්ද ඇසීය .

“නෑ මල්ලි ඒකත් කරගෙන යනවා. පාස්ටර් කිව්වා ඒවා නතර කරන්න එපා කියල ….අන්න මල්ලි අයියා ඇහැරිලා ද කොහෙද, ඉන්න මං එක්කරගෙන එන්නං”.

“ මේ අපේ වීරවංශ මල්ලිගේ යාළුව නේද?ඉතින් පුතා”.චන්ද්‍රවංශ මහතා ආනන්ද ඇමතුවේ පුතා  යනුවෙනි. ඒ ඔහුගේ හැටි ය. 

“චන්ද්‍රවංශ මහත්තයා අසනීප වුණා කියලා ආරංචි වුණා, බලල යන්න කියලා ආවෙ”. 

“ ඒක කොච්චර හොඳද   පුතා. දැන් ඉතින් මං අසනීප වුණා කියලා මුළු රටම දන්නවනෙ  නේද ?මට මේ කාලයක් තිස්සේ අතේ කැක්කුමක් තිබුණ. ඒකට නොයෙකුත්  තෙල් බේත්  සාත්තු කළා.පස්සේ මේ දැනගත්තේ මේක පිළිකාවක් කියලා. ඒ වෙනකොට දකුණු අත හොලවන්නවත් බෑ. පිළිකාව උරහිස දක්වාම පැතිරිලා. හොඳ වෙලාවට උරහිසින් එහාට යන්න කලින්  ඒක පුළුස්සලා දාන්න පුළුවන් වුණා.දොස්තර මහත්තුරු කිව්ව  මේක උරහිසින් උඩට ගියා නං හොඳ කරන්න ගොඩක් අමාරු වෙයි කියලා.දැන් නං හොඳයි.”

ඒත් ඔය මාධ්‍ය වල ගියෙ චන්ද්‍රවංශ මහත්තය  සනීප වුණේ දේව හාස්කමකින් කියලා,ඔය වීඩියෝත් ගහල තියෙන්නෙ”.ආනන්ද කිවේය. 

“පුතා මං ගෙදර ආවට පස්සෙ ඔය පූජකයෙක් ඇවිල්ලා ලොකු මාධ්‍ය සංදර්ශනයකුත් තියලා යකෙක් එලවනවද මොකක්ද කරලා මට දැන් සනීපයි කිව්වා. අක්කත් ඔය නිතරම කියා කියා  හිටියේ දොස්තර මහත්තුරු මට කියන්නේ බොරුය, මේ ලෙඩේ සනීප කරන්න බැරිය කියල එයාට කිව්වයි කියලා.මට සනීප කරන්න පුළුවන් කියලා දොස්තර මහත්තුරු කිව්වේ මගේ හිත සනසවන්න කියලා අක්කා කියන්නේ. අනේ මන්දන්නෑ  පුතා ඕවා”

චන්ද්‍රවංශ මහතා කතා කළේ යම් අසහනකාරී සිතිවිල්ලක් ඇතිව බව ආනන්දට තේරුණේය.

“ අක්ක තේත් හදාගෙන ඇවිල්ලා. මේ වැඩ අස්සෙ අක්කට තවත් කරදර නේද?. 

“නෑ මල්ලි අයියා බලන්න කියලා නිතරම මෙහාට කට්ටිය එනව”

“ කවුද අක්කේ අර පොඩි දරුවෝ දෙන්න?. 

“ ආ….. ඒ මගෙ මල්ලිගේ ළමයි. නිවාඩු කාලෙ හින්දා මෙහෙ ඇවිල්ලා. මගේ මල්ලි ඉන්නේ රට නේ.” අයියට රෑට කෑම හදන්න තියෙන නිසා මං යන්නම් මල්ලි, මෙයාට රෑ කෑම වේලාසනින්ම දෙන්න කියලා තමයි පාස්ටර් කිව්වේ”

“මම මෙහෙම ප්‍රශ්න ඇහුවට කමක් නැද්ද මන්දා චන්ද්‍රවංශ මහත්තයා”.

