හෙට දිනයේ (10) දී ශ්‍රී ලංකා යුධ හමුදාව 75වැනි සංවත්සරය සමරයි.

  • Home
  • /
  • News
  • /
  • හෙට දිනයේ (10) දී ශ්‍රී ලංකා යුධ හමුදාව 75වැනි සංවත්සරය සමරයි.

‘ජාතියේ ආරක්ෂකයා’ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 75 වැනි සංවත්සරය මේ මස 10 වැනි දිනට යෙදී ඇත. 

1949 ඔක්තෝබර් මස 10 වැනිදා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යුද හමුදාපතිවරයකු යටතේ ස්ථාපිත කර තිබුණ ද හෙළ රජ දවස පටන් ශ්‍රී ලංකාව විවිධ ආක්‍රමණිකයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සිංහල හමුදාවෝ ජීවිත පරිත්‍යාගයෙන් යුද පෙරමුණට ගිය බව ඉතිහාසයේ සඳහන් වෙයි.වර්තමානයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විවිධ ජාතීන්,ආගම් හා සංස්කෘතීන් නියෝජනය කරන ශ්‍රී ලාංකීය පුරවැසියන්ගෙන් සමන්විත වූ ප්‍රමුඛතම ආයතනයකි.එකමුතුවෙන් සහ නිවැරදි විනයෙන් යුක්තව වැඩකරමින් ශ්‍රී ලංකා යුධ හමුදාව ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් වී තිබේ.

ප්‍රථම යුද්ධ හමුදාපතිවරයා වන්නේ බ්‍රිගේඩියර් සින්ක්ලෙයාර් මහතා වන අතර වත්මන් යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතා මෙරට 24 වැනි යුද්ධ හමුදාපතිවරයාය. සෑම වර්ෂයකම යුද්ධ හමුදා සංවත්සරය සමරනු ලබන්නේ සර්ව ආගමික වතාවත්වලට මූලිකත්වය දෙමිනි.

ඒ අනුව මෙවරද 75 වැනි අභිමානවත් සංවත්සරය සමරමින් යුද්ධ හමුදාව සතු සියලු ධජයන්ට සෙත් පැතීම සිදු කෙරේ. ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව, අනුරාධපුර ජයශ්‍රීමා බෝ සමිඳුන්, කතරගම පුදබිම ඇතුළු අනිකුත් සර්ව ආගමික ස්ථානවලදී යුද්ධ හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදු කරනු ලබයි. විශේෂයෙන්ම තිස්වසරක බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සුවිශේෂී යුග මෙහෙවරක් සිදු කළේය. ඒ වගේම මානව දයාවෙන් පිරි සියලු ජාතීන්ට එකසේ සලකන අතිදක්ෂ හමුදාවක් ලෙස පසුගිය මානුෂීය මෙහෙයුමෙන් ලෝකයටම හඬගා කීවේය. ඒ ව‍ගේම රට තුළ සිදුවන හදිසි ජාතික ආපදාවන්වලදී මිනිස් ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම සඳහා මුලින්ම පෙරමුණට පිවිසෙන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවය.රටේ සංවර්ධන ක්‍රියාවලියටද සක්‍රිය දායකත්වයක් සපයන අප යුද්ධ හමුදාව සාම සාධක හමුදාවක් ලෙස විදෙස් රටවලට පවා තම සේවය ව්‍යාප්ත කර ඇත.

රෙජිමේන්තු 25කින් සමන්විත යුද්ධ හමුදාව සෑම රණවිරුවකුගේම සුබසාධනය වෙනුවෙන් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි. විශේෂයෙන්ම ඉකුත් යුද සමයේදී ජීවිත පූජා කළ රණවිරුවන්ගේ දරු පවුල්වල සුබසාධන කටයුතු සොයා බැලීමත්, රණවිරුවන් රැකබලා ගැනීම සහ ඔවුන්ගේ සමීපතමයින්ගේ සුබසාධනය සඳහා ද යුද්ධ හමුදාව නිරතුරුව ක්‍රියාකරමින් සිටී.

75වැනි අභිමානවත් සංවත්සරය සැමරීම සඳහා 10 වැනිදා උදේ යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයන් විශේෂ සැමරුම් උලෙළක් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී සිදු කෙරේ. තව සියවස් ගණනාවක් යනතුරා මේ මාතෘ භූමියට පැමිණෙන සතුරු කරදරවලින්,උපද්‍රවවලින් ශ්‍රී ලංකාව ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ශක්තිය ධෛර්ය ලැබේවා! 

Don't forget to share this post!

Recent Posts

8218D76D-5331-46CB-91A0-F8FFE9140F28
March 27, 2025