වැඩ කල් දාන පුරුද්ද ඔයාටත් තියෙනවාද​?

  • Home
  • /
  • Blog
  • /
  • වැඩ කල් දාන පුරුද්ද ඔයාටත් තියෙනවාද​?

අපි හැමෝගෙම ජීවිත හරියට රේස් එකක් වගේ. දවල් රෑ නොබලා පිම්මේ දුවනවා. එහෙම දුවන්න ලොකුම හේතුව වෙන්නේ අපි ජීවිත සාර්ථක කරගන්න දඟලන උත්සාහයයි. සමාජයේ වෙසෙන බොහෝ දෙනාට තමාගේ ජීවිතය සාර්ථක කර ගැනීමට තදබල උවමනාවක් පවතින බව පෙනුනත් එසේ තමන්ගේ අනාගත ඉලක්ක සපුරා ගැනීමට හැකිවන්නේ ඉන් කිහිප දෙනෙකුට පමණක් වෙයි. පිරිසක් ඒ ආකාරයට තමන්ගේ ජීවිතය ජය ගනිද්දී අනෙක් පිරිසට සමහර විට දක්ෂතාවය නොමැතිකම, නිසි මඟ පෙන්වීමක් නොමැතිකම වැනි හේතු නිසාවෙන් ජීවිතයේ මිස් විය හැකිය. නමුත් ඒ සියලු හේතු වලට වඩා තමන්ගේ ජීවිතේ ගොඩදාගැනීමට නොහැකි වීමට බලපාන ප්‍රධානම හේතුවක් වශයෙන් වැඩ කල් දැමීමේ පුරුද්ද තිබීම ගත හැකියි.”අද නෙවෙයි හෙට” කියන බාලගිරි දෝෂය හෙවත් වැඩ කල් දැමීමේ පුරුද්ද නවත්වා ගන්නේ කෙසේද යන්න සොයා බැලීමට පෙර තමාටත් එවැනි පුරුදු තිබේද යන්න සොයා ගත හැකි ක්‍රම කීපයක් පිළිබඳව දැනුවත් කිරීමටයි මේ ලිපිය.

1. අවධානය රඳවා ගැනීම ගැටලුකාරී වීම.

වැඩ කල් දමන කෙනෙකුගේ ප්‍රධානම ලක්ෂණයක් ලෙස යම් අයෙකුට තමන් කරන වැඩේ සම්බන්ධයෙන් එක දිගට අවධානය රඳවා තබා ගැනීම අසීරු වීම ගත හැකියි. මෙවැනි අය තමන් කළ යුතු දේ කරනවා වෙනුවට වෙනත් දහසකුත් එකක් දේවල් කිරීමට නොයෙකුත් හේතු තමන් විසින්ම නොදැනුවත්වම සොයා ගනියි.
උදාහරණයක් ලෙස යම් කෙනකු පාඩම් කරමින් සිටින අතරවාරයේ ඒ වැඩේ කල්දැමීමට සාදාගන්නා හේතුව වන්නේ රටේ ලෝකේ තොරතුරු දැනගැනීමට කියා ෆේස්බුක් භාවිතා කිරීමයි. නමුත් එය පාඩම් කර අවසන් කළ පසුත් කිරීමට හැකි දෙයක් වුනත් ඒ පුද්ගලයා ඒ ක්‍රියාවෙන් ගැලවීමට කැමති නොවෙයි. එය වැඩ කල් දමන කෙනෙකුගේ ලක්ෂණයක් වෙයි.

2. ප්‍රමුඛතාවයන් තෝරා ගැනීමට අසමත් වීම.

සාමාන්‍යයෙන් අප එදිනෙදා ජීවිතයේදී වැඩ කටයුතු සැලසුම් කරද්දී දවසේ කළ යුතු වැඩ ටික ලැයිස්තුගත කරනවා මෙන්ම එයින් ප්‍රමුඛතාව හිමි විය යුතු වැඩ මොනවාදැයි යන්න පිළිබඳව හරි හැටි දැනගත යුතුයි. එසේ වුනොත් කාර්යක්ෂමව තමන්ගේ වැඩකටයුතු සිදු කළ හැකියි.නමුත් වැඩ කල් දමන කෙනෙකුට නම් තමන් අද දවසේ ප්‍රමුඛතාව දිය යුතු වැඩේ කුමක්ද යන්න පිළිබඳව හරිහැටි අවබෝධයක් නැත. ඔවුන් තමන් ප්‍රමුඛතාවය ලබාදිය යුතු වැඩ වෙනුවට වෙනත් බොරු වැඩ කරමින් කාලය ගත කිරීමට පෙළඹයි.

