සංක්‍රමණික ජීවින් හේතුවෙන් විනාශ වන ඕස්ට්‍රේලියාවේ ජෛව විවිධත්වය

  • Home
  • /
  • Blog
  • /
  • සංක්‍රමණික ජීවින් හේතුවෙන් විනාශ වන ඕස්ට්‍රේලියාවේ ජෛව විවිධත්වය

ආගන්තුක සතුන් නිසා ඕස්ට්‍රේලියාවේ ජෛව විවිධත්වය විකෘති වීම 

ඕස්ට්‍රේලියාව ලෝකයේ කුඩාම මහාද්වීපයයි. එසේ වුවද,  එය  අති මහත් අද්භූත ජෛව විවිධත්වයක් සහිත භූමියකි. පෘථිවි දක්ෂිණ අර් ධගෝලයේ ධ්‍රැවයට ආසන්නව තිබෙන්නට ඇතැයි සැලකෙන ගොන්ඩ්වානාලන්තය (Gondwanaland) දැනට වසර මිලියන 85 කට පමණ ඉහතදී, කැඩී එකිනෙකින් වෙන්වීමේදී,  ඕස්ට්‍රේලියා භුමිය  උතුරු  දෙසට ප්ලාවනය (drift) ආරම්භ වූ බවත්, එසේ සිදුවී  වසර මිලියන 55 කට පමණ පසු, අද පවතින තත්ත්වයට අනුවර්- තනය වී ඇති බවද  විශ්වාස කෙරේ. මෙම භුමි වෙන්වී යාමේදී  ඕස්ට්‍රේලියාවට කොටුවූ සතුන් සහ ශාක,  පරිණාමය අතින්  මහත්  පසුබෑමකට ලක්වීම  හෝ වෙනත්ම  මගකට යොමුවීම නිසා දේශයටම ආවේණික  සුවිශේෂී ජෛව විවිධත්වයක් ඇතිවූ  බව විශ්වාස කළ හැකිය. 

       ඕස්ට්‍රේලියා භුමියේ මුල් පදිංචි කරුවෝ සහ එවකට ජෛව විවිධත්වය 

උතුරු දෙසට ප්ලාවනය වූ ඕස්ට්‍රේලියා භුමියට ඔබ්බෙන් පිහිටි වර් තමාන ඉන්දුනීසියාව සහ නිව් ගිනි දේශයට අයිති මුහුදු තීරුවේ ජල මට්ටම අඩු වැඩි වීම නිසා, වරින් වර මෙම දූපත් ඔස්සේ ආසියාකරය සහ ඔස්ට්‍රේලියාව දක්වා ගොඩබිම් සම්බන්ධයක් (සමහරවිට එකිනෙකට කිට්ටුව පිහිටි දූපත් ජාලයක් ලෙස) හටගන්නට ඇති බව සැක කළ හැකිය. මෙම ගොඩබිම් තීරු ඔස්සේ ආදී මානවයින් ආසියාකරය හරහා ඕස්ට්‍රේලියා භූමියට අවතීර් ණ  වී ඇති  බවට සාධක තිබේ.   සංරක්ෂණය වී ඇති, එම ආදී මානවයින්ගේ  හිසකෙස් වැනි ශරීර  කොටස් DNA පරීක්ෂණවලට භාජන කර, කාල වකවානු නිර් ණය කර ඇත. මේ අනුව මුල්ම ආදී වාසිකයින් දැනට වසර 50,000 කට තරමක් වැඩි කාලයකට පෙර ඕස්ට්‍රේලියා භූමියට පැමිණ පදිංචි වී ඇති බව විශ්වාස කළ හැකිය. මෙසේ සංක්‍රමණය වූ ඇබොරිජන්වරු ලෙස හැඳින්වූ ආදිවාසීන්, ක්‍රමක්‍රමයෙන් විසිරී  ගොස්, ඕස්ට්‍රේලියාවේ විවිධ ස්ථානවල ගෝත්‍රිකයින් ලෙස  පදිංචි වී ඇත. මොව්හු දඩයම්කරුවන්  ලෙස ජීවිතය ගත කළ බවට සාක්ෂි තිබේ.