“ අහන්ඩ පුතා ඕන එකක් අහන්ඩ. මට මගේ මල්ලි මොකෝ මල්ලිගේ යාළුවා මොකෝ”

 “ඔබතුමා බුදු දහම ඉතා ගැඹුරින් අධ්‍යයනය කරලා ඒ ගැඹුරු දහම සරලව පොතපතින් පාඨකයන්ට පෙන්වා දුන් කෙනෙක්, ඒක මහඟු සේවයක් හැටියට සලකා කළේ අඩුගානෙ ඒ පොත් වල කතෘ භාගය වත් ගත්ත කෙනෙක් නෙමෙයි” ආනන්ද කියත්ම ඒ කතාවට රහසේ සවන් දී සිටි අක්කා පැමිණ

 “අනේ මල්ලි මෙයාගෙ තියෙන මරි මෝඩකම නේ, එයා රටේ මිනිස්සු හදන්න යනවා මෙහෙ අපේ කොල්ලන්ට ඉගෙන ගන්න සල්ලි යවා ගන්න විදිහක් නෑ උන් ඒ  රටවල් වල ඉදගෙන කුලී රස්සාවල් කරල වියදම හොයා ගන්නේ, ඒකටම හරියන මෙයාගේ මල්ලිලා ටික, මෙයාගෙන් පුළුවන් තරං කඩාගන්න තමයි බලන්නේ. අනේ මල්ලි, මල්ලිවත් මෙයාට තේරුම් කරලා දෙන්නකෝ”

 “ඔව් ඒක තමයි අක්කෙ මාත් කතා කළේ” ආනන්ද අක්කාගේ පැත්ත ගෙන කතා කළේය.

 “ගේ ඇතුලෙ හරිම ග්‍රීෂ්මේ  වගේ නේද පුතා අපි යං  අර කොස් ගහ යට තියෙන බංකුවට . මං එතන හැදුවෙත් මේ ග්‍රීස්ම වෙලාවට ඉන්ඩ”.චන්ද්‍රවංශ මහතාට අක්කාට නොඇසෙන සේ කතාබහ කරන්නට උවමනා බැව් ආනන්දට වැටහින.

 “එතන හොඳයි  මහත්තයා අපි යමු එතෙන්ට”. කොස් ගහ යට බංකුවේ ඉඳගෙන යළිත් සාමීචිය ඇරඹිණ.

 මට හැදිලා තිබුනේ ඉතා කලාතුරකින් දකින්නට ලැබෙන පිළිකාවක්, මේක පටන් ගත්තේ අතේ ඇඟිලිවලින් ඒක නිසා තමයි මට ලියන්න බැරි උනේ, මේක වැලමිට දක්වාම පැතිරිලා තිබුණේ, ඉතින් අත නවා ගන්න බැරුව හරිම වේදනාවකින් තමයි මම හිටියේ. හැබැයි ඉස්පිරිතාලෙ ප්‍රතිකාරවලින් මට හොද වේගෙන යන බවද දැනුණා. දොස්තර මහත්තුරුත් මට කිව්වේ මේක හරි සුළු ලෙඩක් තව ටික දවසකින් සනීප වෙනවා කියලා. ඒ උනාට ඒගොල්ලො අක්ක එක්ක කියලා තියෙන්නේ මේක සනීප කරන්න බැරිය, ඇඟපුරාම දුවලයි තියෙන්නෙ කියලා. ඉස්පිරිතාලෙන් ටිකට් කපලා එනකොටත් දොස්තර මහත්තුරු කිව්වෙ ගෙදර ගිහිල්ලා තව මාසයක් විතර රෙස්ට් කරන්න ඊට පස්සේ සුපුරුදු විදිහට වැඩ කරන්න පුළුවන් කියලා. මාස හයක් යනකං හැම මාසෙකම ක්ලිනික් එන්න කියලත් කිව්වා. ඊට පස්සේ එහෙම එන්නත්  ඕන නෑ කියලා කිව්වා”.

 “ඉතින් ඒ විදිහට සනීප වුනා නේද”? ආනන්ද කතාවට බාධා කරමින් ප්‍රශ්නයක් නැගීය.

“ ඒ උනාට පුතා අක්කා කියන්නේ දොස්තරලා ඔය ඔක්කොම කිව්වේ මගේ හිත සතුටු කරන්නය, පාස්ටර් තුමා හම්බුනේ නැත්තං මෙලාකට  ඔක්කොම ඉවරයි කියලා” චන්ද්‍රවංශ  මහතා කතා කරන්නේ අසහනකාරී කනස්සලු සහගත ස්වභාවයකිනි.

 “කොහොමහරි මහත්තයට සනීප උනානේ, දැන් පරණ විදිහට වැඩ කරන්නත් පුළුවන්, දැන් ඉතින් සතුටු වෙන්න” ආනන්ද කීවේය.

 “පරණ විදිහට වැඩ කරන්නේ කොහොමද පුතේ, ඒ චන්ද්‍රවංශ මැරුණා නේ. දැන් ඉන්නේ කතෝලික චන්ද්‍රවංශ”. චන්ද්‍රවංශ මහතා කීවේ තරහෙනි.

