රූපස්කන්ධ භාවනාව වඩමින්

  • Home
  • /
  • Lifestyle
  • /
  • රූපස්කන්ධ භාවනාව වඩමින්

භාවනා තුනකින් එකම ප්‍රතිඵලය ලැබූ මා ඊළඟට තෝරා ගත්තේ පංචස්කන්ධ භාවනාව යි. 

මා ඒ භාවනාව තෝරා ගන්නා විට ම මගේ සිතට නැඟුණේ පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමිපාණන් ලියූ සතර සතිපට්ඨාන සූත්‍රය’, නාම රූප දැක නිවනට, සංස්කාර හැර කවර මමෙක් ද?”,

සංස්කාර අතහැර නිවනට‘, නිවනට ඒකායන මාර්ගයක් යන පොත් සහ උන් වහන්සේ අන්තර්ජාලය මගින් පැවැත්වූ

දේශනා ය.ඒ පොත් කියැවීමටත්, ඒ දේශනා ඇසීමටත් මට අවස්ථාව සලසා දුන් ලොකු හාමුදුරුවන්ට උතුම් වූ නිවන් සුවය ම අත්වේවා!

මඳ වේලාවක් මම ඒ පොත්වල තිබුණු කරුණු සිහිපත් කළෙමි.නැත. ඒ කරුණු මගේ සිතට ගලා එන්නට විය.

රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන යන පංචස්කන්ධ ධර්ම හැර ස්ත්‍රියක, පුරුෂයකු, පුද්ගලයකු, ආත්මයක් වශයෙන්

ගන්නට කිසි ම දෙයක් මෙහි නැහැ. ඒ පංචස්කන්ධ ධර්මත් නිරන්තරයෙන් වෙනස් වෙමින් අනිත්‍යයට යනවා. ඒවා පැවතී ම

දුකක්. ඒ පංචස්කන්ධ ධර්ම හේතු නිසා හටගත් ඵලධර්ම. ඒවා මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මයක් නො වෙයි, මගේ ආත්මයට අයත් දෙයක් නො වෙයි කියා ප්‍රත්‍යක්‍ෂ ලෙස ම අවබෝධයක් ලබාගැනීමට යි මෙම පංචස්කන්ධ භාවනාව ප්‍රගුණ කළ යුත්තේ..

නිවනට ඒකායන මාර්ගයක්පොතේ එන එක් ඡේදයක් මගේ සිහියට නැඟිණි.

මුලින් ම මගේ සිත යොමු වූයේ රූපස්කන්ධය දෙසට, මගේ ශරීරය දෙසට පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා

ධාතූන්ගෙන් සෑදුණු මගේ ශරීරයේ හිස මුදුනේ සිට දෙපතුල දක්වා සිතින් පිරිමදින්නට වීමි

මේ හිසකෙස්, මේ හිස් මුදුන, මේ නළල, මේ කම්මුල, මේ නාසය, මේ තොල්, මේ කට, මේ නිකට, මේ හිසේ පිටුපස, මේ

ගෙල, මේ උරහිස ආදි වශයෙන් සිරුරේ මතුපිට හැම අංගයක්ම පිරිමදිමින් මගේ සිත ගමන් කරන්නට විය. රූපය මත නාමය ගමන් කිරීමයි . මෙසේ ගමන් කරන සිතට හසු වූයේ දෙතිස් කුණප පිරි සිරුර, පිළිකුල් සහගත දුගඳ සිරුර.

මවුකුසේ පිළිසඳගත් දා සිට මවගේ ආහාරයෙන්, ඒ කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු වලින් මේ ශරීරය වැඩෙනවා.මේ ශරීරය ඇති වීමට ආහාර වගේ ම කර්ම, චිත්ත සහ ඍතු ද හේතු වුණා. ඒ හේතු ඇති වී නැති වුණා වගේ ම ඒ හේතු නැති වූ විට මේ ශරීරය නැති වී යනවා. 

මේ ශරීරය, මේ රූප ස්කන්ධය, සැපට වඩා මට ලබා දුන්නේ දුක. කී වාරයක් මේ ශරීරය ලෙඩ රෝගවලට ගොදුරු වුණා ද? මැරෙන්න ගිය අවස්ථා කීයක් ද? මැලේරියා, ඩෙංගු වැනි කුඩා සතුන්ගෙන් ලැබූ පීඩාවලින් මේ ශරීරය දුර්වල වී ඇදවැටුණු හැටි මට මතක යි. යළි ශරීරය ගොඩනඟාගැනීමට ද මා කොපමණ දුක්

වින්දා ද? වාහනයක හැපීම නිසා මේ රූපස්කන්ධය මහා පීඩාවක් ලැබුවා. ජීවිතය පුරා දිගින් දිගට ම දුක මයි ලැබුණේ. එක

ඉරියවුවකින් වැඩි වේලාවක් ඉන්න බැරි, ඉරියව්ව වෙනස් කිරිමට නිතර ම වුවමනා වන මේ ශරීරය එක ම දුකක්. දිනපතා දෙවරක් වත් සේදුවේ නැත් නම් ශරීරය දුගඳ යි. කොපමණ වෙහෙසුණත්, කොපමණ වියදම් කළත් මේ ශරීරය නිරෝගී ව තබාගත හැක්කේ ඉතා සුළු කාලය යි.

ශරීරය නිත්‍ය නැහැ; අනිත්‍යයි. යම් දවසක මේ ශරීරය, මේ රූපස්කන්ධය මරණයට ගොදුරු වෙනවා.

මෙය අනිත්‍ය යි, අනිත්‍යයි, අනිත්‍ය යි. අනිත්‍ය නිසා ම දුක යි.

