ලෝක වනාන්තර දිනය අදට යෙදී තිබේ. මෙවර ජාත්‍යන්තර වනාන්තර දිනය සමරනු ලබන්නේ “වනාන්තර සහ නවෝත්පාදන: වඩාත් හොඳ ලෝකයක් සඳහා විසඳුම්” යන තේමාව මුල් කරගෙනයි.
වනාන්තර ස්වභාවික සම්පතක් ලෙස ආහාර සුරක්ෂිතතාව, පෝෂණය සහ ජීවනෝපායන් සඳහා වනාන්තර සිදු කරනු ලබන කාර්යභාරයට අමතරව ආහාර, ඉන්ධන, ආදායම සහ රැකියා සැපයීමටත් අමතරව, වනාන්තර පසෙහි සාරවත් බව සඳහා සහාය වේ. ජල සම්පත් ආරක්ෂා කරයි. වැදගත් පරාග වාහකයන් ඇතුළු ජෛව විවිධත්වය සඳහා වාසස්ථාන ලබා දෙයි.
ලොව පිහිටි සියලු වනාන්තර සහ වනාන්තරවලින් පරිබාහිරව පිහිටි වෘක්ෂ සම්පත්වල වැදගත්කම පිළිබඳව ජන සමාජය තුළ පවතින දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් ජාත්‍යන්තර වනාන්තර දිනය ප්‍රකාශයට පත්කරනු ලබන්නේ එක්සත් ජාතීන් සංවිධානය විසිනි. ඒ 2012 වසරේ මාර්තු 21 වැනිදාය. මෙම දිනය ප්‍රකාශයට පත්කිරීමට වෙහෙස වී කටයුතු කළ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය වාර්ෂිකව මෙම දිනය ලොව පුරා සැමරීමට මුල්වී ක්‍රියා කරනු ලබනවා.
මුළුමහත් මානව වර්ගයාට සේම සත්ත්වයින්ට ද ජීවය ලබා දෙන ප්‍රධානම මූලාශ්‍රය වන්නේ, වනාන්තරයි. හරිත වර්ණයෙන් පොළෝ තලය වසා පැතිර සිටින වනාන්තර මත මුළු ලෝකයේම පණනල රඳා පවතිනවා. නමුත් කාලයත් සමග ජනගහනය ඉහළ යනකොට වන විනාශයත් එන්න එන්නම වැඩි වීම නිසා මේ වෙනකොට ලෝකයේ වන වැස්ම තිබෙන්නේ ශීඝ්‍රයෙන් පහළ ගොසින් ය.
මේ පහළ යන වන වැස්ම ඉහළ නංවාගනිමින්, වනාන්තර රැක ගැනීම පිළිබඳව ලෝකයේම අවධානය ලබා ගැනීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ජාත්‍යන්තර වනාන්තර දිනය සෑම වසරකම මාර්තු මස 21 වන දා සමරනවා. අපට අවශ්‍ය ඔක්සිජන් ලබා ගන්න ගස් අවශ්‍යයි වගේම පානීය ජල අවශ්‍යතාව සපුරා ගන්නට පවා හැකියාව ලැබී තියෙන්නේ වනාන්තර ආශ්‍රිතව තිබෙන ජල මූලාශ්‍ර නිසා.
වරක් රතු ඉන්දියානු නායක සියැටල් මෙහෙම කියනවා. “අප පෘථිවියේ කොටසකි. පෘථිවිය අපේ කොටසකි. සුවඳැති මල් අපගේ සොයුරියෝ වෙති. මුව පොව්වෝ, රාජාලියෝ හා අශ්වයෝත් අපගේ සොහොයුරෝ වෙති. ගිරි මුදුන්වල සිට තණබිම් වනාන්තර අතරින් ගලා බස්නා දිය දහරා ද අශ්වයාගේ සහ මිනිස් සිරුරේ උණුසුම ද යන මේ හැම දේ එකම පවුලක සාමාජිකයන්ය.” වනාන්තරත්, අපිත්, මේ මුළු පරිසරයමත් එකම පවුලක් මිසක් අපිට වෙන් වෙන්ව ජීවත් වෙන්න හැකියාවක් නොමැත.