වසර මිලියන 85 කට පමණ පෙර ඕස්ට්‍රේලියා භූමියට කොටුවූ සතුන් අතර ප්‍රධාන ස්ථානයක් ගෙන තිබෙන්නේ ‘සේපාටිකයින්’ (marsupials) ලෙස හැඳින්වෙන, ගැහැණු සතාගේ  උදරයේ බාහිරව ඇති පැසක් (pouch)  තුළ තම පැටවුන් පෝෂණය කරනු ලබන සත්ත්ව කොට්ඨාශයයි. 

මෙයින් වඩාත් කැපී පෙනෙනුයේ කැන්ගරු වැනි තරමක් විශාල සතුන්ය. විවිධ සේපාටිකයින් විශේෂ සියයකට වැඩි ප්‍රමාණයක් ඕස්ට්‍රේලියාවේ සිටිති.  සේපාටිකයෝ ඉතා කෙටි කාලයක් පමණක් තම ගර් භාෂය  තුළ කළල අවස්ථාව දරා සිට නොමේරූ පැටවා බිහි කරයි. මෙම පැටවා මවගේ පැස (pouch) තුලට රිංගා එය තුළ වැගිරෙන කිරි උරාබී වර් ධනය වේ. 

එමෙන්ම (නිව් ගිනි දේශය හැර) ලෝකයේ වෙනත් කිසිදු ප්‍රදේශයක  දකින්නට නොලැබෙන මොනොට්‍රිම්ස් (Monotremes) නමැති සත්ත්ව කාණ්ඩයට අයත්  ‘ප්ලැටිපස්’ (platypus) සහ ‘එකිඩ්නා’ (echidna) යන ඉතාමත් සුවිශේෂී සත්ත්ව විශේෂ දෙකක්ද ඕස්ට්‍රේලියාවේ සිටිති. ‘බිත්තර දමන ක්ෂීරපායීන්’ ලෙස හඳුන්වන  මෙම සතුන්, පක්ෂීන් හෝ උරගයින් මෙන් බිත්තර දැමීම ඉතාමත් සුවිශේෂී ලක්ෂණයකි.  මෙම බිත්තර පිපිරීමෙන් පසු පිටතට පැමිණෙනුයේ තරමක් වර්ධනය වූ පැටවුන්ය. 

බිත්තර දමන ක්ෂීරපායි සත්තු 

මේ අතර පරිණාමයෙන් වඩාත් වැඩිදියුණු තත්ත්වයක සිටින. ගර් භාෂයේ පිහිටි වැදෑමහ (placenta) තුළ පෝෂණය ලබන පැටවුන් බිහි කරන, විශාල ක්ෂීරපායින් මෙම භුමියේ මුල් සතුන් අතර නොසිටීමද තවත් ලක්ෂණයකි. 

අතීතයේ සිටින්නට ඇතැයි සාධක තිබෙන වැදෑමහ ක්ෂීරපායින්ගෙන් දැනට ඕස්ට්‍රේලියාවේ ඉතිරි වී සිටිනුයේ, වවුලන් සහ ගෘහාශ්‍රීත  මීයන් වැනි කුඩා ක්ෂීරපායි විශේෂ කිහිපයක් පමණකි. වවුලන් ආසියාකරයේ සිට පියාසර කර සංක්‍රමණය වී ඇති අතර, මීයන් මුහුදු යාත්‍රා වල සැඟවී සිට ගොඩබිමට පැමිණෙන්නට ඇති බවද විශ්වාස කළ හැකිය. ලොව පුරා විසිරී සිටින ක්ෂීරපායීන්ගෙන් 95 % පමණ වැදෑමහ ක්ෂීරපායි ගණයට අයත් වෙති. ගර් භාෂය තුල පෝෂණය වූ හොඳින් වැඩුණු පැටවුන් බිහි කරන්නාවූ මෙම ජීවී කොට්ඨාශයට මිනිසාද අයත් වේ.

මුල් වකවානු වලදී ඕස්ට්‍රේලියානු භුමියේ සිටි බවට සාක්ෂි තිබෙන  වෘකයෙකු වැනි ස්වරූපයක් සහිතවූ  ‘තයිලසීන්’ (thylacine) –Thylacinus cynocephalus නමැති  එකම සේපාටික විලොපියයා, මිනිසා විසින්   දඩයම් කිරීම නිසා, 1936 දී පමණ වඳවී ගොස් තිබේ. මේ ආකාරයටම ඕස්ට්‍රේලියාවේ සිටි ‘තස්මේනියානු යක්ෂයා’ යන අන්වර් ථ නාමයකින්ද  හැඳින්වූ, පොළොවේ ගුහාවල ජීවත්වන,‘තස්මේනියානු වෘකයා’ (Tasmanian wolf) නමැති   මාංශ භක්ෂක සේපාටිකයා (Sarcophilus harrisii), ඕස්ට්‍රේලියා භූමියෙන් වඳවී ගොස් ඇතත් තස්මේනියා දූපතේ ස්වල්ප වශයෙන් සිටින, වඳවී යාමේ තර් ජනයට ගොදුරුවූ සතෙකි.