නිත්‍ය නොවීම දුකට හේතුවක්.

ක්ෂණයක්, ක්ෂණයක් පාසා ශරීරයේ රූප කලාප ඇති වෙමින්නැති වෙමින් යන හැටි මට පෙනෙන්න පටන් ගත්තා. රූප කලාපයක් නැති වෙනවා. ඒ වෙනුවට අලුත් රූප කලාපයක් ඇති වෙනවා. පරණ රූප කලාපයට වඩා අලුත් රූප කලාපය යහපත්, ශක්තිමත්. කලල අවස්ථාවේ සිට මැදි වියට එන තුරු ඒ රූප කලාප ඇති වෙමින්, වෙනස් වෙමින්, නැති වෙමින් යන හැටි මට පෙනෙන්නට පටන්ගත්තා.

මැදි වියේ සිට නැති වන රූප කලාප වෙනුවට ඇති වුණේ අයහපත්, දුර්වල රූප කලාප, දුබල රූප කලාප ඇති වෙමින්, නැති

වෙමින් ගොස් අවසානයේ ශරීරය මරණයට ගොදුරු වෙනවා. 

අනිත්‍ය වූ, දුක් වූ මේ ශරීරයට, මේ රූප ස්කන්ධයට මා ආසා කළා. එය මෝඩ ආසාවක්. දුක ම ගෙන දුන්, නිත්‍ය නොවූ, මට වුවමනා ලෙස පාලනය කිරීමට අපහසු වූ, මගේ ය මම ය කීමට අපහසු වූ, මගේ ආත්මය යි කීමට නොහැකි වූ, අනාත්ම වූ මේ ශරීරයට මරණින් පසු ව සිදු වන දේ නවසීවථික භාවනාවේ දී දුටු අයුරින් මට පෙනෙන්නට පටන් ගත්තා.

දුගඳ හමන, පිළිකුල් සහගත, දුක ම පිරුණු, අනිත්‍ය, අසාර,අසුබ මේ ශරීරයට, රූපස්කන්ධයට මා ආසා කළා; ඇලුම් කළා. මේ ශරීරය මගේ කියා මා ග්‍රහණය කරගත්තා; බදාගත්තා. මෙය මගේ ආත්මය ලෙස, මෙය මගේ ම, මට අයත් එකක් ලෙස සැලකුවා. මෙය මහා දුකක්. ශරීරය මගේ ලෙස, මගේ ආත්මය ලෙස මා සැලකුවේ අවිද්‍යාව නිසා; මෝඩකම නිසා. 

ශරීරයේ සැබෑ තත්ත්වය, අනිත්‍යය, දුක, අනාත්මය, අසුබ බව,අසාර බව වටහාගත් කිසිවකුට මෙයට ආසා කරන්නට බැහැ; මෙබඳු රූපස්කන්ධයක් අනාගතය සඳහා ප්‍රාර්ථනා කරන්නට බැහැ.එසේ ප්‍රාර්ථනා කරන්නේ දුක බදාගැනීමකට.මගේ සිතට, ශරීරය පිළිබඳ කලකිරිමක් ඇති වන්නට පටන් ගත්තා. මේ ශරිරය මට දුක දුන්නා. ඒ දුකට හේතුව වූයේ මේ ශරීරයේ පැවැත්ම ම යි. ශරිරයේ පැවැත්ම දුක්ඛ සමුදය සත්‍යය යි.

මේ ශරීරය මට එපා. මට එපා. මේ ශරීරය පිළිබඳ ආසාව මම මුළුමනින් ම අත්හරිනවා, අත්හරිනවා, අත්හරිනවා. අත්හැරිමේ

සිතුවිලි ගලා ඒමත් සමග මගේ සිතේ රූප නිමිත්ත පහ වී ගියා.

සිත ශූන්‍යත්වයට ගොදුරු වුණා.

ශූන්‍යත්වය යනු නාම ධර්මයකි. එය ද අර රූපස්කන්ධය මෙන්ම අනිත්‍ය යි, අනිත්‍ය යි, අනිත්‍ය යි.

සිත මහත් වූ ශාන්ත ස්වභාවයකට හැරෙනු මට දැනුණා.

ඒ ශාන්ත භාවය ද අනිත්‍ය යි, අනිත්‍ය යි, අනිත්‍ය යි.

ඒ සමග මට මගේ සිත ද, සිරුර ද සිහිල් වී යනු දැනුණා. බොහෝ වේලාවක් ඒ සිහිල් සුවයේ ම රැඳී සිටියා.

කිසිදු සංස්කාරයක් නැති මේ අවස්ථාවේ පැවතුණේ ඒ තත්වය දකින සිහින් සිතක් පමණයි.අඩ පැයක් පමණ මා ඒ තත්වයේ රැඳී සිටින්නට ඇති.

ලොකු හාමුදුරුවන්ට, දන්කන්දේ ධම්මරතන හිමියන්ට, පොඩි මෙහෙණින් වහන්සේට සෙත් පතමින්, ඒ උතුමන්ගේ ගුණ සිහි කරමින් මා ඇස් ඇරියා; දෙවියන්ට පින් දුන්නා. එහෙත් ඒ අසුනේ ම තවත් ටික වේලාවක් රැඳී සිටියා.

මට අවශ්‍ය වූයේ පංචස්කන්ධ භාවනාවේ යෙදීමට යි. එහෙත් මා කළේ ඒ භාවනාවේ එක කොටසක් පමණ යි. ඒ රූපස්කන්ධය භාවනාව යි. දැන් ඉතින් මා නැගිට දාන ශාලාවට යා යුතුයි. ඉන් පසු ඉතිරි කොටස් භාවනාවට ගනිමි.

දෙනගම සිරිවර්ධන 

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024