සිතින් නොමියෙන පැරණි ​මතකයන්

  • Home
  • /
  • Blog
  • /
  • සිතින් නොමියෙන පැරණි ​මතකයන්

” බිරිඳත් පුතාත් ඉතාලි කාරයො අතර සිටිය දී නිවටයෙකු වගේ අත් දෙක වන වනා එන්නෙ නැතිව තමාගේ බිරිඳත් දරුවාත් ලබා ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් මහා සටනක් කොට ලංකාවට ආ මගේ පුතා ගැන මම ආඩම්බර වෙනවා……. තිස්සමහාරාම මාගම පාරෙ ගල්විල්ලාවේ දොන් දාවිත් ඒකනායක මහතා මහත් උද්දාමයෙන් කියමින් වටපිට බැලුවේය.

ගල්විල්ලාව ගමේ වැසියෝ දාවිත් මහතාගේ ප්‍රීතියට හවුල් වෙමින් සිය අසල්වැසියෙකුගේ පුතකු රටට ගෙන දුන් ප්‍රසිද්ධිය පිළිබඳව සතුට පළ කළහ.

ඉතාලි ගුවන් සමාගමකට අයත් ජම්බෝ ජෙට් යානයක් පැහැරගෙන සිය ඉල්ලීම් දිනාගත් ශ්‍රී ලාංකික සේපාල ඒකනායකගේ කතා පුවත ඔහුගේ පියා වූ දොන් දාවිත් ඒකනායක මහතා අපට හෙළි කළේ විටෙක කඳුළු හෙළමිනි. විටෙක සිනාසී උස් හඬිනි.

සේපාල උපන්නේ 1949 දී හක්මන, කැඹිලිය පොළ දීය. ඔහු ඉපදි අවුරුදු 4 කට පසු ඔහුගේ මව් දෝන සුසානා සමර වික්‍රම ජයවර්ධන මහත්මිය මිය ගියාය. හෙට්ටියවෙල විදුහලේ 5 ශ්‍රේණිය සමත්වන තුරු උගත් ඔහු මහ දඟයකු ලෙස ප්‍රසිද්ධ වී සිටියේය.

ඔහුගේ දඟකාරකම් පියා විස්තර කළේ මෙසේය.

“හෙට්ටියවල විදුහල්පති වෙලා හිටියෙ අපේ මල්ලි කෙනෙක්. සේපාල පාලනය කරන්න අමාරුයි කියල දවසක් මට විදුහල්පතිගෙන් ලියුමක් ආව. මම ගියා ස්කෝලෙට. මට කිව්වා සේපාල දඟ වැඩියි පාලනය කිරීම අමාරුයි ස්කෝලෙන් අස් කරන්න කියලා. මම ඒකාලෙ පදිංචි වෙලා හිටියෙ තිස්ස. මම කිව්ව එහෙනම් මගෙ කොල්ල තිස්සට එක්ක යනව කියල. කොල්ල මම තිස්ස යෝධ කණ්ඩිය විදුහලට ඇතුළු කළා. උදේට මම සේපාල බයිසිකලෙන් ස්කෝලෙට එක්ක යනව හවසට එක්ක එනව නැත්නම් මිනිහ පාරෙදි කොල්ලො එක්ක රණ්ඩු වෙන්න පුළුවන්. ඔය විදියට 8 වැනි පන්තියට යනතුරු ගියා.

දවසක් දා මට යෝධ කණ්ඩියේ විදුහල්පතිගෙන් ලියුමක් ආවා. ඔහු හමුවන ලෙස කියා තිබුණා. විදුහල්පති මා දුටු වහාම මෙහෙම කිව්වා.

ඔහේගේ පුතා නිසා මේ ළමයින් දහස් ගණනකගේ ජීවිත විකාශ වෙනවා දහස් ගණනක් ජීවිත බේරාගෙන මේ ළමයා පාසලෙන් අස් කිරීම සේවයක්.