ඕස්ට්‍රේලියා දේශයේ  මුල් පදිංචි කරුවන් වන ඇබෝරිජන් ගෝත්‍රිකයින්, තම පරිසරයේ සතා සීපාවන්, ගහකොළ සහ ස්වාභාවික සම්පත් සමග යහපත් අන්‍යෝන්‍ය සම්බන්ධතා ඇතිව වසර 40,000 කට වැඩි කාලයක් ජීවත්වී ඇත. ඔව්හු සමහර ස්වාභාවික සම්පත් දේවත්වයේ ලා සැලකූ අවස්ථා ගැනද අසන්නට ලැබේ. මේ අතර දැනට වසර 5000 කට පමණ ඉහතදී  දේශාටනයේ යෙදුන ආසියානු නාවිකයින් විසින්, වෘක සම්භවයක් සහිතයයි සැලකෙන  සුනඛ විශේෂයක්  වන, ‘ඩින්ගෝ’ (dingo)Canis lupus dingo, ඕස්ට්‍රේලියා භූමියට ගෙනැවිත් තිබේ. ඉක්මණින්ම වල් වැදී ඇති මෙම සුනඛයින් අධික ලෙස බෝවී, විලොපියයන් (predators) බවට පත්වී ඇත.  ඉහත සඳහන් කළ මාංශ භක්ෂක  ‘තස්මේනියානු යක්ෂයාද’ වඳවී ඇත්තේ මොවුන්ගේ ගොදුරු බවට පත්වීම නිසා බවද විශ්වාස කෙරේ.                                                                                                        

යුරෝපීයයන්ගේ පැමිණීම සමග සිදුවූ ජෛව විවිධත්ව විපර් යාස 

දහඅටවන ශත වර් ෂය වනවිට යුරෝපීය දේශ ගවේශකයින් විසින් ඕස්ට්‍රේලියා භුමිය සොයාගෙන තිබුණි. ආරම්භයේදී, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබූ නමගිය යුරෝපීය  අපරාධකරුවන් සිරකර තැබීමේ කඳවුරු පවත්වාගෙන යාම පිණිස මෙම භුමිය භාවිත කර ඇත. දැනට දශක කිහිපයකට ඉහතදී  යුරෝපාකරයේ සිදුවූ කාර් මික විප්ලවයත් සමග, විශේෂයෙන්ම කෘෂිකාර් මික අංශයේ රැකියා අහිමි වූ පිරිස් නව භූමියක් වූ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන්නට වූහ. 19 වන සිය වසේ මුල් කාර් තුව වනවිට නව ගම් බිම් සොයා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ මිනිස් කණ්ඩායම් ක්‍රමක්‍රමයෙන් වැඩිවන්නට විය. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය යටත් විජිත පරිපාලනය, මෙම සංක්‍රමණ වැඩි වැඩියෙන් උනන්දු කරවීම සඳහා  දිරි දීමනාද ප්‍රදානය කර ඇති බව වාර් තා වී තිබේ.