“මහත්තයා තරහ ගන්න එපා, මං මේක සුල මුල හොයාගන්න මට මහත්තයා බලපු දොස්තර මහත්තයාගේ  නමයි, හිටපු ඇද අංකයයි දෙන්නකෝ”

මං කියන්නං ,පුතා ලියා ගන්නකො.

.ඒ සමඟම කැමරා රැගත් කණ්ඩායමක් හා පාස්ටර් පැමිණියේය

 ඔය තව නාට්‍යයක් රඟ දක්වන්න වෙන්ඩැති , අක්කා දැනටමත් තිර පිටපත ලියලා ඇත්තෙ මං හිතන්නේ.මං  යනවා ටිකක් නිදා ගන්න පුතේ”.චන්ද්‍රවංශ මහතා ගෙට ගියේය. 

අක්කා එතැනට පැමිණ “මල්ලි මට ගොඩක් වැඩ තියෙනවා මේ වෙලාවේ. මල්ලි යන්න එහෙනං”.

ආනන්ද චන්ද්‍රවංශ  නිවසෙන් එළියට බැස්සේය. පසුදිනම ආනන්ද ගියේ චන්ද්‍රවංශ මහතා ප්‍රතිකාර ලැබූ රෝහල වෙතය .ඔහුට තිබූ රෝගය සම්බන්ධ මනා විස්තරයක් හෙදියන්ගෙන් ලබා ගැනීමට හැකි වූ අතර අවසානයේ ප්‍රතිකාර කළ වෛද්‍යවරයා මුණ ගැසීමට ආනන්ද ගියේය.

“මිස්ට ආනන්ද ,චන්ද්‍රවංශ මහත්තයට හැදිලා තිබුණෙ පිළිකාවක් උනාට මේක පැතිරිලා තිබුණෙ  දකුණු අත ආශ්‍රිතව, ඒකයි එයාට ලියන්න බැරි උනේ, ඔය පිළිකාවට අභ්‍යන්තර ඉන්ද්‍රියක  හැදිලා තිබුණ නම් තත්වය බොහොම බරපතලයි, නමුත් මේක දකුණු අතේ හින්දා අපිට බොහොම පහසුවෙන් ඒක විනාශ කරන්න පුළුවන් වුණා, උරහිසෙන් උඩට ගිහිල්ල නොතිබිච්ච එකත් වාසනාවක් උනා”.දොස්තර මහතා පැහැදිලිව විස්තර කලේය. “ඒ උනාට චන්ද්‍රවංශ මහත්තයගෙ නෝන නම් කියන්නේ වෙන එකක්, එයා  පත්තර සමාජ ජාලා හරහා ඒ ගැන විශාල ප්‍රචාරයකුත් දීල තිබුණ”. ආනන්ද දොස්තර මහතාට කීවේය.

“ඒව මම දැක්කා , මෙහෙමනෙ , ලෙඩ සනීප වුනොත් දෙවියන් වහන්සේට ස්තුති වේවා, එහෙම වුණේ නැත්නම් දොස්තරගේ වැරැද්ද ,එහෙමත් නැත්නං  දොස්තරගේ නොසැලකිල්ල.මොන ප්‍රශංසා  ලැබුණත් මොන අපවාද ලැබුණත් අපි අපේ ඩියුටිය හරියාකාරව කරනවා. ලෙඩෙක් සනීප උනාම අපි විශාල තෘප්තියක් ලබනවා වගේම ලෙඩෙක් මියගියහොත් අපිත් විශාල කම්පනයකට පත් වෙනවා, ආනන්ද දන්නෙ නැතිව ඇති ලෙඩෙක් රෝහලේ ඉන්න කාලය තුළ රෝගියා අපේ පවුලෙ සාමාජිකයෙක් බවට පත් වෙනවා, මට හිතෙනවා ඔබට මේ ප්‍රමාණවත් කියලා මේ ඩියුටි වෙලාවනේ.පස්සෙ දවසක නිදහසේ අපි හම්බුවෙමු”. වෛද්‍යවරයා කී දෙයින් ආනන්දගේ සිතේද වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය ගැන සුපහන් හැඟීමක් ඇතිවිය.ආනන්දගේ මව රෝගාතුරව මාතර රෝහලේ නතර වී සිටි වකවානුවේ රෝහලේ අය ඇය හා ඉතා කුළුපග වූ හැටි ඔහුට මතක් විය. රෝගයෙන් ඇය මිය යන බැව් දැන දැනම ඇගේ ජීවිතය තවත් විනාඩි කිහිපයකින් හෝ ඉදිරියට ගෙන යාමට ඔවුන් දැරූ උත්සාහය ආනන්දට මතක් විය. 