එතකොට මම අහුවා ” මොකක්ද කොල්ලගේ වරද” කියා. සේපාල ඉන්නෙ බංකුව මැද. දෙපැත්තේ ළමයි ඉන්නවා. ඩෙස්කුව ඉදිරිපිටින් තිබෙනවා. මම සේපාලට කතා කළාම එයා දෙපැත්තෙ ඉන්න ළමයින් අතරින් එන්නෙ නැතුව ඩෙස්කුවට නැගල පැනගෙන එනවා. ආපසු යන්නෙත් ඩෙස්කුවට නැඟල. මේක වැරදියි. ළමයි හිනා වෙනවා. එපා කියල මම කිව්ව්වට ගණන් ගන්නෙ නැහැ. මුළු පාසල මේක දැකල හිනා වෙනවා. අපට ළමයි පාලනය කර ගන්න බැරුව යනවා. පන්තියට එන ගුරුවරුන් සවුත්තු කරන්න ප්‍රශ්න අසනවා. ළමයි හිනා වෙනවා. මේ වගේ ළමයි තියාගෙන වැඩ කරන්න බැහැ….. විදුහල්පතිතුමා දිගට ම කියාගෙන ගියා.

එතකොට මම ඇහුවා “ළමය ප්‍රශ්න අහන එක නරක ද කියල.

” නරක නැහැ. නමුත් සේපාල ප්‍රශ්න අහන්නේ ගුරුවරු සවුත්තු කරන අදහසින් විදුහල්පති උත්තර දුන්නා.

” සේපාලට අනුගාමිකයන් වැඩියි. ඒ මිනිහගෙ විදියට හැදෙන්න අනෙක් ළමයින්ටත් ඕන වෙලා. මේක අපරාධයක්. අපි මෙයා පාසලෙන් අයින් කරන්න ඕන ” විදුහල්පති කී විට මාත් කීවා ” ඔව් මේ ළමයා පාසලෙන් අස් කරල දාන්න. මම මෙයා ගෙදරිනුත් අස් කරනවා.”

එතකොට විදුහල්පති කල්පනා කරන්න පටන් ගත්තා. ටික වේලාවකට පසු ඔහු කිව්වා. “කමක් නැහැ අපි මේ ළමයා හදා ගනිමු. ඌ බුද්ධිමත්, දඟකාරකම තමයි නරක. අපි දෙගොල්ලම එකතුවෙලා කොල්ලව හදාගනිමු ” කියල ඊට පසු ද සේපාල පාසල් ගියා. ඉගෙනීමේ දී පහළට වැටුණෙ නැහැ. ඒ වුණාට සේපාලට ඉගෙනීමට උනන්දුවක් තිබුණෙ නැහැ. ක්‍රීඩා වලට උනන්දුයි. ඒ වුණාට තරගෙට දුවල දිනන්න එයාට ඕන නැහැ.

අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයට ගියා පාස් වුණාද, නැද්ද කියලවත් මම දන්නෙ නැහැ. අපට එයා ඒව කියන්නේ නැහැ.

පුතා මා ඉදිරිපිට කීකරුයි. ගෙදර වැඩපළට හවුල් වෙනව. පාසලෙන් අස් වුණාට පස්සෙ ගමේ සුදු පිටි වලට ගිහින් බලාගෙන ඉන්න පුතා පුරුදු වුණා මම එයාට අවවාද කළා. දවසක් දෙකක් අවවාද පිළිපදිනවා. ආයෙත් යනව දවසක් මගෙ අතට අහුවුණා. මට කේන්තියි. මම කිව්වා ” පලයන් ඕන දිල්ලියකට ” කියල යන්න මුදල් පවා දුන්නා. මාතර පුංචි තාත්තගෙ ගෙදර නැවතිලා බාහිර පන්ති වලට ගිහින් ඉගෙන ගන්න ඊට පස්සෙ පටන් ගත්තා.

1974 දී විතර මට පුතාගෙන් ලියුමක් ආවා. රට යන්න සල්ලි ඉල්ලල. එක එක්කෙනා ලව්ව සල්ලි ඉල්ලල්ල පණිවුඩ එව්ව. මම කිව්ව දෙන්න බෑ කියල. දුන්නෙ නැහැ. ඒ වුණාට සේපාල කොහොම හරි රට ගියා. කොහොම ගියා ද කියල අපි දන්නෙ නැහැ.

ඊට පසුව මට ලියුම් එව්වෙ නැහැ. කිසිම සම්බන්ධයකුත් නැහැ.