මෙතෙක් යහපත් සමතුලිතතාවයක තිබුණු රටෙහි පරිසරය සහ ජෛව විවධත්වය, යුරෝපීයයන්ගේ  සංක්‍රමණයත් සමග  ව්‍යාකුල භාවයකට පත්වන්නට විය. විශේෂයෙන්ම සංක්‍රමණිකයින් විසින් රට තුළට ගෙන එන ලද ඔටුවන්, අශ්වයින්, ගව සහ බැටළු ආදී විශාල සතුන්ද  බල්ලන්, බළලුන් සහ හාවන් වැනි සුරතල් සතුන්ද, මිලියන ගණනක් විය. මොවුන්ගෙන් වල්වැදුණු  සතුන් විලොපියයන් විරල ඕස්ට්‍රේලියා භුමිය තුළ ශීඝ්‍රයෙන් බෝ වන්නට විය. උදාහරණයක් වශයෙන්, 1840 වර් ෂය  පමණ වනවිට රටෙහි මහාමාර් ග නොතිබුණු නිසා, රටෙහි  අභ්‍යන්තර ගවේෂණ කටයුතු සඳහා ගමන් පහසුව පිණිසත්, බඩු බාහිරාදිය ප්‍රවාහනය සඳහාත්  ඔටුවන් සහ අශ්වයින් යොදා ගන්නා ලදී. එක් වාර් තාවක සඳහන් වන පරිදි 1840 සහ 1900 කාලය තුළදී ඔටුවන් 20,000 පමණ විදේශවලින් රටට ගෙනැවිත් තිබේ. මෙම ඔටුවන් බහුලව ගෙනගොස් තිබෙන්නේ දකුණු ඔස්ට්‍රේලියාවටය. මොවුන්ගෙන් බෝ වූ,  වල් වැදුණු (feral) ඔටුවෝ, දැනට ඕස්ට්‍රේලියාවේ මිලියනයක් පමණ සිටිති. පූර් ණ ශාක භක්ෂකයෙකු  වන  ඔටුවෙකු දිනකට  කිලෝමීටර 70 ක පමණ දුරක් ඇවිදිමින් ශාක බුදින බව සොයාගෙන තිබේ. මොවුන්  මගින් සිදුවන ශාක විනාශය අති මහත්ය. මෙය ජෛව විවිධත්වයට විශාල හානියක් සිදුකළ එක් උදාහරණයක් පමණකි. වල් වැදුණු අශ්වයින් පිළිබඳවද මෙවැනි ඉතිහාසයක් තිබේ.

ඕස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා 1850 කාලයේදී සංක්‍රමණය වූ අය, තම විනෝදාත්මක දඩයම් කටයුතු සඳහා යුරෝපීය රතු  හිවලුන් (Vulpes vulpes) ඕස්ට්‍රේලියාවට ගෙනෑවිත් වනාන්තරවල මුදා හැර තිබේ. මෙසේ වල් වැදුණු හිවල් ගහණය අද මහත් බරපතල ජෛව විවිධත්ව තර් ජනයකි. දැනට වසර කිහිපයකට පෙර  ජෛව සංරක්ෂණ ආයතනයක් මගින් කර තිබෙන අධ්‍යයනයකට අනුව වල්වැදී ඇති රතු හිවලුන් මිලියන 1.7 පමණ සිටින බවත්, ඔවුන් විසින් වසරකට දේශීය  කුඩා ක්ෂීරපායින්, පක්ෂීන් සහ උරගයින්  මිලියන 300 ක් පමණ මරා දමන බවද  හෙළිවී තිබේ.වල් වැදුණු බළලුන් විසින් කරනු ලබන හානියද මෙයට එකතු කළ විට විනාශකර දමන කුඩා සතුන් සංඛ්‍යාව වසරකට බිලියන 2.6 පමණ වන බව ගණනය කර තිබේ. මේ ආකාරයට හිවලුන් සහ වල් වැදුණු බළලුන් විසින් දඩයම් කිරීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ දෙශීය කුඩා ක්ෂීරපායි සතුන් විශේෂ 34 ක් පමණ වඳවී ගොස් ඇති බවද  හෙළිවී තිබේ.

මේ ආකාරයට වල් වැදුණු හාවුන්, බල්ලන් සහ බළලුන් සංඛ්‍යාව මෙතෙකැයි කිව නොහැකි තරම්ය. මෑතදී කරන ලද අධ්‍යයනයකට අනුව වල් වැදුණු බළලුන් මිලියන හයක් පමණ සිටින බව දැක්වේ. 

මෙසේ ආරම්භවූ අශුභවාදී මිනිස් සහ සත්ත්ව ආක්‍රමණ වලට විරුද්ධව ආදිවාසිකයින් විසින් නොයෙක් අවස්ථා වලදී කරුණු ඉදිරිපත් කරමින් හඬක් නැගුවද එම හඬට කිසිවෙකුගේ අවධානය යොමු කර අවශ්‍ය පියවර ගෙන නොමැති බව පෙනේ. 