ආනන්ද වහා චන්ද්‍රවංශ මහතාගේ බිරියට දුර ඇමතුමක් ගත්තේය. “අක්කේ මං මේ ආනන්ද කතා කරන්නේ”

 “අනේ ඔව් මල්ලි මට එදා කලබලයට මල්ලි එක්ක හරියට කතා කරන්නවත් බැරි උනානේ, මේ මාධ්‍ය කාරයොත් එන්නේ හිටිගමන්නෙ. ඉතින් මල්ලි කෝල් කලේ. චන්ද්‍රවංශ බිරිය ඇසුවාය.

 “අක්කේ මං අයියට ට්‍රීට් කරපු හොස්පිට්ල් එකට ඇවිල්ලා එකේ ඩොක්ටර්ස්ලා හම්බුනා. එතන මගේ හොඳ යාලුවෙකුත් ඉන්නවානේ” ආනන්ද කීවේය.

“මො …මොනවද කිව්වෙ මල්ලි” චන්ද්‍රවංශ බිරිය නොසන්සුන් ලෙස ඇසීය.

 “ අක්කෙ ඔක්කොම රිපෝට් ටිකත් මට පෙන්නුවා. මහත්තයට හොඳටම සනීප කරලා එවලා තියෙන්නේ.ඒකෙ  කිසි සැකයක් නැහැ. ඒක නෙමෙයි අක්කෙ කරුණාකරලා මට දැන්වත් කියනවද මොකක්ද මේ නටපු නාඩගම” ආනන්ද තදින් ඇසුවේය.දුරකථනය අතේ තබාගෙන චන්ද්‍රවංශ බිරිය හඬන්නට විය.

 “අනේ මල්ලි, මල්ලිට ඔක්කොම කියන්න හෙට හවස තුනට අපේ ගෙදරට එන්න. චන්දරේ ඒ වෙලාවට නිදි”. චන්ද්‍රවංශ බිරියගේ ඉල්ලීම ආයාචනයක් බඳු විය.

 ආනන්ද චන්ද්‍රවංශ මහතාගේ නිවසට ගියේ වාහනය පාරේ නවත්වා පයිනි. ඒ වාහනයේ හඬට චන්ද්‍රවංශ මහතාට ඇහැරේය යන බියෙනි. ඔහුට උවමනා වූයේ සිදු වූ දෙය චන්ද්‍රවංශ බිරියගෙන් රහසේම දැනගැනීමටය. 

 “මල්ලි අපි යමු අර බැංකුව උඩට. ආනන්ද ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් මඟ බලා සිටි චන්ද්‍රවංශ බිරිය කීවාය. දෙදෙනා බංකුව මත වාඩිවී කතා කරන්නට වුහ.

“අක්කේ මම  හරියටම හොයාගත්තා මහත්තයට සනීප වීමේ කිසිම දේව බලයක් නැති බව”. ආනන්දගේ  හඬ ඉතා දැඩි විය. ඇය හඬන්නට විය.

 “මෙතන අඬල දොඩල  වැඩක් නෑ, මට කියන්න උනේ මොකක්ද කියලා, ඇයි මේ මුළු ලෝකෙම පිළිගත්ත මහා ගත් කතුවරයකු ගේ නාමය යොදාගෙන ඔක්කොම මුලා කලේ, එයාගේ වටිනා ආත්මය විනාශ කළේ”. ආනන්ද දිගින් දිගටම වාග් ප්‍රහාර එල්ල කරන්නට විය. 

“මං කියන දේ අහන්නකො මල්ලී,  මෙයා ලෝකෙටම බලන්න පොත් ලියපු එක ඇත්ත, ආගමික පොත් වලට සල්ලි නොගත්තු එකත් ඇත්ත, ලෝකෙම පිළිගත්ත මිනිහෙක් වෙච්ච එකත්  ඇත්ත, ඒ උනාට මල්ලි අපේ දරුවො දෙන්න පිටරට ඉගෙන ගන්නේ.උන්ට  සල්ලි යවන්න වෙන මහන්සිය දන්නෙ  මං විතරයි” ඇය යළිත් හඬන්නට විය.

“මොකටද ඉතින් ඔය  බැරි වැඩ කරන්න ගියේ?  ඒ දෙන්න හොඳට විභාග පාස් වුන එකේ  ලංකාවේ විශ්ව  විද්‍යාලෙකට  යවන්න තිබුනනෙ” ආනන්ද කතාවට හරස් කපමින් විමසා සිටියේය.