ඉතාලියේ ගැහැනු ළමයකු සමඟ පුතා විවාහ වුණා. ජෝඩුව ලංකාවට ඇවිත් මාතර පුංචි තාත්තලාගේ ගෙදර ඉන්න බව මට ආරංචි වුණා. මට හිතුණා පුතා බලන්න. මා ගියා. මම එන බව දැනගෙන සේපාල එයාගේ නෝනත් එක්ක වෙනත් පළාතකට ගියා. පුතා බලන්න මම හරිම ආසාවෙන් ගියෙ. නමුත් පුතා පලා ගියා. මට දුකයි. මට ආරංචියි සේපාල අපේ ගමේ අල්ලපු ගෙවල් වලටත් ඇවිත් යන බව. මම කවදාවත් ඒ ගෙවල් වලට ගියෙ නැහැ පුතා බලන්න. පුතා වුණත් මට නිවට වෙන්න බැහැ.

පුතාගේ අතේ සෑහෙන්න මුදල් ගැවසෙන බව ගමේ මිනිස්සු කියනවා. මගේ පුතා මුදල් හදල් ඇතුව සතුටන් ඉන්නවා නම් ඒක මට සතුටක්

දොන් දාවිත් ඒකනායක මහතා සේපාල ගුවන් යානයක් පැහැර ගැනීම් පිළිබඳ පුවත දැනගත්තෙ ගුවන් විදුලියෙනි. 1982. 06. 30 දා ගුවන් විදුලි ප්‍රචාරයට පෙර එදින දහවල් පොලිස් නිලධාරීහු කීප දෙනෙක් පැමිණ සේපාල පිළිබඳ තොරතුරු විමසූහ.

අනුමානයක් නැහැ මොකක් හරි ලෙඩක් දාගෙන ඇති ” යි පියා සිතුවේය. එසේ සිතන අතර ගුවන් විදුලියෙන් සේපාලගේ ගුවන් යානා පැහැර ගැනීමේ පුවත ඇසිණ. ප්‍රවෘත්තිය ඇසූ මොහොතේ සිට ඔහුගේ සිත අබිමානයෙන් පිරි තිබුණි.

නිවටයකු නොවී සැබෑ වීරයකු ලෙස එන නිසා මගේ පුතාත්, ඔහුගේ බිරිඳත්, දරුවාත් මා ඉතා ආදරයෙන් පිළිගන්නවා ” යි දොන් දාවිත් ඒකනායක මහතා අවසන් වරට කීය.

සේපාල සමඟ මාතර දී එක කාමරයක් තුළ නතර වී අධ්‍යාපන කටයුතු වල යෙදුණු ඔහුගේ සහෝදරයකු වන විජේසිරි ඒකනායක මහතා සිය සහෝදරයා සිහි කළේ මෙසේය.

සේපාල අයිය මොන යකෙකුටවත් බය නැහැ. පුදුම ආත්ම ශක්තියක් තිබුණ. මතක තබා ගැනීමේ ශක්තිය ඉහළයි. සමහරදාට මට පාඩම් කියා දෙනවා. උනන්දුවෙන් ඉගෙන ගත්තා නම් හොඳ උගතෙක් වෙන්න තිබුණ. පන්ති යනව කියල ගිහින් යාළුවන්ගේ මෝටර් සයිකල් ඉල්ල ගෙන රවුම් ගහනවා. සයිකල් අතට ගත්තම මහපාර එයාගෙ. පවන වගේ වේගයෙන් පියාඹා යනවා. බලන් ඉන්න බයයි.’

සේපාලට සත්‍යපාල ඒකනායක නමැති සහෝදරයෙක් ද ඉන්ද්‍රානි ඒකනායක නමැති සහෝදරියක් ද වෙති. සත්‍යපාල පාසල් ගුරුවරයෙකි.

සේපාලත් සමඟ එකට පාසල් ගිය යෝධ කණ්ඩියේ මිතුරකුගෙන් ඔහුගේ ජීවිතය තවත් පැත්තක් ගැන අසන්නට ලැබිණ.

සේපාලට මවකගෙන් ලැබිය යුතු ආදරය කරුණාව උරුම වූයේ නැත. ඒ වෙනුවට වෙනස්කම්, කුරිරුකම්, ඇනුම් බැණුම් නිතර ලැබිණ. ඒ නිසාම ඔහුට ගෙදර ජීවත් වීම එපා වූ බවත් වැඩිහිටියන්ගේ අණසකට එරෙහිව යාමෙන් තෘප්තියක් ලබන්නකු වූ බවත් සේපාලගේ මිතුරා කීය

1982 07 04 ඉරිදා දිවයින පුවත්පතෙනි.

Don't forget to share this post!

Recent Posts

dream-about-scuba-diving.jpg
October 11, 2024