ආරම්භක සංක්‍රමණිකයින් විසින් ගව පාලනයද  ආරම්භ කර, ගංගා නිම්න සහ පහත් බිම් ආශ්‍රීතව   කෘෂිකාර් මික කටයුතු කරගෙන යමින්  ගවයින් සඳහා තණබිම් සංවර්ධනය ගැනද සිත් යොමු කළහ. මේ වනවිට සුරතල් සතුන්  ලෙස ගෙනෙනලද හාවුන් බොහෝ දෙනෙකු වල් වැදී ශීඝ්‍රයෙන් බෝ වී රටපුරා විසිරී යන්නට පටන් ගෙන තිබුණි. හාවුන්ගෙන් සිදුවන වගා හානි                   මැඩපැවැත්වීම සඳහා  බොහෝ ගොවියෝ තම ගොවි බිම් වටා ආරක්ෂක කම්බි දැල් සහිත වැටවල් සකස් කිරීමට පටන් ගත්හ. මෙම ක්‍රමෝපායේ සාර් ථක භාවය නිසා, කල්යාමේදී බොහෝ ප්‍රදේශ වල යාබද පිහිටි ගොවිපළ යාකර,   කිලෝමීටර දහයක් දොළහක් පමණ දිග, වල් හාවුන් මැඩලීමේ ආරක්ෂක වැටවල්ද ඉදිවිය. 

වගා කටයුතු වල නියැලුණු අතමිට සරු යුරෝපීය සංක්‍රමණිකයෝ ආදායම් මාර් ග තරකර ගැනීම සඳහා තම ගොවි බිම් පුළුල් කර බැටළුවන් ඇතිකිරීමටද  පටන් ගත්හ. මේ සඳහා විශාල වශයෙන් යුරෝපීය බැටළුවන් ආනයනය කරන ලදී. සමහර ධනවත් ව්‍යාපාරිකයෝ  කඩිණමින්ම තණබිම් බහුල දකුණු ක්වීන්ස්ලන්තය, නිව් සවුත් වේල්සය, වික්ටෝරියා  සහ බටහිර ඕස්ට්‍රේලියාව යන ප්‍රාන්තවල රජයේ ඉඩම් බද්දට ගෙන විශාල එළු, බැටළු ගොවිපළ ආරම්භ කළහ.  වර් ෂ 1890 පමණ වන විට ඕස්ට්‍රේලියාවේ බැටළුවන් මිලියන 70 කට වඩා සිටි බව  වාර් තා කර තිබේ. ඒ කාලයේ සිට මේ දක්වාම  ලෝකයේ බැටළු ලොම් සහ බැටළු මස් නිෂ්පාදනයේ ප්‍රමුඛයා බවට ඔස්ට්‍රේලියාව පත්වී සිටී. මෙය ඉතාමත් සාර් ථක ආදායම් මාර් ගයක් විය. ඔවුන්ගේ ගොවිපළවල සිටි  කර් කශ දේශගුණයට පහසුවෙන්    අනුවර් තනය වන එළුවන්ද,  මිනිසාගේ ආහාරය සඳහා කිරි සහ මස් සපයන ලාභදායි සත්ත්ව කොට්ඨාශයක් විය. මෙම සත්ත්ව පාලන කටයුතු වල සාර් ථකත්වය නිසා රටෙහි ආර් ථිකයද ශක්තිමත් විය.  

        සත්ත්ව ගොවිපළ වලට ‘ඩින්ගෝ සුනඛ’ තර්ජනය.

එළු, බැටළු ගොවිපළ ව්‍යාප්ත වත්ම, වන වැදී සිටි ගොවිපළ වලට රහසේ ඇතුල්වී බැටළු පැටවුන් සහ එළු පැටවුන් දඩයම් කිරීම ආරම්භ කළහ. ඩින්ගෝ සුනඛමොවුන්ට කැන්ගරු හෝ වෙනත් සේපාටිකයින්ගේ මස් වලට වඩා එළු, බැටළු මස් ප්‍රණීත ආහාරයක් වන්නට ඇත. ගොවිපළ හිමියෝ එළු, බැටළු පැටවුන්  ආර ක්ෂිත කූඩුවලට දැමීම ආරම්භ කළ විට, ඩින්ගෝ සුනඛයෝ වැඩුණු එළුවන් සහ බැටළුවන් පවා දඩයම් කිරීම ආරම්භ කළහ. කල්යාමේදී මෙය සත්ත්ව  ගොවිපළ වලට මහත් තර් ජනයක් වූ බැවින් ඩින්ගෝ සුනඛයින් වෙඩිතබා විනාශ කිරීමද ආරම්භ විය. එහෙත් අධික ලෙස බෝවී සිටි  වල් වැදුණු  ඩින්ගෝ සුනඛයින් පාලනය කිරීම මහත් ගැටළුවක් විය. දළ ගණනය කිරීම් වලට අනුව ඕස්ට්‍රේලියාවේ වනාන්තරවල ඩින්ගෝ සුනඛයෝ 30,000 ක් පමණ සිටිති. මොවුන් උග්‍ර මාංශ භක්ෂකයින් නිසා දේශීය  සේපාටික මීයන්, ඌරු මීයන් වැනි කුඩා ක්ෂීරපායි සතුන්ද  මරා දමති. බැටළු මස් ප්‍රිය කරන  ඩින්ගෝ සුනඛයෝ ගොවිපළ වලට රිංගා බැටළුවන් විනාශ කිරීම, සත්ත්ව  ගොවිපළවලට  ඉමහත් කරදරයක් බවට පත්විය.

