ඇසළ පුන් පෝ දිනයේ ලෝකය වෙනස් කළ ඓතිහාසික සිදුවීම් ගැන දන්නවද?

බෞද්ධ ආගමික ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් ගණනාවක් සිදු වූ දිනයක් ලෙස ඇසළ පොහොය සුවිශේෂීත්වයක් ගන්නවා.

සිදුහත් මහා බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම සිදු වුයේ ඇසළ පෝය දිනයකයි.

සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරීමෙන් පසු මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පොහොය දිනකයි.

ගිහිගෙය හැර යාමෙන් වසර 6 කට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේ දී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්මචක්කප්පවත්තන සූත්‍රය හෙවත් ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කොට වදාළේ ද ඇසළ පොහොය දිනයකයි.

තීර්ථකයන්ගේ මානය බිඳ දැමීමට ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑමත් ඇසළ පොහොය දිනයක සිදුවුණා.

විහාරස්ථානවල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසළ පොහොය දිනයේ සිටයි.

බුදු රජාණන් වහන්සේ සත්වැනි වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කොට, වස් එළඹ, මාතෘ දිව්‍ය රාජයා හෙවත් මහාමායා දේවිය ප්‍රධාන දෙවිවරුන් හට අභිධර්මය දේශනා කළේ ද ඇසළ පුන් පොහෝ දිනයකයි.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් තුන් මසකට පසුව තෘතීය ශ්‍රාවක මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන 500 ක් මහරහතන් වහන්සේලා විසින් අජාසත් රජුගේ දායකත්වය ඇති ව රජගහ නුවර වේහාර පර්වතයෙහි දී ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා රජගහ නුවරට වැඩම කොට වස් එළැඹ මූලික කටයුතු ආරම්භ කරන ලද්දේත් ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයකදීයි.

බු. ව. 236 දී අරිට්ඨ කුමරුන් ප්‍රධාන සිංහලයන්ගේ ප්‍රථම මහණ උපසම්පදාව තුම්බුරු සීමා මාලකයෙහි දී සිදුවූයේත් ඇසළ පුන් පොහෝ දිනයකදියි.

බු.ව. 236 දී දේවානම්පියතිස්ස රජතුමා විසින් කර වූ අටසැට ලෙන් පූජාව සහ දෙසැටක් රහතන් වහන්සේලා ලංකාවේ පළමු වස් එළඹීම සිදුවූයේ ඇසළ පුන් පොහෝ දිනයකයි.

දුටුගැමුණු රජතුමා විසින් රුවන්වැලි සෑ රඳුන් තැනීමට මඟුල් ගල් තැබීම වගේම මහ සෑයෙහි ධාතු නිදානය සිදුවූයේ ද ඇසළ පුන් පොහෝ දිනයකයි.

බු. ව. 847 දී කිත්සිරි මෙවන් රජු දවස කළිඟු රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් ගෙනෙන ලද දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා සිදු කර ගෙන එනු ලබන දළදා පෙරහැරේ ආරම්භය සිදුවූයේත් ඇසළ පුර පොහොය දිනයකයි.  

මේ ආදී කරුණු රැසක් මුල් කරගනිමින් ලොව පුරා සිටින ලක් වාසී බොහෝ දෙනා ප්‍රතිපත්ති හා ආමිස පූජාවන්ට මුල් තැනක් දෙමින් ඇසළ පොහොය දිනය ඉතා ඉහළින් සමරනවා. 

Don't forget to share this post!

Recent Posts