ඔස්ට්‍රේලියාව පුරා ක්‍රියාත්මක වන පරිදි හඳුන්වා දී ඇති නව AusAlert හදිසි අනතුරු ඇඟවීමේ පද්ධතියේ ජාතික පරීක්ෂණය අද (27 සඳුදා) දහවල් සිදු කෙරුණා. කෙසේ වෙතත්, මෙහිදී රටේ සෑම පුරවැසියකුටම මෙම අනතුරු ඇඟවීම නොලැබුණු බව වාර්තා වෙනවා.
මේ පරීක්ෂණය මොකක්ද?
සඳුදා දහවල් 2:00 ට (AEST) රට පුරා ජංගම mobiles, tablets සහ smartwatches වල තත්පර 10ක් ශබ්ද නගන අනතුරු ඇඟවීමක් නිකුත් කෙරුණා. දුරකථන Silent කර තිබුණද, මෙම අනතුරු ඇඟවීම උපරිම ශබ්දයෙන් ක්‍රියාත්මක වුණා.
මෙහිදී තිරය මත “TEST MESSAGE” සහ “NO ACTION IS REQUIRED” ලෙස සඳහන් Pop-up පණිවිඩයක් දිස් වුණා.
ඇතැම් අයට මේ Alert එක නොලැබුණේ ඇයි?
alert එක ලැබුණේ නව Cell Broadcast warning තාක්ෂණය සඳහා සහය දක්වන උපාංග වෙත පමණයි. ඒ අනුව පහත සඳහන් තත්ත්වයන් යටතේ පවතින දුරකථන වෙත මෙම පණිවිඩය ලැබුණේ නැහැ.
- දුරකථනය ක්‍රියා විරහිත කර තිබීම (Switched off)
- Aeroplane mode දමා තිබීම
- පැරණි software හෝ මේ සඳහා සහය නොදක්වන Hardware භාවිත කිරීම
රජයේ නිවේදනයට අනුව,
- iOS 26.4 හෝ later versions සහිත iPhone 11 සහ later models.
- Android 12 හෝ later versions සහිත android දුරකථන
- Apple Watch (SE2, SE3, Series 6 and above) උපාංග මේ සඳහා අනුකූල වේ.
පැරණි ක්‍රමයට වඩා AusAlert වෙනස් වන්නේ කොහොමද?
මෙම නව පද්ධතිය ඔක්තෝබර් මාසයේ සිට සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 2020 ජාතික ස්වභාවික විපත් විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ මත මෙය සකස් කර තිබෙනවා..
පැරණි හදිසි SMS ක්‍රමය මෙන් නොව, AusAlert මඟින් නිශ්චිත ප්‍රදේශයක ජංගම දුරකථන කුළුණු වෙත සම්බන්ධ වී ඇති සියලුම අදාළ උපාංග වෙත එකවර පණිවිඩයක් යවනවා.
හදිසි කළමනාකරණ අමාත්‍ය Kirsty McBain පවසන පරිදි, කලින් පැවති Black Summer ලැව්ගිනි සමයේදී ඇතැම් දුරකථන ජාල (Telco) බිඳ වැටීම නිසා ජනතාවට අනතුරු ඇඟවීම් ලැබීම දින කිහිපයකින් ප්‍රමාද වුණා. මෙම නව ක්‍රමය මඟින් එවැනි දුරකථන ජාල ගැටලු මඟහරවා ගත හැකි බව ඇය පෙන්වා දෙනවා.
ගෘහස්ථ හිංසනය සම්බන්ධව විශේෂ අවවාදයක්
මෙම ජාතික පරීක්ෂණයට පෙර, ගෘහස්ථ හිංසන සේවා සංවිධාන විසින්, රහසිගතව භාවිත කරන Safe phones සම්බන්ධයෙන් දැඩි අවවාදයක් නිකුත් කර තිබුණා.
Wesnet ආයතනයේ ප්‍රධානී Karen Bentley ඉල්ලා සිටියේ, එවැනි දුරකථන ආරක්ෂිතව තබා ගැනීම සඳහා පරීක්ෂණයට පෙර ඒවා ක්‍රියා විරහිත කරන ලෙස හෝ Aeroplane mode දමන ලෙසයි.
Image credit: www.ausalert.gov.au