        ‘ඩින්ගෝ සුනඛ’ මැඩලීමේ  ආරක්ෂිත වැටක් සකස් කිරීම 

ඔස්ට්‍රේලියාවට ආගන්තුක (යුරෝපයෙන් ගෙන්වන ලද) සමහර  සතුන්ට වඩා  වල් වැදුණු මාංශ භක්ෂක බළලුන් සහ සර් ව භක්ෂක හිවලුන්ගෙන් රටෙහි සමතුලිත තත්ත්වයක පැවති ජෛව විවිධත්වයට බරපතල හානි සිදුවන්නට විය. එහෙත් මුල් වකවානු වලදී, එය මැඩපැවැත්වීම සම්බන්ධයෙන්  සුදුසු පියවර ගත් බවක් සඳහන් නොවේ. 

පසුව ඩින්ගෝ සුනඛයින්ගෙන් සිදුවන උග්‍ර බැටළු දඩයම නිසා, හටගත් ආර් ථික පරිහානිය ගැන ගොවිපළ හිමියෝ ක්ෂණික ප්‍රතිචාර දක්වන්නට පටන් ගත්හ. ඩින්ගෝ සුනඛයින් වෙඩි තබා මරා දැමීම පමණක් ඔවුන්ගේ ගැටලුවට පිළියමක් නොවන බව පැහැදිලි විය.  ගොවියන් සහ ප්‍රාදේශීය බලධාරීන් විසින් ආක්රමණශීලී ඩින්ගෝ සුනඛයින් මැඩලීම සඳහා විවිධ යෝජනා ඉදිරිපත් කරන ලදී. මෙයින් බොහෝ දෙනා පිළිගත් උපක්‍රමය වුයේ ‘ඩින්ගෝ සුනඛ’ මැඩලීමේ  ආරක්ෂිත වැටක් සකස් කිරීම විය. කළකට පෙර සිට ආක්‍රමණශීලී හාවුන්ගෙන් වගාවලට සිදුවූ හානි වලක්වා ගැනීම සඳහා සකස් කර ඇති ‘හාවුන් මැඩලීමේ වැට’ සාර් ථක පියවරක් බව ඔව්හු පිළිගත්හ. 

මේ වන විට කෘෂිකාර් මික සහ සත්ත්ව පාලන කටයුතු  බහුලව තිබුණු දකුණු ක්වීන්ස්ලන්තය, නිව් සවුත් වේල්සය,  සහ දකුණු ඔස්ට්‍රේලියාව යන ප්‍රාන්ත, බැටළු ගොවිපළ සහිත ප්‍රදේශ බව ප්‍රකාශයට පත්කරන ලදී. මෙම ප්‍රාන්ත වලට මැදිවී තිබෙන වික්ටෝරියා ප්රාන්තයද ඇතුළුව එම ප්‍රදේශය රටෙන් තුනෙන් එකක් පමණ විය. ‘ඩින්ගෝ සුනඛ’ මැඩලීමේ වැට, හාවුන් මැඩලීමේ වැටට වඩා ශක්තිමත් හා උසින් වැඩි එකක්ද විය යුතු බවටද තීරණය විය. 

