හමුදා නීතිය පැනවූ ද.කොරියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා

  • Home
  • /
  • News
  • /
  • හමුදා නීතිය පැනවූ ද.කොරියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා

රට තුළ දේශපාලන සහ පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් සියල්ල තහනම් කරමින් රටට හමුදා නීතිය පැනවීමට දකුණු කොරියානු ජනාධිපතිවරයා ගත් තීන්දුව ඔහු විසින්ම හකුලාගෙන තිබේ.

 

ඒ ඊට එරෙහිව එරට පාර්ලිමේන්තුව විසින් ගෙන ආ යෝජනාවක් සම්මත වීමෙන් අනතුරුවය.

 

උතුරු කොරියාවේ කොමියුනිස්ට් බලවේග මගින් ඇතිවිය හැකි ආපදාවලින් රට ආරක්ෂා කිරීම සඳහා රටට හමුදා නීතිය පනවන බව අගහරුවාදා (03) රාත්‍රියේ දී දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් හදිසියේ නිවේදනය කළේය.

 

ඒ අනුව ද.කොරියාව තුළ සියලු දේශපාලන සහ පාර්ලිමේන්තු ක්‍රියාකාරකම් තහනම් කෙරුණු අතර, වරෙන්තු නොමැතිව ඕනෑම අයෙක් අත්අඩංගුවට ගැනීමේ බලයද හමුදාව වෙත පැවරුණි.

 

එමෙන්ම හමුදා නීතිය යටතේ භාෂණයේ නිදහසද සීමා කෙරුණු අතර, මාධ්‍ය සඳහා ද දැඩි නීති පැනවීය.

 

ඒ අනුව විපක්ෂයේ සහ මහජනතාවගේ ප්‍රබල විරෝධය මධ්‍යයේ සෝල් හි පිහිටි පාර්ලිමේන්තුවට පිවිසීම අවහිර කරමින් හමුදාව ඒ වටා ස්ථානගත කෙරුණි.එමෙන්ම හමුදා සෙබළු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ද බලහත්කාරයෙන් ඇතුළු වී තිබුණි.

 

ඒ පිළිබදව හෙළිවීමත් සමග කොරියාවේ විපක්ෂ දේශපාලනඥයින් සහ ජනතාව මෙන්ම පාලක පක්ෂයේ ඇතැම් නියෝජිතයන් ද ඊයේ රාත්‍රියේම පාර්ලිමේන්තුව අවට රැස්වී ජනාධිපතිවරයාට බලකර සිටියේ මෙම නීතිවිරෝධී හමුදා නීතිය වහාම ඉවත් කරන ලෙසය.

 

දකුණු කොරියානු විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තු තාප්පයෙන් පැන පරිශ්‍රයට පිවිසි අයුරු ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කලේය.ඒ අනුව යමින් අනෙකුත් මන්ත්‍රීවරුන් ද හමුදා අණ නොතකා බලහත්කාරයෙන් පාර්ලිමේන්තු ගර්භයට පිවිසුණේ‍ හමුදා නීතිය ප්‍රකාශයට පත්කිරීම බලරහිත කිරීමේ යෝජනාවකට ඡන්දය භාවිත කිරීම සඳහාය.

 

ඒ අනුව පාර්ලිමේන්තුවේ නීති සම්පාදකයින් එහිදී හමුදා නීතිය ඉවත්කිරීමට අදාළ යෝජනාවක් සම්මත කරගත් අතර එයට පක්ෂව 190 දෙනෙකු ඡන්දය ලබාදී තිබුණු අතර, ඒ අතර පාලක පක්ෂය නියෝජනය කරන 18දෙනෙකු සිටීම විශේෂත්වයක් විය. 

 

ඒ අනුව  තමන් විසින්ම පැනවූ හමුදා නීතිය ඉවත්කිරීමට සිදුවිය.

 

කෙසේවෙතත් වහාම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති යුන් සුක් යෝල්ට බලකරමින් එරට ආරම්භ වූ විරෝධතා තවදුරටත් කොරියාව තුළ ක්‍රියාත්මක වෙමින් පවතී.

 

ජනාධිපති යුන් සුක් යෝල් පවසන්නේ උතුරු කොරියානු තර්ජන සලකා හමුදා නීතිය පැනවූ බවත් නමුත් මෙය ඔහුට එරෙහිව රට තුළින්ම මතුව ඇති දේශපාලන විරෝධතා සමනය කරගැනීම සඳහා ගත් පියවරක් බව බොහෝ පාර්ශ්ව  විවේචන එල්ල කරයි. 

 

මේ අතර එරට විපක්ෂය ඊයේ(04) ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් සභාගත කළ අතර පැය 72ක් තුළ ඒ සදහා ඡන්දයට ගැනීම ඔවුන්ගේ සැලසුම බව වාර්තා වේ.

 

දකුණු කොරියාව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසි 1987 වසරේ සිට අගහරුවාදා (03) දක්වා රටට හමුදා නීතිය පැනවූ පළමු අවස්ථාව මෙය වේ.

 

මේ අතර මෙම සිද්ධිය මුල්කරගෙන චෝදනාවට ලක්වූ දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වී ඇතත් එල්ලවන චෝදනාවලට ජනාධිපතිවරයා මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත.

Don't forget to share this post!

Recent Posts

coffee-cafe-1200x628-facebook-1200x628
January 10, 2025