 .”එහෙම පුළුවන්ද මල්ලි, දැන් බලන්න මගේ මල්ලිගේ ළමයි…, ඒගොල්ලො ඔක්කොම රට ඉගෙනගෙන දැන් කොච්චර ඉහල තැන් වල ඉන්නවද, මගේ මල්ලිලා ඉගෙන ගත්ත උන්ද”?

ඉගෙන ගත්තේ නැති වුණාට ඒ ගොල්ලන්ට  ආදායම තියනවනේ” ආනන්ද අක්කාගේ  කතාවට හරස්  කැපීය. 

“ඒ වගේද මගේ මිනිහා.එයා පී එච් ඩී කරපු ආචාර්යවරයෙක්. එහෙව් එකේ මේ වගේ දෙයක් වත් නොකර හිටියොත් මගේ යාලුවෝ මට  මොනවා නොකියයිද, දැන් බලන්න මෙහේ  මන්ත්‍රී කෙනෙක්ගෙ  පඩිය පනස් දාහයි, ඒ උනාට ළමයි ඉගෙන ගන්නේ රට,  පඩි ගන්නෙ නැති සමහර මන්ත්‍රීලගේත්  ළමයි  ඉගෙන ගන්නෙ හොඳ හොඳ රටවල් වල.අපිට බැරි මොකද මල්ලි ,මෙයයිගේ පරීක්ෂණ වලටයි බේත් වලටයි  ලක්ෂ එකහමාරක විතර බිල ගෙව්වේ  ගමේ තිබුණු ඉඩම් කෑල්ල විකුණලා, මහලොකු ආත්මය ඒවට ගෙව්වද? හොඳ වෙලාවට මට දේවගැතිතුමා හම්බුනේ මල්ලිට කියන්න මෙයා හොස්පිට්ල් එකේ ඉඳලා ගෙදර එක්කරගෙන  එන්න වාහනයට ගෙවන්න මගේ අතේ සත පහක් තිබුණෙ නෑ” ත්‍රීවීල් කාරය මෙතෙන්ට ඇවිල්ල කෑගහන්න පටන් ගත්ත.අක්කා යළිත් හඬන්නට විය.මෙයාට හම්බුවෙලා තිබුණ රිදියෙන් හදපු සම්මානයක් දීල තමයි උගේ කට වැහුවේ.ඔය ආත්මය ගැන කතා කරපු එකෙක්වත් ඒ වෙලාවට ආවෙ නෑ .මෙයා බලන්න එන කට්ටිය ගෙනාපු පිටි ටින් සමහරකුයි සීනි තේකොලයි කඩේට දීල තමයි මේ දවස්වල එදා වේල පිරිමහගත්තේ.  මේ  වෙනකොට ළමයින්ට මාස හතරකින් සල්ලි යවලා නෑ.උන් එහෙන් ආපහු එන්න අහනව. ගෙවල් කුලී මාස පහකින් ගෙවලා නෑ.ඉස්සර සතියකට සැරයක් සල්ලි ඉල්ලගෙන ආපු ගෙවල් කුලී කාරය දැන් දිනපතා එනව.ගෙවල් කුලීකාරය අපේ මහත්තයා ගොඩක් සේවය කරපු කෙනෙක් කියලා සල්ලි ඉල්ලන්නෙ නැතුව ඇරියේ නෑ.එදා මල්ලි ආපු දවසෙ ආපු දේවගැතිතුමා ළමයින්ට යවන්න ඔක්කොම සල්ලියි ගෙවල් කුළී ඔක්කොමයි දීල ගියා.ඒ විතරක් නෙවෙයි ළමයි ඉගෙනගෙන ඉවරවෙනකන් වියදම් දේවගැතිතුමාගේ සංවිධානෙන් ගෙවනව කිව්වා.  ඒකෙන් මගේ ඔලුවේ තිබිච්ච ලොකු බරක් නිදහස් උනා.මල්ලිත් ඔය ඕපාදුප හොයන්නෙ පත්තරේට දාල ගානක් හොයාගන්නයි මල්ලිගෙ නම ප්‍රසිද්ධ කරගන්නයිනේ.ඔක්කොම ආත්මාර්ථකාමී විදියට වැඩ කරන ගමන් අනික් මිස්සුන්ගේ ඇහේ පොල්කෙන්ද දකිනවා.තව මොනවද මල්ලිට දැනගන්න ඕන” අක්කා කඳුළු පිසිමින් කතාව නතර කළේය.

“මුකුත් දැනගන්න ඕන නෑ අක්කේ”.ආනන්දට එදා රාත්‍රියේ නින්ද නොගියේය. 

චිත්‍රාන් මොරකන්දෙ ගමගේ 

Don't forget to share this post!

Recent Posts

P5Vqym7
May 20, 2024