මෙම වැට නිර් මාණය කිරීම සඳහා  ගොවිපල හිමියන්ට, ප්‍රාන්ත පරිපාලකයින්ගේ අනුග්‍රහය සහ මූල්‍ය ආධාරද ලැබිණ. යෝජිත ඩින්ගෝ සුනඛ වැටට මැදි වන ප්‍රදේශය ‘බැටළු ගොවිපල ආර ක්ෂිත ප්‍රදේශය’ ලෙසද රටෙහි ඉතිරි කොටස “ඩින්ගෝ සුනඛ වාසී” ප්‍රදේශය ලෙසද හඳුන්වන ලදී. බැටළු ගොවිපල ආර ක්ෂිත  ප්‍රදේශයේ, ඩින්ගෝ සුනඛයින් වෙඩි තබා මරා දැමීමටද රජයෙන් අවසර ලැබිණ. 

විසිවන ශතවර් ෂය මුල් කාලයේදී ආරම්භ කරන ලද ඩින්ගෝ සුනඛ වැට සකස් කිරීමේ කටයුතු විධිමත් අයුරකින් සිදු නොවීය.  මෙම වැට සකස් කිරීම වියදම් අධික ‘පිරිවැය ඵලදායී නොවන’ (non-cost effective) ව්‍යායාමයක් බවටද මතයක් ගොඩ නැගුණි. පසුව ඩින්ගෝ 

සුනඛයින්ගෙන් සිදුවන බලවත් ආර් ථික හානිය සැලකිල්ලට ගත්  ප්‍රාන්ත රජයයන්ද, එම ආරක්‍ෂිත වැට ඉදිකිරීමේ කාර්‍යය කඩිනම් කිරීමට පියවර ගන්නා ලදී.

මේ අනුව 1915 පමණ වන විට ඩින්ගෝ සුනඛ වැටෙහි ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කර 1950 වනවිට සම්පූර් ණ කිරීමට හැකිවී තිබේ. කෙසේ වෙතත් මෙම වැට, ඒ කාලයේදී  ‘පිරිවැය ඵලදායී’ එමෙන්ම රටට ආර් ථික වාසි ගෙන දෙන ආශ්චර් යමත් නිමැයුමක් බව කාටත් පිළිගැනීමට සිදුවිය.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ බ්‍රිස්බේන් නගරයට දකුණෙන් පිහිටි, ‘ජිම්බෝර්’ (Jimbour) ගම්මානයේ බැටළු ගොවිපලක සීමාවෙන් ආරම්භ වන ‘ඩින්ගෝ සුනඛ වැට’, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ දේශ සීමා ඔස්සේ වැටී, දකුණු ඕස්ට්‍රේලියා  ප්‍රාන්තය හරහා තියුණු වංගු සහිත, අක්වක් (zig zag) මගක් ගෙන දකුණු ඕස්ට්‍රේලියා සාගර බොක්කේ,  ඇති විශාල  ප්‍රපාත සහිත ‘නුල්ලබෝර්’  (Nullarbor) තැනිතලාවෙන් අවසන් වේ. (ඉහත සිතියම බලන්න) 

 

ඩින්ගෝ සුනඛ වැට, ලෝකයේ ඇති,  දිගම වැට ලෙස වාර් තාවක්ද තබා තිබේ. එය කිලෝ මීටර් 5614 දිගින්  යුක්ත වන අතර දැනට ශතවර්ෂයක වැඩි කාලයක සිට එමගින් ඕස්ට්‍රේලියා මහාද්වීපය දෙකට බෙදී  තිබේ. මිනිසා විසින් පෘථිවියේ සකස් කර තිබෙන දිගම ව්‍යූහයන් අතුරෙන් ඩින්ගෝ සුනඛ  වැට  දෙවෙනි වන්නේ චීන මහා ප්‍රාකාරයට පමණකි. ආර් ථික වාසි පමණක් සැලකිල්ලට ගෙන සකස් කරනලද ඩින්ගෝ සුනඛ වැට, කෘතීම බාධකයක් ලෙස සැලකිය හැකිය. එසේ වුවද, එම වැට සකස් කර, දශක හත අටකට පසු ආපසු හැරී බලන විට එමගින් තදබල ජෛව විවිධත්ව පරිහානියක් සිදුවී ඇති බව හඳුනාගෙන තිබේ. මේ පිළිබඳව නුතන පරිසරවේදීන් විසින් ඉදිරිපත් කර තිබෙන නිරීක්ෂණ දැනට සැලකිල්ලට භාජන වෙමින් පවතී. 

දයාරත්න වීරසේකර

 

Don't forget to share this post!

Recent Posts

19ae98ba88b71fcc209657ab48e27f64
July 24, 2024