3. පුද්ගලික ජීවිතයත් කල්දැමීම.

වැඩ කල් දමන පුරුද්ද රාජකාරියට, ඉගෙනුම් වැඩට පමණක් සීමා නොවේ. පෞද්ගලික ජීවිතය තුළද අප යම් යම් වැඩ කල් දැමීමට කටයුතු කරයි. උදාහරණයක් ලෙස කවුරුන් හෝ නෑදෑ කෙනෙකුට දුරකතන ඇමතුමක් ලබාදීම ගත හැකියි. එය හරිම සරල වූ විනාඩි කිහිපයක වැඩක් වෙයි. නමුත් අපි එය විශාල වශයෙන් ඔලුවට බරක් කරගෙන තමාට නිවාඩු පාඩුවේ වැඩ නැති අවස්ථාවක ඔවුන්ට කතා කරන්නට සිතමින් දවසින් දවස එය කල් දමයි. ඊට අමතරව අපි අනාගතය පිළිබඳව යම් යම් සිහින දකින අතර තමා ඒ සිහින ගැන නිතර මෙනෙහි කරමින් පුටුවක හිඳගෙන කල්ගත කලාට ඒ සිහින ඉටු නොවේ. ඒ වෙනුවෙන් වැඩ කළ යුතුයි. සිහින දැකීම හා සිහින වෙනුවෙන් වැඩ කිරීම සම්පූර්ණයෙන්ම වෙනස් දේවල් දෙකක් වෙයි.

4. තේරුමක් නැති නිදහසට කාරණා.

වෘත්තීය ජීවිතයේදීත්, අධ්‍යාපනික ජීවිතයේදීත් අපි විසින් අපිටම වැඩ කල් දමා ගැනීමට විවිධ හේතු සොයා ගනී.”අයියෝ අද පැය පහක් පවර් කට්…ආයෙ පාඩම් කරන්න ටයිම් නෑ ඔන්න ඔහේ හෙටම කරනවා” එසේත් නැත්නම් “ඊයේ ට්‍රිප් එක ගිහින් ඇවිල්ලා අද ඇඟ ටිකක් රිදෙනවා වගේ… අද රෙස්ට් කරලා හෙටම ඔෆිස් යනවා.”මේ ආකාරයේ විවිධ නිදහසට කාරණා අපි සොයා ගත්තත් වැඩක් කරන්නට කම්මැලි නැති පුද්ගලයෙකුට මේ සියළු හේතු වචන පමණක්ම වෙයි. නමුත් වැඩ කල් දැමීමට ඇබ්බැහි වී සිටින කෙනෙකුට මේ වචන තුළින් සිතටත්, ගතටත් විශාල සහනයක් ඇති කරයි.

5. එලාම් එකටවත් අවනත නොවීම.

එලාම් එකෙන් සිදු කරන්නේ අපිව ඇහැරවීමයි. නමුත් සමහරු පළවෙනි එලාම් එක අසා නැවත නිදා ගැනීමට අවශ්‍ය නිසා එලාම් දෙක තුනක් තියයි. සමහරු එලාම් එක ඕෆ් කරමින් ඇඳේ පෙරළි පෙරළී සිටියි. මෙය බොහෝ දුරට වැඩ කල් දමන කෙනෙකුගේ ලක්ෂණයක් වෙයි. මෙවැනි වූ අයහපත් ඇබ්බැහිවීම් වලින් ඈත් වී ඉදිරියට ගමන් කළහොත් ඔබත් ඉලක්ක සපුරාගත් සාර්ථක ජීවිතයක් ගත කිරීමට හැකි පුද්ගලයකු වනවා නිසැකයි.

සටහන – ඉසුරි එදිරිසිංහ

Don't forget to share this post!

Recent Posts

116
October 21, 2024